යතුරු පුවරුවට මුවා වී ඇගේ අයිතිය සොරාගැනීම | දිනමිණ

යතුරු පුවරුවට මුවා වී ඇගේ අයිතිය සොරාගැනීම

හිමාලි එන්. ලියනගේ

මා ඉතා තරුණ වියේදි දරුවන් ලද අයෙකි. මගේ දෙවන දරුවා ලැබී වසර හයකින් පසුව නැවත මා ගැබ්ගත් ආරංචිය මහත් ප්‍රීතිමත් එකක් විය. අපි වහ වහා ඊට සූදානම් වීමූ. අවැසි වෛද්‍ය/සෞඛ්‍ය උපදෙස්, බෙහෙත් අහාරපාන, ව්‍යායාම මැද අපි කළලය සුවෙන් වැඩෙන්නට පැතුවෙමු. දිනෙක මා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවට අදාළ සායනට ගියෙමි.

"අපට ලැබෙන්න්ට ඉන්නේ දුවෙක් ද පුතෙක්ද?" මම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් ශිල්පිනියගෙන් විමසුවෙමි.

"මා මේ ප්‍රතිඵලය දොස්තරගේ මේසය උඩින් තියන්නට යනවා. ඔබ ඇඳුම් ඇඳගෙන ගොස් ඔහුට කතා කරන්න." ඈ සුහද නැති කෙනෙකි යැයි සිතමින් මා ලෑස්ති වී දොස්තර මහතාගේ කාමරයට ඇතුළු විමී. ඔහුට හැකි ඉතාම කාරුණික, ඉවසිලිවන්ත, වෘත්තීයවේදී සංයමය ප්‍රදර්ශනය කරමින් මට ලබා දුන්නේ අසුබ ආරංචියකි. කළලයේ හෘද ස්පන්දනය නැවැතී ඇත. සාමාන්‍යයෙන් අමෙරිකාවේ ගැබ් ගැනීම්වලින් 15%-20% අතර ප්‍රමාණයක් පළමු සති 20 ඇතුළත ස්වාභාවිකවම නැති වී යන බවත් මේ සිදුවීම මගේ වරදක් නොවන බවත්, ඔහු අපට කියන්නට විය. ඔහුගේ හදපිරි කනගාටුව ප්‍රකාශ කළේය. මා කැමැති නම් නැවැත දරුවන් තැනීමට ශාරීරිකව කිසිදු බාධාවක් නැති බව ඔහු විස්තර කළේය.

ඉතිරි ශල්‍ය කටයුතු වෙනුවෙන් රෝහළට ඇතුළත් වීමට දිනයක් ලබා දී ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කළේය. මම ගෙදර පැමිණ ඇඳේ වැතිරී නොහැඬීමි. සියලුම දෙනා වෙනුවෙන් නිර්භීත මූණක් මවා ගත් මම නිවසට පැමිණ දින කිහිපයකට අවැසි අාහාර උයා ශීතකරණයේ තැන්පත් කළෙමි. රෙදි සොදා වේලා නවා දැමිමී. නානකාමර සෝදා, නිවස පිරිසුදු කළෙමි. පසුදා රෝහළට ගොස් ඉතිරි ශල්‍ය කටයුතුවලට මුහුණදී ආපසු විවේක ගැනීමට මට නියමිත වී තිබුණ නිසා පවුලේ අය වෙනුවෙන් නිවස එසේ පිළියෙල කළෙමි. පසුදා මා රෝහළට පිටත් වන්නට මොහොතකට පෙර මහත් වූ වේදනාවක් ඇති කරමින් මා සිරුරින් ලේ පිටවන්නට විය. ලෙයින් පෙඟි වේදනාව දරාගත නොහැකිව රෝහලට රැගෙන ගිය මට ඉතා කරුණාවෙන් ඔවුහු සියලු සැලකුම් ලබා දුන්නෝය. මා පිරිසිදු කර, හෙදියක මා ළඟ අසුන්ගෙන සිටියාය. ඈ ගැන මා මීට පෙරද ලියා ඇත. ශල්‍ය කටයුතු නිමවී නින්දෙන් අවදි වූ පසු තේ සමඟ කෑමට 'මා කැමැති', කුමන වර්ගයේ කේක් කැබැල්ලක්දැයි පවා ඈ සටහන් කරගත්තාය.

මා ශල්‍යාගරයට රැගෙන ගිය විට නැවැත මට මගේ වෛද්‍යවරයා මුණ ගැසුණි. එතැන සිටි කණ්ඩායමේ මා දැන සිටි එකම අය ඔහුය. ඒ වනවිට ඔහු වෘත්තීයවේදී ලෙස අප දෙදෙනා අතර දොස්තර-රෝගීයා සම්බන්ධතාව ඇතිකරවා ගෙන තිබිණි. ඔහු මගේ දෑතින් අල්ලා ඔහුගේ කණ්ඩායමට මා හඳුන්වා දුන්නේය. ඔවුන් මට ඔවුන්ව හඳුන්වා දී ඔවුන් විසින් කරන්නට යන දේ පැහැදිළි කළේය. "ඔබගේ සිතේ සහ ගතේ ඇති වේදනාව මට සිතා ගන්නට හැකි දෙයක් නොවේ. ඒ දන්නේ ඔබයි. නමුත් ඔබ සුවපත් කිරීමට මට හැකි හැමදේම මම කරන්නම්." මගේ වෛද්‍යවරයා මා අතින් අල්ලා මෘදුව පැවසීය. මා බෙහෙත් විදිනා කටුවලට බය බව ඔහු දැන සිටියේය. මට සිහි නැති වූ පසුව කැනූලාව ඇතුළු කරන්නට ඔහු පොරොන්දු විය. මට නිර්වින්දික ලැබී, නින්දට පත් වෙන තුරු ඔහු මගේ අතින් අල්ලා සිටියේය.

සියල්ල නිම වී නැවත අවදි වූ මා වාට්ටුවට ගෙන ගිය පසුව අර කලින් කී හෙදිය පැමිණ 'මා කැමැති' කියූ වර්ගයේ කේක් සමඟ මට තේ පිළිගැන්වීය. ලෙයින් පෙඟි රෝහළට ආ මට නැවත ගෙදර යන්නට ඇඳුමක් නැති බව කී විට ඈ නිල් පැහැති ස්ක්‍රබ්ස් ඇඳුමක් අන්දවා ඒ සිහිවටනයක් ලෙස තියාගන්නට කීවාය.

ඒ වෘත්තිවේදී සංයමය ඇති, සංග්‍රහය ගැන දන්නා, නීතීයට ගරු කරන තමන් කරන්නේත් වෘත්තීයක් මිස තමන් දෙවියන් නොවන බව තේරුම් ගත් මිනිසුන්ගේ හැසිරීමය. නමුත් අද "ගැහැනුන්ට වඩා දරුවන් වැදීමේ අමාරුව මට තේරෙනවා. ගබ්සා පිළිබඳ ඔවුන්ගේ සිතිවිලි ඔබට වඩා මම දන්නවා" කියා අන්තර්ජාලයේ තමන්ගේ පුද්ගලික පිරිමි විශ්වාස පතුරවන්නට එන ශ්‍රී ලාංකික වෛද්‍ය සේවයේ කෙනෙක් මට ඉතා නිර්දය ලෙස පැවසීය. තව අය තමන්ගේ ආගමට වහල් වී ලිංගික අපරාධවලට ගොදුරු වූ බාල දැරියන්ට පවා දරුවන් වදන්නට බල කරන්නට මිනිසුන් පොළඹවන දේ ලියා පළ කරති. වෙනත් රටක රෝහලක රෝගී ස්ත්‍රියගෙන් කන්නට කැමැති කේක් වර්ගය පවා විමසද්දී ශ්‍රී ලංකාවේ වෙදතුමන් ස්ත්‍රියගේ ගර්භාෂය පිළිබඳ පුද්ගලික අයිතිය ඇයට නැති බව කියමින් මිනිසුන්ට වැරදි පණිවිඩ ලබා දේ. එක්තරා වෙද සිසුවෙක් මදුරුවන් පවා මැරීම වැරදි බව කියමින් ඩෙංගු මදුරුවන් මර්දන නොකළ යුතු යැයි අන්තර්ජාලයේ ලියමින් මිනිසුන් නොමඟ යවයි. පරිගණක යතුරුපුවරුවට මුවා වී කාන්තා සහ ළමා හිංසනයට රුකුල් දෙමින් කාන්තාව සහ දැරියන් පෙළන්නට මත පතුරුවන මොවුන් රෝහල්වල, සායනවල මොනවා කරනවා ඇති දැයි බලන්නට නිසි බලධාරීන් සිටීද?

මාරාන්තික උපත් ආබාධ ඇති කළල සහ ලිංගික අපරාධවලට ගොදුරු වී ඇති වන කළල ගබ්සා කිරීමට නීති සම්මත කිරීමට විදවතුන් යෝජනා කර ඇත්තේ එයින් බොහෝ මිනිසුන්ගේ සහ දැරුවන්ගේ මානසික, ශාරීරික සෞඛ්‍ය නඟා සිටුවීමට පහසුකම් සැලසෙන නිසාම පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත රැකීමටද ඒ ප්‍රගතිශීලී පියවරකි. රටක ජනතාවට නිවැරදි වෛද්‍ය උපකාර ලබා ගැනීමට තව තව පොළඹවන, ඔවුන් දැනුවත් කරන, එවැනි නීති තිබීමේ අවශ්‍යතාව අන්තර්ජාලය ඔස්සේ කතා කරන වෛද්‍යවරුන් නැතුවා නොවේ.

ඔවුහු තමන්ගේ පුද්ගලික මත පසෙක ලා එම දැනුවත් කිරීම් කරමින් නිති විරෝධි ගබ්සා පොළවලින් මිනිසුන් බේරා ගැනීමට අර අදිති. මවුපියන් වෙනුවෙන්, මාරන්තික උපත් අබාධ ඇති දරුවන් ඉපදීම අවම කර ගැනීමට උත්සාහ ගනිති. ඔවුන් එසේ වෙහෙසෙද්දී සෞඛ්‍ය/වෛද්‍ය සේවයේ සමහර අය නූපන් කළල ගැන චිත්තවේගයන් ඇතිකරමින් ගැහැනු සහ දැරියන් පෙළන්නට මිනිසුන් උසිගන්වන තමන්ගේ පුද්ගලික හෝ ආගමික විශ්වාස පතුරවමින් ගැහැනුන් සහ දැරියන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය පසුබට කරති.

 

නව අදහස දක්වන්න