අජීවී පුටු සමඟ සජීවි සංවා­ද­යක් | දිනමිණ

අජීවී පුටු සමඟ සජීවි සංවා­ද­යක්

කපිල කුමාර කාලිංග

ඉදිරිපස වේදිකාවේ මැද, දෙපැත්තට තබා ඇති පුටු දෙකකි. සීලිමේ සිට එල්ලෙන ගෑස් ලාම්පුවකි. තිරය ඇරෙයි. අඩ අඳුරක්. වම්පස වේදිකාවේ ඇති පුටුවට නඟින මහල්ලා ජනේලයෙන් පිටතට එබිකම් කරයි. මැහැල්ල ගෑස් ලාම්පුව දල්වයි. නිල් පැහැති එළියක්. ඇය, මහල්ලා වෙත ගොස්, කමිස අතෙන් අදී.

මැහැල්ල - ඉක්මන් කරන්න අනේ, ඔය ජනේලෙ වහන්න. මට ඔය පල්වෙච්ච වතුර ගඳ රුස්සන්නෙ නෑ. මදුරුවොත් එනවා.

මහල්ලා - කුලප්පු වෙන්නෙ නැතුව ඉන්න.

මැහැල්ල - එන්නකො අනේ. ඇවිත් වාඩිවෙන්න. ඔය විදිහට එබෙන්න එපා. ඔයා වැටෙන්නත් පුළුවන්. ඔයා දන්නවනෙ පළවෙනි ෆ්‍රැන්සිස්ට මොකද වුණේ කියලා. ඔයා හරියට පරිස්සං වෙන්න ඕන.

මහල්ලා - අහගනිල්ලකො එයාගෙන් තව ඓතිහාසික ප්‍රකාශනයක්. මට දැන් ප්‍රංශ ඉතිහාසෙ තිත්ත වෙලා. මගෙ වස්තුව. මට බලන්ට ඕනෙ. අර ඉර එළිය වැටෙන බෝට්ටු හරියට වතුර උඩ තියෙන කණ්ණාඩි වගේ දිහෙනවා.

මැහැල්ල - ඔයාට එහෙම පේන්නෙ නෑ. දැන් රෑ වෙලා. අනේ ඔහේ ඇති දුරක් නෑ.

මහල්ලා - කොහොම වුණත් තාම හෙවණැල්ලක් නං ඉතුරුවෙලා තියෙනවා.

මහල්ලා තවදුරටත් ජනේලයෙන් එබිකම්කොට බලයි. මැහැල්ල හැකි තරම් වැර යොදා ඔහුව පසුපසට අදී...

'පුටු' (The Chairs) නාට්‍යය ඇරැඹෙන්නේ එසේය. එය, රුමේනියානු සම්භවයකින් යුත්, ප්‍රංශ නාට්‍යකරු යුශේන් ඉයොනෙස්කෝ (Eugene Ionesco) ගේ කෘතියකි. 1952 අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට වේදිකාගත වූ 'පුටු' සම්මත වේදිකාව මත කළ කැරැල්ලක් බඳු විය.

ධර්මසේන පතිරාජ විසින් 'The Chairs' සිංහලට පරිවර්තනය කරනුයේ 1971 දීය. (එය ශ්‍රී ලංකාව ද කැරැල්ලකින් කැළැඹී ගිය වර්ෂයකි) එම වසරේ ජාතික නාට්‍ය උළෙලේදී එය රංගගතවූ අතර, හොඳම නාට්‍ය පරිවර්තනය සඳහා සම්මානය ද දිනාගත්තේය. ත්‍යාග මුදල වූයේ රුපියල් 500 කි.

ධර්මසේන පතිරාජයන්ගේ 'පුටු' නාට්‍ය පිටපත පසුගිය 31 දා මුද්‍රිත ග්‍රන්ථයක් ලෙසින් මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩියේය. ඒ සඳහා පසුවදනක් සපයන ආචාර්ය පතිරාජ මෙසේ පවසයි.

'... මුදල් නොමැතිවීම නිසාවෙන් නාට්‍යය ප්‍රදර්ශනය වාර 3 කට සීමාවිය. මේ විකාරරූපී නාට්‍යය ප්‍රේක්ෂකයිනට තබා විචාරකයින්ට ද එකල නිසි ලෙස ග්‍රහණය නොවීය. 1971 නාට්‍ය උළෙලේදී පවා බොහෝ පිරිසක් නැගිට ගිය බව සිහිපත් වේ. නාට්‍ය නැරැඹුවේ ඉතා සුළු පිරිසකි. ඒ අතර වූ සුගතපාල ද සිල්වා, තිලක් ජයරත්න, බන්දුල විතානගේ හා සරත් කැල්ලපත ආදී අපේම කණ්ඩායමේ පිරිස යම් ප්‍රසාදයක් දැක්වීය.

'පුටු' නාට්‍යයෙහි එන චරිත තුන නිරූපණය කළේ විමල් කුමාර් ද කොස්තා, මාලනී වීරමුණි සහ දයා තෙන්නකෝන් ය.

'පුටු' නැවත නිෂ්පාදනය නොවූ නමුදු පසු කලෙක වේදිකාවට ආ පතිරාජ එල්. එස්. දයානන්දගේ 'කවුරුවත් එන්නෙ නෑ' ඒ ආභාෂයෙන් නිර්මාණය වූවකැයි සැලකුණි.

ශෛලීගත, අර්ධ ශෛලීගත හා තාත්වික නාට්‍ය අතරේ සිරවී තිබූ සිංහල වේදිකාවට 'පුටු' වැනි විකාරරූපී ශෛලියේ නාට්‍යයක් නුහුරු වුවද, එය ඉතා වැදගත් හඳුන්වාදීමක් ලෙස පසුව ඇගැයුණි.

ඉයොනෙස්කෝ, බෙකට්, ඇඩමෝෆ් ආදීන්ගේ අසම්මත නාට්‍ය රටාව, 'විකාරරූපී' (Absurd Theatre) ලෙසින් නම් කළේ ප්‍රකට නාට්‍ය විචාරකයෙකු වන මාර්ටින් එස්ලින් විසිනි.

විකාරරූපී නාට්‍ය තුළ තේමාත්මක වශයෙන් පොදු බවක් දක්නට ලැබුණි. ලෝක යුද්ධ දෙකකට පසු, පැවැත්මෙහි නිස්සාරත්වය පිළිබඳව අවධානය යොමු කළ සාංදෘෂ්ටික දර්ශනය එහි ප්‍රධාන ලක්ෂණය විය. මිනිසා ගොදුරු වී ඇති හ‍ුදෙකලා බව, අවිනිශ්චිතතාව හා පරමාර්ථ විරහිතභාවය පිළිබිඹු කිරීම සඳහා ඔව්හු සිහිනමය, මායාරූපී අනුභූතීන් හා අතාර්කික, අතාත්වික අද්භූත සංකල්ප රූප නාටකීය ලෙස යොදා ගත්හ.

ඉයොනෙස්කෝ, විකාරරූපී ලේබලයට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු එක් සාකච්ඡාවකදී කියා සිටියේ තමන් ද ශේක්ස්පියර් ආදීන් ද ඇතුළත් ප්‍රධාන නාට්‍ය ධාරාවෙහිම සාමාජිකයන් බවය. ඔහු 'පුටු' නාට්‍ය හඳුන්වන්නේ ද ශෝකාන්ත ප්‍රහසනයක් (Tragic - Farce) ලෙසිනි.

නාට්‍යයෙහි ව්‍යුහය තේරුම් ගැනීමට එක් මඟක් වන්නේ වරින් වර වේදිකාව මත රැස්වන හිස් පුටු පිළිබඳ අරුත වටහා ගැනීමට උත්සාහ කිරීමය. නාට්‍ය ඇරඹෙන විට වේදිකාව මත දිස්වන්නේ පුටු දෙකක් වුව ද, පසුව අදෘශ්‍යමාන චරිත විසින් රැගෙන එනු ලබන පුටුවලින් එහි ඉඩකඩ ඇහිරෙයි. මහලු යුවළ පවා ඒමේ අත යන්නේ අපහසුවෙනි. ඉයොනෙස්කෝගේ නාට්‍ය කීපයකම මෙවැනි ද්‍රව්‍ය බහුලීභාවය දක්නට ලැබෙයි.

'අමෙඩි' නාට්‍යයේ මහල් නිවසක වෙසෙන යුවළ එහි කාමරයක ඇති මළසිරුරක් නිසා හිරිහැරයට පත්ව සිටිති. ක්‍රම ක්‍රමයෙන් ඉදිමී, විශාල වන මළසිරුර ‍නිවසේ බිත්ති පුපුරවාගෙන සාලයට ද කඩා වදී. අවසානයේ ගෙහිමි යුවළට ජීවත්වීමට සිදුවන්නේ මළසිරුරේ පාදයකින් වෙන්කෙරුණු සාලයේ දෙපසට වීය.

'පුටු' නාට්‍යයෙහිද අවසාන භාගයේ මහලු යුවළ එබඳු දුරස්ථ තත්ත්වයකට පත්වෙති.

මහල්ලා - ඔයා කොහෙද? ඔයා කොහෙද සෙමිරාමිස්?

මැහැල්ල - ඔයා කොහෙද මගෙ වස්තුව?

මහල්ලා - මං මෙතන ජනේලේ ගාව. ඔයාට මං කතා කරනවා ඇහෙනවද?

මැහැල්ල - ඔව්. ඔව්. මට ඔයාගෙ කටහඬ ඇහෙනවා. ඒ වගේ ම හුඟ දෙනෙක්ගෙ. ඒත් මට ඔයාගේ කටහඬ අඳුනාගන්න පුළුවන්.

මහල්ලා - ඔයා... ඔයා කොහෙද?

මැහැල්ල - මාත් ජනේලේ ගාව. මට බය හිතෙනවා රත්තරන්. මෙතන ගොඩාක් මිනිස්සු ඕනෑවටත් වඩා පිරිලා. අපි දෙන්න අපි දෙන්නගෙන් හුඟක් ඈත්වෙලා. අපි පරිස්සං වෙන්ඩ ඕනෙ, අපේ වයසෙ හැටියට. අපි නැතිවෙන්ට පුළුවන්. අපි එක ළඟින් ඉන්ඩ ඕනෙ.

මෙම නාට්‍යයෙහි මහලු යුවළ හැරුණු විට වේදිකාවට සැබෑ ලෙස පිවිසෙන්නේ, කථකයා ලෙස හැඳින්වෙන චරිතය පමණි. ඔහු ද එකදු වචනයක් හෝ කතා නොකරයි.

අනෙක් චරිත (අමුත්තෝ) සියල්ලම අදෘෂ්‍යමාන වුව ද, මහලු යුවළ ඔවුන් පැමිණියාක් මෙන් අඟවමින් කතාබහෙයි යෙදෙති. අවසානයේදී ඔවුන් විශ්මයට පත්කරමින් මහාධිරාජයා ද පැමිණෙයි. ඔහු ද අදෘෂ්‍යමානය.

කථකයා පැමිණෙන්නේ දේශනයක් පැවැත්වීමට බව ද එක් තැනකදී කියැවේ. ජීවිතයේ අර්ථය පිළිබඳ යම් පණිවුඩයක් ඔහු මඟින් කියැවීමට මහලු යුවළ අපේක්ෂා කරන්නා සේ ය. එහෙත් ඔහු කිසිවක් නොකියයි. මහලු යුවළගේ ජීවිත ආවර්ජනයක් හා ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය මිස වෙනත් කිසිවක් නාට්‍ය තුළින් නිශ්චිතව හෝ පැහැදිලිව ඉදිරිපත් නොවෙයි. ජීවිතයේ නිරර්ථකභාවයත්, පැවැත්මේ අවුල් සහගත බවත් ප්‍රේක්ෂකයාගේ සිත තුළ නිනද වන්නට ගනී.

'මා සාක්ෂිකරුවෙකු මිස ගුරුවරයෙකු නොවේ' ය යනු ඉයොනෙස්කෝගේ ප්‍රකට කියුමකි. මාක්ස්වාදීන් වූ බ්‍රෙෂ්ට් හා සාර්ත්‍ර ඔහුගේ දැඩි විවේචනයට ලක්විණි. 'රයිනෝසිරස්' නාට්‍යයේදී ද ඉයොනෙස්කෝ මතු කළේ අධිකාරිවාදයට ‍ගොදුරුවීමේ භයානක ප්‍රතිඵලයයි. කිසියම් දර්ශනයක් තුළ කොටුවීමෙන්, මිනිසා තම නිදහස නැතිකර ගන්නා බව ඉයොනෙස්කෝගේ මතය විය. මේ නිසා මාක්ස්වාදී විචාරකයින් ද ඉයොනෙස්කෝගේ නාට්‍යයන් අගය කළේ නැත.

'මේ ජීවිතයේ තේරුම කුමක්ද' යන පැනයෙන් ගැලවීමට කිසිදු මිනිසෙකුට නොහැකිය. ඉයොනෙස්කෝගේ 'පුටු' ඒ පිළිබඳ ගැඹුරු වූ ද, කලාත්මක වූ ද කතිකාවක් සඳහා කෙරෙන ආරාධනයකි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...