ඇමරිකාවේ ඉවසීමට සීමාවක් තියෙනවා | දිනමිණ

ඇමරිකාවේ ඉවසීමට සීමාවක් තියෙනවා

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයක් හමුවේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා දකුණු කොරියාවට ප්‍රබල මිසයිල සපයන බවට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රතිඥාවක් දී ඇත.

වොෂින්ටනය එම ප්‍රතිඥාව දී තිබෙන්නේ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවකදීය.

රාජ්‍ය ප්‍රතිපතිපත්තියක මට්ටමින් දකුණු කොරියාවට තවත් අවි විකිණීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සාකච්ඡාවේදී එකඟ වී ඇත.

මේ අතර දකුණු කොරියාව සිය යුද අභ්‍යාස දෙවැනි දිනයටත් පෙරට ගෙන යමින් ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදර්ශන යුද අභ්‍යාස ආරම්භ කෙරුණේ උතුරු කොරියාව විසින් පසුගිය සෙනසුරාදා අත්හදා බලන ලද න්‍යෂ්ටික පිපිරවීමට ප්‍රතිචාරයක් වශයෙනි.

උතුරු කොරියාව කුපිතකාරී ප්‍රහාරයක් එල්ල කළොත් තමන්ටත් පෙරලා පහර දිය හැකි බව දකුණු කොරියානු නාවික අණ දෙන නිලධාරියෙක් පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ධවල මන්දිරය, උතුරු කොරියානු තර්ජනයට මුහුණ දීම අතින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් ඇති බව අනාවරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින ඇමෙරිකානු තානාපතිනි නිකී හාලේ (Nikki Haley) ප්‍රකාශයක් කරමින් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමේ යෝජනාවක් කෙටුම්පත් කිරීමට පියවර ගනු ඇතැයි සඳහන් කළාය.

ඔවුන්ගේ අලුත්ම අතිප්‍රබල න්‍යෂ්ටික පිපිරවීම මගින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් "යුද්ධයක් ඉල්ලා සිටින" බව ඇමෙරිකානු තානාපතිවරිය පවසන්නීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසියක දී අදහස් දැක්වූ තානාපතිවරිය "ඇමෙරිකා එක්සත් ජනපදයට යුද්ධයක් අවශ්‍ය නොකරන නමුත් තමන්ගේ ඉවසීමේ සීමාවක් ඇතැයි අවධාරණය කළාය.

මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් උතුරු කොරියාවට එරෙහි සම්බාධක විග්‍රහ කළේ "තේරුමක් හෝ කිසිදු බලපෑමක් නොමැති ඉබේම මැකී යන" ක්‍රියාමාර්ගයක් හැටියටයි.

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන මෙන් චීනය මේ අතර යළි ඉල්ලීමක් කරයි.

එවැනි සාකච්ඡා ක්‍රියාමාර්ගයක මැදිහත්කරු මට්ටමින් ක්‍රියාත්මක වීමට ස්විස්ටර්ලන්තය ඉදිරිපත්ව සිටියි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න