බිබිලේ පැණි දොඩම | දිනමිණ

බිබිලේ පැණි දොඩම

බන්දුල පී දයාරත්න

‘‘අපි මේ දොඩම් වීදුරුවක් බීලා යමුද ඇම්බන් මහත්තයා.... “ කියා ටොම්සන් මහත්තයා කීවේ පාරේ ඇවිද ගෙන යන ගමන්ය. පලතුරු යුෂ බීම සාදා දෙන තැනක් පාර අයිනේ තිබුණි.

‘‘මං ඒත් බැලුවා මොකද ටොම්සන් මහත්තයා ටිකක් පස්සට අදින්නේ කියලා... බැලුවම මේ දොඩම් බොන්න ආසා හිතිලා නේද? කමක් නෑ.. බොමු... ඒක අර පාට කරපු පැණි බීම බොනවට වඩා කොච්චර හොඳද?“කියා ඇම්බන් මහත්තයාද කීවේය.

‘‘ඇයි එතකොට මං බොන්නේ නැද්ද? ‘‘ කියා උන්නැහේ නෝක්කාඩු කීවේය.

‘‘නෑ... එහෙම නෑ උන්නැහේ.. අපි තුන් දෙනාම බොමු.. එහෙනං දෙන්නකෝ අපිට හොඳ දොඩම් වීදුරු තුනක්...“

තිදෙනාම දොඩම් බී මුදල් ගෙවූහ.

‘‘එක විදුරුවක් රුපියල් හැටයි.. එතකොට එක වීදුරුවකට දොඩම් ගෙඩියයි... හැබැයි මේවා නම් අර පිට රටින් ගෙන්නන පරණ වෙච්චි දොඩම් නෙවෙයි...“ කියා ටොම්සන් මහත්තයා කීවේ යන්නට හැරෙන ගමන්ය.

‘‘මේවා පිට රට ඒවා නෙවෙයි ටොම්සන් මහත්තයා.. අපේ රටේ දොඩම්.. බිබිලේ පැණි දොඩම්... “කියා කීවේ පලතුරු යුෂ වෙළෙන්දාය.

‘‘බොහොම හොඳයි... එතකොට සියරට දේ සිරි සැප දේ... ඒකනේ.. ඉතින් අපට දොඩම් වීදුරුවක් රුපියල් හැටකට දෙන කොට දොඩම් ගෙඩියක් කීයක් විතර වෙනවද? අපට නම් දොඩම් හම්බ වෙන්නේ වෙළෙන්දන්ගෙන් නේ ටොම්සන් මහත්තයා.. එක එක ගණන්වලට තමයි... හරියටම එක ගණනක් කියලා නෑ...“ කියා වෙළෙන්දා දොඩම් ගෙඩියේ ගාන කීමෙන් වැළකී සිටියේය.

බිබිලේ පැණි දොඩම්වල කතාව ආයෙත් ඇදී ආවේ හැන්දෑවේ ගෙදරදීය.

‘‘මේ බලන්නකෝ ටොම්සන් මහත්තයා.. මේ පත්තරේ තියෙන දේ...බිබිලේ පැණි දොඩම් විකුණා ගන්න බැරුව මහ ප්‍රශ්නයක් කියන්නේ....“ කියා උන්නැහේ දුව ගෙන ආවේ පත්තරේද දිග හැර ගෙනය.

‘‘කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ උන්නැහේ...දොඩම් ගොවියාටද? නැතිනම් වෙළෙන්දාටද? නැතිනම් බොන අපිටද? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘නෑ ටොම්සන් මහත්තයා.. මේකේ කියන්නේ දොඩම් ගොවියා ගැන. ඔය බිබිලේ ගම්වල සමහර ඉඩම්වල වගා කරල තියෙන එකම බෝගය පැණි දොඩම්.. එතකොට ඒ දොඩම් ගොවීන්ට හොඳ මිලක් ලැබෙන්නේ නෑ... වෙළෙන්දෝ තුට්ටු දෙකට දොඩම් ගන්නවා කියලා නේ. කියන්නේ... ඒ වුණාට අපට එන කොට දොඩම් ගෙඩියක් කීයද? “

‘‘උන්නැහේ... මේකනේ කතන්දරේ... බිබිලේ පැණි දොඩම් ඉවර කළේ කවුද? පිටරටවලින් ලංකාවට දොඩම් ගෙන්නන වෙළෙන්දෝ එකතු වෙලා නේ.. ඒකට කී දෙනෙක් හවුල්ද? මං අහලා තියෙනවා ඔය කෘෂිකර්මේ එක නිලධාරියෙක් හෙමින් සීරුවේ පතුරුවා හැරපු දිලීරයකින් තමයිලු බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වුණේ කියලා... එහෙම නැතිනම් ඔය සුපර් මාර්කට්වල කහ පාට දොඩම් පිටරටින් ගෙනල්ලා විකුණන්නේ කොහොමද? ඒවා බිබිලේ පැණි දොඩම් අහලකින්වත් තියන්න පුළුවන්ද? “

‘‘හරි ඉතින් ටොම්සන් මහත්තයා... ඒ කියන පරණ වගාව විනාශ වුණත් ඇත්තටම නම් බිබිලේ දොඩම් වගාව විනාශ වුණේම නෑ නේ... එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගෙඩි හැදෙන කාලෙට මිල කුණු කොල්ලෙට යන එක නේ. ඒ ප්‍රශ්නය විසඳා ගත්තා නම් හරි... “

‘‘අපි ඔය මිනිස්සුන්ට පලතුරු කන්න කියලා කෑ ගහන කෘෂිකර්ම ලොක්කෙකුට කතා කරලා බලමුද? මොකක්ද මේ ප්‍රශ්නේ කියලා...“ කියූ ටොම්සන් මහත්තයා දුරකථනයෙන් කෘෂිකර්ම ලොක්කෙකුට කතා කළේය.

‘‘ලොකු මහත්තයෝ අපට කියන්නකෝ දැන් මේ බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව සරුවට කෙරෙනවා නේ.. එක ගහකින් එක වාරෙකට දොඩම් ගෙඩි පන්සියක් විතර කඩා ගන්න පුඵවන් නේ.. ඉතින් මේකට මිලක් එන ක්‍රමයක් හදලා දෙන්න බැරිද? “

කෘෂි ලොක්කා උගුර කට පෑදුවේ ලොකු කතාන්දරයක් කියන්නටය.

‘‘මේකනේ ටොම්සන් මහත්තයා... අපිත් තාම මේ හොයනවා ක්‍රමයක් මේකට මොකද කරන්නේ කියලා...“

‘‘ඉතින් කොච්චර කල් යයිද ඒ වැඩේ හොයා ගන්න...“

‘‘ඒක කියන්න අමාරුයි... අඩු ගානේ මේකට තව විදේශ වැඩසටහන් කීපයකටවත් යන්න සිද්ද වෙයි.. මං හිතන්නේ ඕක ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්නේ ආර්ථික සංවර්ධනේට දාපු නිලධාරි මහත්තයෙක්.. මොකද අපේ වැඩේ ඉවරයි.. බඩ් පැළ දුන්නා.. වගා කරන ක්‍රම කියා දුන්නා... දැන් වගාව හොඳයි.. අස්වැන්න ලැබෙනවා... ඉතින් ආර්ථික සංවර්ධනේට තමයි ඒක භාර....අහලා බලන්නකෝ...“ කියා කෘෂි ලොක්කා දුරකථනය විසන්ධි කළේය.

ටොම්සන් මහත්තයා හිස වැනුවේ තමන්ට යමක් තේරුණු විලාසයෙනි.

‘‘ඕක තමයි දැන් තියෙන අර්බුදේ.. දැන් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙක විතරක් එක එක විෂයයට එක එක නිලධාරින් ඉන්නවා නේ... ආර්ථික සංවර්ධන නිලධාරිත් ඒ අතර කෙනෙක් තමයි.. ඒ වුණාට එයාටත් ඒක හරියට තේරෙන්නේ නෑනේ... එහෙම තේරෙනවා නම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ නේ... “කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ඒක මෙහෙම නේ ටොම්සන් මහත්තයා.. එක කාරණයක් තමයි නිලධාරීන් වැඩි... ඒ හින්දා එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නෑ.. අනික ටොම්සන් මහත්තයා.. ඔය දොඩම් ගොවින්ගේ ප්‍රශ්න ගැන හොයනවාට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවාද ඔය නිලධාරි මහත්තුරුන්ට... නිකං හිතන්න.. සතියකට කීප සැරයක් ඔය ගමන් ගාස්තු යැපීම් දීමනා වවුචර පුරවන්න තියෙනවාද? ඒවා කරලා ඉවර වෙන කොට වෙන වෙලාවක් නෑ.. ඒක තමයි නිලධාරිවාදය කියන්නේ... ඕකට බිබිලේ දොඩම් විතරක් නෙවෙයි.. නාවල අන්නාසිත් එකයි... රාජකාරි කරන්න ප්‍රශ්න තියෙන්න එපායැ.. ප්‍රශ්න විසඳපුවාම කොහොමද රාජකාරි කරන්නේ...? ඒකයි කතන්දරේ... අපි ඉතින් ඔය ලැබුණු වෙලාවක හොඳ පැණි දොඩම් වීදුරුවක්වත් බොමු.. අපට කරන්න තියෙන්නේ ඒක නේ... “ කියා ඇම්බන් මහත්තයා සිනහසුණේය.

 

නව අදහස දක්වන්න