මට තව වසර දෙක හමාරක් කතරගම දේවාලයේ නිලමේ ධූරය හිමියි | දිනමිණ

මට තව වසර දෙක හමාරක් කතරගම දේවාලයේ නිලමේ ධූරය හිමියි

බස්නායක නිළමේ

විහාර දේවාගම් ආඥා පනතට අනුව ඡන්දයෙන් පත් වූ තමන්ට තවත් වසර දෙක හමාරක කාලයක් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබවීමට නීත්‍යානුකූල අයිතියක් තිබෙන බවත් සාධාරණ චෝදනාවකින් තොරව බස්නායක නිළමේ ධූරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවකුට නොහැකි බවත් එහි බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ මහතා පවසයි.

රුහුණු කරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයෙන් තමන් ඉවත් කර නොමැති බවත් විහාර දේවාලගම් ආඥාපනතට අනුකූලව නීත්‍යානුකූලව පත්වූ තමන් නිල කාලය අවසන් වන තුරු දේවාලයේ සංවර්ධන කාර්යයන් සිදු කරමින් බස්නායක නිළමේ ධූරයේ කටයුතු කරන බවත් ඒ මහතා කීය.

මහනුවර පැවැති මාධ්‍යය හමුවකදී ඊයේ (03) කුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමන්ව බස්නායක නිළමේ ධූරයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කර තිබෙන බවට ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබෙන බවත් එම වාර්තා සියල්ල අසත්‍යය බවත් හෙතෙම අවධාරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තමන් ජනාධිපති, අගමැති හා විෂයභාර ඇමැති දැනුවත් කර තිබෙන බවද ඒ මහතා කීය.

රුහුණු කතරගම මහා දේවාලයේ යතුරු සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කපුරාළලා හා තමන් අතර ඇතිවූ අර්බුදයේ සත්‍යය ඉදිරියේදී රටට හෙළිවනු ඇති බවත් මේ වන විට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන බවත් කී ඒ මහතා එම පරීක්ෂණය අවසානයේ මේ සිද්ධියේදී කවුද හරි කවුද වැරදි යන්න රටට හෙළිවනු ඇති බවත් කුමාරගේ මහතා පැවසීය.


කතරගම දේවාලයේ බස්නායක නිලමේ යතුර රැගෙන යාමෙන් රාජ නීතිය උල්ලංඝනය කරලා

ප්‍රධාන කපු මහතා

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේවරයා වන ජී. පී. කුමාරගේ මහතා බලහත්කාරයෙන් රැගෙන යාමෙන් රාජ නීතිය පවා උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහු ධුරයේ තවදුරටත් සිටීම නුසුදුසු බව ප්‍රධාන කපු ධුරන්ධර සොමිපාල ටී. රත්නායක මහතා පැවසීය.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර වත්මන් බස්නායක නිලමේවරයා වන ඩී. පී. කුමාරගේ මහතා විසින් බලහත්කාරයෙන් රැගෙනයාමත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වතාවට කතරගම දෙවියන්ට අලුයම 4.30 මුරුතැන් පූජාව පැවැත්වීමට නොහැකිවිය. මේ සිද්ධියත් සමඟ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ අබෞද්ධ සෑම බැතිමතකුටම සිදුවූයේ දැඩි කම්පනයක්. දුටුගැමුණු මහ රජතුමා විසින් පවත්වාගෙන ආ චාරිත්‍රයක් වත්මන් බස්නායක නිලමේවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අලුයම තේවාව නොපැවැත්වීම බරපතළ සිද්ධියක් බවත් ඒ හේතුවෙන් ඔහු කතරගම දෙවියන්ගේ දේව උදහසට ලක්ව ඇති පුද්ගලයකු බව රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කළේය.

දේවාලයේ යතුර බාරව ඇත්තේ කපු මහත්වරුන්ට පමණයි. බස්නායක නිලමෙට පැවරිලා තියෙන්නේ එළියෙ රාජකාරි. අලි ඇතුන් රැකබලා ගැනීම, පෙරහර කටයුතු සංවිධාන කිරීම, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම, සේවකයන්ට වැටුප් ලබාදීම, පඬුරු පෙට්ටිවලට එකතුවන බැතිමතුන්ගේ ආධාර මුදල් ගණනයකර ඒවා ගිණුම්ගත කිරීම හා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට බාරදීම, දේවාලයට අයත් ඉඩකඩම්වල ආදායම් ගිණුම්ගත කිරීම වැනි රාජකාරි කීපයක් ඔහු වෙත පැවරී ඇත.


කතරගම තේවා කටයුතු කිරීමේ බලය කපු මහත්වරුන්ට

වසරකට මාස 07ක්ම කතරගම දේවාල තේවාව තමන් කැමැති කපු මහතෙකුට ලබා දී මුදලක් ලබාගැනීමට කතරගම බස්නායක නිළමේවරයාට තිබූ ආධිපත්‍ය බලය මින් ඉදිරියට නොලැබෙන අන්දමින් එම ඉතිරි මාසද කපු මහත්වරුන්ට ලබා දී කතරගම දේවාලයේ තේවා කටයුතු නිසි පරිදි ඉටුකිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද මැදිහත්වීමෙන් ඉටුකරදුන් බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරන්දර සොමිපාල ටී රත්නායක මහතා පැවසීය.

කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා පසුගිය මස 22 වැනි දින අලුයම පූජාව පැවැත්වීමට නොහැකි වන පරිදි දේවාලයේ ප්‍රධාන දොරේ යතුරු රැගෙන යෑම හේතුවෙන් පැවැති අර්බුදයක් හේතුවෙන් තමන් ඇතුළු කපු මණ්ඩලයද බස්නායක නිළමේවරයාද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත කැඳවා කරුණු විමර්ශනය කිරීමෙන් පසු එම තීරණයට එළැඹි බව ප්‍රධාන කපු මහතා වැඩිදුරටත් අදහස් පළකරමින් පැවසීය. බෞද්ධ කටයුතුකොමසාරිස්වරයා විසින්ද විශේෂ පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව තමන් ඇතුළු කපු මණ්ඩලයේ අදහස් විමසීම් සිදුකළ බවත්, දේවාල පුදපූජා ක්‍රම පුරුදු පුහුණු කළ නවක කපු මහත්වරුන් 04 දෙනකු සුදුසුකම් සම්පූර්ණ කර තිබූවත් ඔවුනට දේවාල තේවාවට අවස්ථාව ලබා නො දී බස්නායක නිළමේවරයා මාසයකට වැඩි මුදලක් ලබාදෙන කපු මහතෙකුට මාසයේ තේවාව භාරදීම හේතුවෙන් මේ අර්බුදය හටගත් බව පැහැදිලි කළ බව ප්‍රධාන කපු මහතා සඳහන් කළේය.

බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා දේවාල අරමුදල් නිසි ආකාර පාලනය පිණිස විහාරස්ථාන හිමිවරුන් හා විශ්‍රාමික විනිසුරුවරයෙකුගෙන් සමන්විත පාලන කමිටුවක් පත්කිරීමටත්, බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ දී යෝජනා වූ බවත්, පසුගිය කාල වකවානුවේ වැඩි මාස වෙනුවෙන් කපු මහත්වරුන්ගෙන් ලබාගත් මුදල්ද, බැතිමතුන් විසින් ලබාදෙනු ලබන ආධාර මුදල්ද දේවාල ගිණුමෙහි තැන්පත් නොකර නිළමේවරයා තමන්ගේ පෞද්ගලික ගිණුම්වල තැන්පත් කරගැනීමක් වී ඇති බැවින් මෙතෙක් සිදුව ඇති එවැනි අක්‍රමිකතාවන් පිළිබඳ පරීක්‍ෂණයක් කරන ලෙස තමන් හා කපු මණ්ඩලය පොලිස්පතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කර ඇති බව ද කපු මහතා මේ මාධ්‍ය හමුවේ දී පැවැසීය

නව අදහස දක්වන්න