ශ්‍රී ලංකාව ඉන්දි­යාව වගේ වෙන්නලු යන්නේ! | දිනමිණ

ශ්‍රී ලංකාව ඉන්දි­යාව වගේ වෙන්නලු යන්නේ!

තිඹිරියාගම බණ්ඩාර

මහනුවර පැවති ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අතරතුර තවත් ගැටුමක් සිදුවීම පිළිබඳ මුහුණු පොතේ විවිධ අදහස් පළවිය. පරාජිත ශ්‍රී ලංකා පිලට වතුර බෝතල්වලින් පහරදීම අනුමත කළ බොහෝ දෙනකුගේ ප්‍රතිචාර සටහන් කියවීමි. ප්‍රබුද්ධ මත දරන්නන් යැයි අප සිතා සිටි අයද පහරදීම නිවැරදි යැයි කමෙන්ටු දමා තිබෙනු දුටු මසිත ඇතිවූයේ විශ්මයකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙමින් සිටියද එය දිගට ම ඉටු නොවීම නිසා ඇති වූ පසුතැවීම වෛරයක් බවට පත් විය. ක්‍රිකට් පිටියට රොක් වී සිටි රසිකයන්ගෙන් එම වෛරය පුපුරා ගියේය. ක්‍රිකට් පිටියට නොගියද රූපවාහිනියෙන් තරගය නැරඹූ ඇතැම් රසිකයෝ පිටියේ සිදු වූ දේ නිහඬව අනුමත කිරීමෙන් නොනැවතී ඒ පිළිබඳ උදාන වැකි මුහුණු පොතට එක් කළහ.

මෙය ‘ නරෝද්නිකවාදී’ ප්‍රවණතාවක් මතු වීමකි. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෑන හසුරන අපේ රටේ ජනප්‍රිය විකල්ප මාධ්‍ය තීරු රචකයකු ද මෙවැනි අදහස් සහිත තීරු ලිපියක් ලිවීමෙන් වරක් පාඨක ගැරහුමට ලක්විය. එම තීරුවට මුල්වූයේ මගියකුට සිදු වූ අසාධාරණයක් නිසා මගියා ගමන් ගත් බස්රිය ඇතුළු බස්රථ ගණනාවක් ප්‍රහාරයට ලක්වීම ය. තීරු ‍රචකයා ද පෞද්ගලික බස්රථවල යන ගමන් බිමන්වලදී බස් රියැදුරු සහ කොන්දොස්තරවරයාගේ නොපනත්කම්වලට එරෙහිව නිතර රණ්ඩුවල පැටලෙන්නෙකි. බස් රථ ප්‍රහාරයට ලක්වීම පිළිබඳ ඔහුගේ තීරු රචනයෙන් ප්‍රකට වූයේ ‘හොඳ වැඩේ උන්ට වුණේ’ ආකල්පයකි. නරෝද්නිකවාදයට එදා මෙන්ම තවමත් ඉල්ලුමක් ඇති බව මූණු පොතේ කොමෙන්ටුවලින් ද තහවුරු විය. මගේ විශේෂ අවධානය යොමුවන්නේ කොමන්ටු අතර තිබූ සුවිශේෂ අදහස් සමුදායක් කෙරෙහි ය. ‘ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයනුත් දැන් ඉන්දියාවෙ ප්‍රේක්ෂකයන්ගේ තත්ත්වෙට පත් වෙමින් ඉන්නවා.

ශ්‍රී ලංකාවේ මිනිස්සුත් දැන් ඉන්දියාවෙ මිනිස්සු වගේ හිතන්ඩ පටන් අරං’ මගේ සිත් ගත්තේ එම අදහස් ය. 1996 ලෝක කුසලාන තීරණාත්මක වටයේ තරගයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉන්දියාවේ පිට්ටනියකදී පැවැත්විණ. ඉන්දියාව පරාජය පෙනෙන මානයේ සිටියදී පිටියට බෝතල් ප්‍රහාර එල්ල විය. එමෙන්ම එතෙර ක්‍රිකට් සංචාරවලදී පරාජය ලැබූ ක්‍රීඩකයන් යළි ඉන්දියාවට පැමිණෙන විට ඔවුන්ගේ නිවාස ගිනිබත් කිරීම සඳහා ක්‍රිකට් රසිකයෝ වීදි බටහ. එබඳු ප්‍රවණතාවක් මෙරටෙහි ද ඇතිවීම නරෝද්නිකවාදීන්ගේ ආස්වාදයට හේතු වී තිබේ. ලංකාවත් ඉන්දියාව වගේ වෙන්න යන්නේ යැයි උදම් අනන්නේ ඒ අනුව ය. හැබැයි ලංකාවට ඉන්දියාව වගේ වීම ලේසි පහසු නැත.

ක්‍රිකට් උන්මාදය, මිථ්‍යා විශ්වාස පැතිරී තිබෙන ඉන්දියාවේ මහජනයා මහත්මා ගාන්ධිට දෙවියකුට මෙන් සලකති. ජාතික එක්සත්කම සහ නිදහස වෙනුවෙන් ජාතික අරගලයට එක් වූ දේශපාලන නායකයන්ට ආත්ම විශ්වාසය ඇති කළ නායකයා ගාන්ධි ය.

මිථ්‍යා විශ්වාස, ඇදහිලි, ආගම් බහුල රටේ ව්‍යවස්ථාව නිරාගමික ය. ආගම මිනිසාගේ ඉදිරි ගමනට බාධාවක් යැයි සිතූ ශ්‍රී ජවහල්ලාල් නේරු ආගමික නිදහසට ඉඩ දී ආගම් රැකගැනීමේ වගකීමෙන් රජය නිදහස් කළේ ය. ඉන්දියන් නායකයෝ කවර ලබ්ධියකට අයත් වුවත් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ආගම අඩයාළමක් කර නො ගනිති.

අපේ රටේ නායකයෝ උදේ හවා කරඬු ඔළුවේ තබාගෙන ජනමාධ්‍ය ඉදිරියේ පෙනී සිටිති. බෝ ගස් අබියස වැඳ වැටෙති. ආගමික නායකයන්ගේ අනුමැතිය නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බවට ප්‍රතිඥා දෙති. රටේ ජනතාව ද කරඬුව හිසේ තබාගත් දේශපාලකයා තම රට, ජාතිය ආරක්ෂා කිරීමට කැපවුණු නායකයා ලෙස පිළිගනිති. ව්‍යවස්ථාව රට බෙදීමක් ලෙස දකිති.

ඉන්දියානු ජනතාව ආඩම්බර වන කරුණු අතර ඉන්දියානු සිනමාව, න්‍යෂ්ටික අත්හදා බැලීම් මෙන්ම ගැමි කාන්තාවන්ගේ පපඩම් ව්‍යාපාර ද පවතී. අපේ රටේ ජනතාව ආඩම්බර වන්නේ කවර කරුණුවලට දැයි සමීක්ෂණයක් කර නැති නමුත්, එය කළහොත් දන්ත ධාතුව, ගල්කණු, බෝගස් එම ලැයිස්තුවේ මුලට ම එන බව නම් කිව හැකි ය.

මේ නිසා ලංකාව ඉන්දියාව වගේ වෙන්නට යනවා යැයි උදම් අනන මූණු පොතේ කමෙන්ටුකරුවන් හට කීමට ඇත්තේ එය කෙසේවත් සිදු නොවනු ඇති බවය. එමෙන්ම ඉන්දියාව වගේ වෙනවා නම් විය යුත්තේ ක්‍රිකට් උන්මාදය අතින් නොව නියම ඉන්දියානුවකුගේ චරිතය පරිදි නියම ලාංකිකයකුගේ චරිතය ගොඩනඟා ගැනීමෙන් බව ද කියනු කැමැත්තෙමි.

 

නව අදහස දක්වන්න