මැතිවරණ කොමසාරිස්ගේ නමත් වරද්දලා | දිනමිණ

මැතිවරණ කොමසාරිස්ගේ නමත් වරද්දලා

රෝෂන් තුෂාර

ඇමැති අනුර ප්‍රිය­ද­ර්ශන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය හිමි බවට තීන්දුවක් ඉල්ලා පැවරූ නඩුවේ මැතිවරණ කොමසාරිස්වරයා 'සුනන්ද දේශප්‍රිය' මහතා ලෙස වැරදි සහගතව නම් කර ඇති බවත්, දෝෂ සහිතව නීති විරෝධීව පවරා ඇති නඩුව විභාග නොකරම නිශ්ප්‍රභ කරන ලෙසත් හිටපු මහලේකම් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා එම පක්ෂය ඊයේ (04 ) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පක්ෂයේ වත්මන් ලේකම්වරයා විත්තිකරුවකු ලෙස ‍නම් කිරීමකින් තොරව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙනුවට ඔහුගේ සහෝදරයකුගේ නම (සුනන්ද දේශප්‍රිය) ඊට ඇතුළත් කර පවරා ඇති නඩුව ඉවත දමන ලෙසද ලිඛිත කරුණු ගොනු කරමින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූලව පක්ෂ තනතුරු පත්කිරීම් සිදු කර ඇති බවත්, විධායක ජනපති ධුරය හා මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු විභාග කිරීමේ බලය දිසා අධිකරණයට නොමැති බවත් ඒ අනුවද නඩුව නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ විධායක ජනාධිපතිධුරය එම පක්ෂයේ සාමාජිකයකු හොබවන අවස්ථෘවේ සභාපති ධුරය ඔහුට හිමිවිය යුතු බවත් එම ව්‍යවස්ථාව හා කරුණු වරදවා තේරුම්ගෙන දෝෂ සහිතව පවරා ඇති නඩුව නිශ්ප්‍රභ කරන ලෙසත් එමඟින් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හා ජනාධිපතිවරයාගේ මුක්තිය යටතේ විධායක ජනපතිවරයාට එරෙහිව දිසා අධිකරණයක නඩු පැවරීමක් කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහි නඩු විභාග කිරීමේ බලය දිසා අධිකරණයට නොමැති බවද වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය අභියෝගයට ලක් කරමින් බොරලැස්ගමුව හිටපු නගරාධිපති කේ.ඩී. අරුණ ප්‍රියශාන්ත හා හෝමාගම ආසන සංවිධායක අසංක නන්දන ශ්‍රීනාත් මහත්වරුන් විසින් 2016 නොවැම්බර් මාසයේ මෙම නඩුව පවරා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හිටපු මහ ලේකම්, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා හා මැතිවරණ කොමසාරිස් (සුනන්ද දේශප්‍රිය නම) නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාවක් විත්තිකරුවන්ට නොමැති බවට විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කළේය.

එම මූලික විරෝධතාවය පිළිබඳ විමසීමක් කිරීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජිව නිශ්ශංක මහතා තීරණය කළේය.

එම තීරණය අනුව දෙපාර්ශ්වය විසින් ඊයේ මූලික විරෝධතා ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළේය.

දෙපාර්ශ්වයේ ලිඛිත කරුණු සලකා බැලූ දිසා විනිසුරු සුජිව නිශ්ශංක මහතා නඩුව විභාගයට ගන්නවාද? නිශ්ප්‍රභ කරන්නේද ? යන්න පිළිබඳ නියෝගය ලබන 29 දිනලබාදෙන බව ඊයේ දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇමැතිවරයා වෙනුවෙන් ලිඛිත දේශන නීතිඥ ලංකා ධර්මසිරි මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ පුලස්ති රූපසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

නව අදහස දක්වන්න