ක ව ට ප ත් ත ර | දිනමිණ

ක ව ට ප ත් ත ර

කමල් පෙරේරා

“බයනු අල්තයනු කන්නට ගිය කලට

මායනු ලුයනු නැති බව පෙණුනි හනිකට

ජායනු ඩියනු තම්බා තිබුණු කෑමට

වීයනු සියනු කර ආවෙමි මම පිලට”

බත් කන්නට ගිය මිනිහෙකුට බත් හා කන්නට මාළු තිබුණේ නැත. ජාඩි ඒ වෙනුවට තිබුණෙන් කෝපයට පත් මිනිසා වීසි කර පිලට ආවේ ය. මෙකව පළ වූයේ 1926 අප්‍රේල් මාසයේ නිකුත් කරන ලද ‘තිපල් කසාය’ නම් මාසික කවට සඟරාවේ ය. මෙම මාසික සඟරාවේ ප්‍රකාශකයා වූයේ පානදුරේ ඩබ්ලියු. ඩී. ගේබ්‍රියෙල් මහතා බව සඳහන් ය.

මුද්‍රණ තාක්ෂණය බිහිවීම හා සමගාමීව ලංකාවේ ද 19 වන සියවසේ අග භාගයේ පටන් පුවත්පත් සුලබ වන්නට විය. විසිවන සියවස ඇරඹීම හා සමඟ ම ලෙටර් ප්‍රෙස් මුද්‍රණ තාක්ෂණය ද දියුණුපවුණු වෙමින් තිබිණි විවිධ ප්‍රවර්ග නැත්නම් ශානර යටතේ පුවත්පත් හා සඟරා එළි දකින්නට විය. වනිතා පුවත්පත්, ළමා පුවත්පත්, බෞද්ධ පුවත්පත්, කිතුනු පුවත්පත්, ජ්‍යොතිෂ පුවත්පත් වැනි විවිධ ශානරයන් අතර ‘කවට පුවත්පත්’ නම් ශානරයට ලැබුණේ ඉමහත් වැදගත් කමකි. මෙකියන පුවත්පත් විශේෂය අතිශයින් ජනප්‍රිය විය. මේ තත්ත්වය ඇතිවූයේ කවටමුත්තා නම් අන්වර්ථ නාමයකින් හැඳින්වුණු පෑලිස් අප්පුහාමි විසින් ආරම්භ කරන ලද ‘කවට කතිකයා’ පුවත්පත පාඨකයන් අතර ජනප්‍රිය වීම හේතුවෙනි. මේ හේතුවෙන් කවට පුවත්පත් රැල්ලක් බිහි විය.

තිපල් කසාය යනු එක් කවට සඟරාවක් පමණි. සියල්ල ලියා දක්වන්නට තරම් අසීරු කවට පුවත්පත් හා සඟරා ප්‍රමාණයක් එදවස බිහිව තිබිණි. ඒක මේක, ලටපට, කනේ පාර, ගමරාලගෙ තුවක්කුව, පුංචි නෝනා, කවට දූතයා, සිංගප්පූරු පචයා, අලුත් බෑනා, කවට අඟන, කරදිය වලල්ලා, කවට අන්දරේ, ලොකු සිඤ්ඤො, කුස්සියෙ අම්මා, පුංචි මහත්තයා, මරු සන්නිය, කවට බස, ලස්සන ළමිස්සී, ලෝක විහිළු, ගුරුන්නාන්සෙ මාමා, සිංහල කවටයා, ලෝක විහිළු ආදිය කවට කතිකයා විවර කරදුන් අවකාශයෙන් පාඨකයන් හමුවට පැමිණි පුවත්පත් හා සඟරා අතුරින් කීපයක් පමණි.

1926 දී පළ වූ ‘කවට අන්දරේ’ සමකාලීනව පළ කෙරුණු කවට පත් හා සඟරා ගැන කවියකින් ලියා දක්වන්නට වෑයම් කරයි.

“අලුත් බෑන ලොකු සිඤ්ඤොව දැකලා ඒක මේක ලටපට දෙඩු වා

පොලුත් ගගා උන් කුස්සියෙ අම්මට පුංචි මහත්මයා ඔරවන වා

කලුත් බලා ගමරාල තිපල් බී තුවක්කුවෙන් පාචන වෙන වා

මුළුත් කඩාගෙන විත් මරු සන්නිය පුංචිට හොල්මන් කරවන වා

1927 දී පළ කළ ‘ලෝක විහිළු’ නම් කවට සඟරාවේ ගුරුවරියක සමඟ ගමන් කරන ඉඟටියෙන් අඟල් තුන හතරක් පහතට වන සේ කොට ගවුම් හැඳගත් ශිෂ්‍යාවන් දෙදෙනකුගේ චිත්‍රයක් පළ කොට ඊට යටින් පහත සඳහන් කවිය දක්වා තිබිණි.

“පසෙකින් දනට පෙන්වන ගත රහස් තැ න

සැදෙමින් ගවුම් කොටයෙන් ලොව හිනස්ව න

අදරින් පාසලට යන සහ උසස් තැ න

නරඹන්! තරුණියන් දෙදෙනෙකුගෙ ලස්ස න”

ඒක මේක සඟරාවේ ඉදිරි පිටුවෙහි ‘කෙස්කෙටියන් හා බොක්සිං’ යන මාතෘකාවෙන් කාටුන් චිත්‍රයක් යොදා පහත සඳහන් කව පළ කොට තිබිණි.

“කෙස් කෙටියෝ කොට කලිසම් ඇඳ රුවැ ති

බොක්සිං ඩාන්සිං කෝලම් පුරුදු වෙ ති

ලංකාවේ කෙස් කෙටියන්ටත් මෙ යු ති

බොක්සිං පුරුදු නොකරන එක වැරදි වෙ ති”

1912 දී පළ වූ ‘සිංහල කවටයා’ පුවත්පතේ බේබදු වෑකරණය නමින් ලිපියක් පළ වී තිබිණි. අනාගතයේ බේබදු භාෂාව ප්‍රධාන භාෂාවක් විය හැකි යයි සිතන ලියන්නා බේබදුකම ඉගෙනගන්නා කොල්ලන්ගේ ප්‍රයෝජනය සඳහා බේබදු වෑකරණය බොහොම මහන්සි වී හරිගැස්සූ බව කියයි. (ලේඛකයා සිදත් සඟරාවේ එන ගී බේබදු වෑකරණය සඳහා වෙනස්කර සකසා ගනී.) පහතින් දැක්වෙන්නේ ඉන් කීපයකි.

“රා කොස්සන් සැමට - පොල් කෝම්බය පුද කර

කොල්ලන් දැනුම් සඳහා- රා වෑකරණ කරනෙම්”

“වැඩි නම් මත් වැඩි - අඩු නම් මත් අඩු”

වැඩියෙන් බිව්වොත් මත වැඩියි. අඩුවෙන් බිව්වොත් මත අඩුයි යන අර්ථයයි.

එදවස බොහෝ පාඨකයන් කවට පුවත්පත් ඇසුරු කරන්නට ඇතැයි යන නිගමනයට එළඹීම සාධාරණයයි සිතිය හැක්කේ කවට පුවත්පත් හා සඟරා මෙතරම් විශාල සංඛ්‍යාවක් බිහිව ඇති හෙයිනි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...