දෙයි­යන්ගේ දේවල් හා මිනි­ස්සුන්ගේ දේවල් | දිනමිණ

දෙයි­යන්ගේ දේවල් හා මිනි­ස්සුන්ගේ දේවල්

බණ්ඩි රාල

"පවත්නා දෘෂ්ටිවාදී අගතීන්ගෙන් මිදී යමක් කියවීම රැඩිකල් දේශපාන ක්‍රියාවක්Ó බව ලුවි අල්තුෂර් විසින් පවසා ඇතැයි මං කුමක් හෝ සඟරාවකින් කියවා තිබුණා. ඒ මතකය ආයෙමත් අලුත් කරගන්නට සිදුවූයේ අහම්බයෙන් නෙවෙයි, පොඩි එකා ගිය සතියේ නිවාඩුවට ගෙදර ආවට පසුව ඇතිවූ කතා බහක් නිසයි.

"අප්පච්චි දන්නෙ නැතුව ඇති දැන් ෆේස්බුක් එකේ ලොකුම සංවාදය අර අංගවිකල, බොහෝ රෝගී සහිත දරුවන්ගේ කළල ගබ්සා කරන්නට නීතිමය ඉඩක් හදන්න යනවා" යයි කයන කතා බහ.

"හ්ම්" මං ඔළුව වනලා ඒ කතා බහ දැන ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළා.

"අප්පච්චි මොකද ඒ ගැන හිතන්නේ?" පොඩි එකා, ඒ පාර පන්දුව මගේ පැත්තට යොමු කළා. මං ඔය ගැන හැමදාම කීවෙ එක දෙයයි. මං ඒක ආයෙම මතක් කළා.

"දෙයියන්ගෙ දේවල් දෙයියන්ට දීපල්ලා. මිනිස්සුන්ගෙ දේවල් මිනිස්සු ගනිල්ලා."

"ඒ වුණාට කතෝලික පල්ලිය එහෙම සෑහෙන්න විරුද්ධයි" පොඩි එකා කීවා.

"ඉතිං ඒ උත්තමයොයි, සිවුරු දාගෙන ඉන්න උත්තමයොයි විරුද්ධ නැත්තෙ මොකටද? දැන් බලාපන් රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනද එපාද කියලා එක කට්ටියක් තීරණය කරනවා. මේ ගබ්සාව ප්‍රශ්නෙ ඕනද, එපාද කියලා තවත් කට්ටියක් තීරණය කරනවා. එතකොට මේ රටේ පුරවැසියෝ. උන් ඔහේ ඉන්නවා."

"ඒක නම් ඇත්ත අප්පච්චි" ඉතිං පොඩි එකා තවත් ආගිය තොරතුරු ටිකක් කතා කරලා යන්න ගියා. සමහරවිට ඌත් "අපේ අප්පච්චිට පිස්සු" කියලා හිතනවද දන්නෙත් නෑ. ඒත් කමක් නෑ. මට එක්තරා සිදුවීම් දෙකක් මතක් වුණා. පළවෙනි සිද්ධිය වුණේ අල්ලපු ගමේ. ඒ ගමේ වැඩි දෙනෙක් උදේට කොළඹට රස්සාවලට ගිහින් කළුවර වැටුණායින් පස්සෙ ගෙදරට එන උදවිය. ඒ ගමේ 'ලියන ගෙදර' කියලා ගමක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ මහත්තයායි, නෝනයි, පුතයි එයාලගේ වයසක අම්මයි. අර යුවළම කොළඹ වැඩට යනවා. පුතත් කොළඹ ලොකු ඉස්කෝලෙකට යනවා. ඉස්කෝලෙ ටිකක් කලින් ඇරුණා කියලා නෑ. ඒ පුතාගෙ ක්‍රිකට් පුහුණුවීම්, අමතර පංති, භාෂා පංති ඔය වගේ මෙකී නොකී දේවල් ගොඩක් කරලා ඒ පුතා ගෙදරට එනකොට හැමදාමත් අම්මයි තාත්තයි දෙන්නමත් වැඩ ඇරිලා ඇවිල්ලා. ඉතිං උදේට කන්න බොන්න ටික ළඟට දීලා ගියාට පස්සේ රෑ වෙලා කවුරු හරි ගෙදරට එනකල් අර වයස අම්මා ගෙදර මුල්ලකට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. නැඟිටින්නත් බෑ. ඇවිදින්නත් බෑ. කතා බහ කරන්න කවුරුවත් ඇත්තෙත් නෑ. හදිසි ලෙඩක් දුකක් හැදුණත් හවසට තුන්දෙනාගෙන් කවුරු හරි එනකල් දැනගන්න විදිහකුත් නෑ. මං ඉතිං දවසක් ඒ මහත්තයාට මෙහෙම කීවා.

"මහත්තයාල වැඩට ගියාම වයසක අම්මා තනියෙන්. ඒ අම්මා වැඩිහිටි නිවාසෙකටවත් ගිහින් ඇරළුවොත් නරකද?"

"අපෝ අප්පෙ බණ්ඩි රාල උන්නැහේ නිකම් කුණු හරුප අහගන්න එපා. අම්මලා මහලු මඩම්වලට දක්කන ගුණමකු පුතාල‍ා නෙවෙයි අපි." එහෙම කියාගෙන ඒ මහත්තයා යන්න ගියා. එහෙම ගිහින් මාසයක්වත් යන්න කලින්, උදේ වරුවක වතුර පොදක්වත් නැතිව තනිව වධ විඳලා කට්ට කළුවරේම ඒ අම්මා අවසන් ගමන් ගිහින් තිබුණා. රෑ වෙලා ගෙදර ආවට පස්සේ පුතයි, ලේලියි දෙන්නම අඬා වැලපිලා, දවස් දෙකකින් ගමේ අයත් එකතු කරගෙන අවසන් කටයුතු ලෑස්ති කරලා පිං දීලා නිකං හිටියා. දෙවෙනි සිද්ධිය වුණේ කොළඹදී. කාලයක් කැනඩාවේ පදිංචි වෙලා හිටපු මිත්‍රයෙක් කොළඹ එයාගෙ ගෙදර ආව වෙලාවක රෑ කෑමකට මටත් ආරාධනා කරලා තිබුණා. ඒ කාලේ එකට හිටපු තවත් මිත්‍රයන් දෙතුන් දෙනෙකුත්, තව අහල පහල කීපදෙනකුත් ඒ වැඩේට එකතුවෙලා හිටියා. එතනදී කෑමෙන් බීමෙන් පස්සෙ මිත්‍රයෙක් ඒ රටේදි ළමයි හදාවඩා ගැනීම ගැන කරමින් හිටපු කතා බහකට මගේ මිත්‍රයා මෙහෙම කීවා.

"එහෙ ඉතිං බබා කරත්තයක තියාගෙන තල්ලු කරගෙන සාප්පුවට ගිහින් ඒ කරත්තෙ බබා තියලා තමන්ට ඕන බඩු ටික අරන් ආයෙමත් කරත්තය තල්ලු කරගෙන එනවා. බබාට ඇහැරිලා ඇඬුවොත් ඔය අහල පහල ඉන්න කවුරු හරි කරත්තය ටිකක් හොල්ලලා රවටනවා. එහෙමත් නැත්නම් එයාගෙ කටට සූප්පුවක් වගේ දෙයක් දුන්නම ආයෙම නින්ද යනවා."

ඒක අහගෙන හිටපු අනික් එකා මෙහෙම කියනවා.

"අපොයි ළමයි ගැන කිසිම ආදරයක් නෑ. ඒ ළමයගෙ ආරක්ෂාව. එයාට අනතුරක් වුණොත්. චීචී ඒ වගේ රටවල් ඕනම නෑ"

එයාගේ ප්‍රතිචාරය වුණා.

"එහේ ළමයි කූඩු කරලා සත්තු වගේ හදන්නෙ නෑ. අනික බබෙක් එහෙම දාලා ගියාට එයාට කිසිම අනතුරක් හානියක් නෑ. ඒ රටේ මෙහේ වගේ උස්සන් ගිහින් කප්පම් ඉල්ලන්න කවුරුවත් නෑ. සමාජ ආරක්ෂාව තියෙනවා. මිනිස්සු එනිනෙකාට ගරු කරනවා. තමන්ගෙ දරුවා වගේම අනුන්ගෙ දරුවො ගැනත් හිතනවා" මගේ මිත්‍රයා කීවා. ඒත් ඒක තේරුම් ගන්න හෝ ඒක පිළිගන්න අනිත් උදවිය එච්චර කැමැත්තක් දැක්වූයේ නෑ.

මව්පියන් රැකබලා ගැනීමයි, දරුවන්ට තියෙන ආදරය මනින විදිහයි ගැන අපේ වැඩිදෙනකුට තියෙන්නෙ හණ මිටි අදහස්. තමන්ටත්, පවුලටත්, රටටත් හානිදායක උපතක් සිදුවන්නට කලින් ඒක වළක්වන එකේ තියෙන වැදගත්කම ගැන වැඩිදෙනෙක් හීනෙන්වත් හිතන්නෙ නෑ. හාමුදුරුවරුන්ගෙ බණයි, පූජකයන්ගේ දේශනයි, උදේ හවා එෆ් එම් චැනල් හා ටීවීවලින් මානසික රෝගීන් විසින් බෙදන රෝග ලක්ෂණ ටිකයි තියෙන කල් මේ රටවල් හදන එක නම් බොරු. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...