අම­ර­දේව අස­පු­වෙහි සි‍ට අම­තමි | දිනමිණ

අම­ර­දේව අස­පු­වෙහි සි‍ට අම­තමි

බුද්ධදාස ගලප්පත්ති

ජ‍ාතියේ මහා ගාන්ධර්වයාණන්ගේ වියොවෙන් වසරක් ගතවන්නටත් පෙර අමරදේව අසපුවක් පිළිබඳ පුවතක් අසන්න‍ට ලැබීම එක් අතකින් විස්මය ජනක පුවතකි. අනෙක් අතින් එවන් පුවතක් මෙරට අසන්නට ලැබීම දුලබ සිද්ධියකි. ජාතියේ රන් ස්වරය යැයි විරුදාවලිය ලත් අමරණීය අමරදේවයන්ගේ ගායනා පසුබිමෙහි සිටිය‍ා වූ එතුමන්ගේ ගායනා රැසකම හදවත බඳු ගේය පද සංකල්පනා නිමැවූ මහගමසේකරයන් වෙනුවෙන් අගනුවර ඔහු නමින් ම‍‍ාවතක් නම් වන්නට දශක හතරකට අ‍ාසන්න කාලයක් ගත වූ බව සිහිවන කල්හි අමරදේවයන් වාසනාවන්ත, පුණ්‍යවන්ත මුණිවරයාණන්ම නොවේද කියා මට සිතුණි. ප්‍රේම අසපුවේ මුණිවරය‍‍කු පිළිබඳ අප අසා ඇත්තේ ජාතියේ යශෝරාව යැයි නම් ලද නන්දා මාලිනියගේ හඬිනි. සුනිල් ආරියරත්න මහැදුරුගේ පන්හි‍ඳෙන් කුරුටු ගෑවුනු සංකල්පනාවකිනි.

එහෙත් 28 දා පූර්වභාගයේ සිට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී, මංගල ශිලා ප්‍රතිෂ්ඨාපයෙන් අනතුරුව නුදුරු දිනෙක ඉදිවී නිමාවන අසපුවකදී අමරදේව නම් ගාන්ධර්වයෙකුගේ, මුණිවරයකුගේ සුවඳ පැතිර යනු නිසැකය. අපේ ගම පරිශ්‍රය මතු නොව ඈත ගම් නියම් ගම් සිසාරා අමරදේව අසපුවෙන් විහිදී පැතිරෙන සුවඳ මෙතෙර එතෙර සුවහසක් සංගීත ප්‍රිය, සංගීත ලෝලී දන මන කොඳ පුබුදු කරමින් ගලා යනු නියතය. එදින ඉක්මනින් ම උදාවේය යන පැතුමින් යුතුව අමරදේව අසපුවෙන් සමුගත් මොහොතෙහි සිතෙහි නැඟුණු හැඟුම් බිඳක් පවසන්නට අවසර.

අමරදේව පදනමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවන අසිරිමත් මොහොතට සහභාගී වන්නැයි ඇරැයුම් කළෝ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් හා අමරදේව පදනමයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගිවීමට නියමිත වූ උළෙලෙහි කූටප්‍රාප්ත මොහොත සටහන් කරනු ලබන මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් සුරතින් බවයි ඇරැයුමෙහි සඳහන්ව තිබුණේ. එහෙත් සැබැවින්ම සිදුවූයේ කුමක්ද? මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය නන්දා මාලිනී ගායිකාවගේ සුරතින් මෙන්ම ජනාධිපතිතුමන්ගේ සුරතින්ද ප්‍රතිෂ්ඨාපනය වීමයි. දේශයෙහි ප්‍රධාන පුරවැසියා හා සමඟ දේශයේ යශෝරාවය සේ විරුද නම් ලබා සිටිනා කලාකාරියක විසින් දේශය විසින් බිහිකරනු ලැබූ ජාතියේ අග්‍රගණ්‍ය සංගීතඥයා සිහිකරනු වස් ඉදිවන අරණකට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය වීම ඇදහිය නොහැකි මොහොතක් නොවීද? එහෙත් සැබැවින්ම එය එසේ සිදුවනු දුටිමි. එහි ගෞරවයක් වීනම් අසිරියක් වීනම් ඊට හිමිකම් ලබන්නෝ කවරහුද? නන්දා මාලිනී බඳු ගීත කෝකිලාවක සමඟ මුල්ගල් තැබීමට එක්වූ ජනාධිපතිතුමා නොවේද ඉන් ගෞරවයට පත්වූයේ? බාල දේශපාලන මත හිස පුරවාගත්තෙකු විසින් ඊට විකෘත අර්ථකථනයක් දී නන්දා මාලිනියත් යහපාලන මගට ආවැඩුවා ය යන පුවතක් මවන්නට ඉඩක් ඇතත් මා දකින්නේ එහි අනෙක් පැත්ත සිදුවූ බවය.

එහිදී නන්දා මාලිනී ගායිකාවගේ අදීන පෞරුෂය සමස්ත දේශය විසින්ම දුටු බව මගේ විශ්වාසයයි. ඈ කිසි දින ප්‍රශස්ති ගායනාවට හවුල් වී ඇගේ නමින් මාවත් සරසන්නට කිසි දින ඉදිරිපත් නොවූ බව සියලු ශ්‍රී ලංකාවාසීන්ම දන්නා බැවිනි.

අමරදේව අසපුව, සිහිනයක් නොව යථාර්ථයක් බවට පත්කිරීමෙහි පෙරමුණ ගෙන ක්‍රියාකරන, නිරතුරුවම කලාකරුවන්ගේ ගැටලු ඔවුන්ගේ වෘත්තීමය දුෂ්කරතා පිළිබඳ සංවේදී මනසකින් යුතු මාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර විසින් අමරදේවයන් යනු ජාතිය සතු වූ මහඟු මිණක් බඳු විශිෂ්ටයකු බව රැස්ව සිටි ආරාධිතයන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ රාජපාක්ෂික භාවයට ප්‍රශස්ති ගී ගායනා පමණක් මෙරට ඇගැයීමට ලක්වූ විපරිත සමයක් වූ බවද සිහිපත් කරමිනි. අමරදේව යනු ජාතිවාදී මනසකින් වියුක්ත වූ ජනතාව ‍වෙනුවෙන් ගී ගැයූ යුග පුරුෂයාණ කෙනෙක් වූ බව ‍හෙතෙම තවදුරටත් පවසනු ඇසිණි. රටකට අමරදේවලා දෙදෙනකු හෝ සරච්චන්ද්‍රලා දෙදෙනකු බිහිවන්නේ නොමැත.

චිත්‍රසේන, මාර්ටින් වික්‍රමසිංහ, මහගමසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, පරණවිතාන, ජෝර්ජ් කිට්, ඩී. බී. ධනපාල වැන්නන්ද එසේය.

මහැදුරු සුනිල් තම දෙසුම ඇරැඹුමෙහි දී පැවසූ ලෙසම අමරදේව මතු නොව ඉහත මවිසින් සිහියට නඟන ලද සියලු විශිෂ්ටයන්ම ඇතුළත්ය. අප්‍රමාණය. අසමසම ය. අසදෘශ්‍යය. එබඳු යුග පුරුෂයකු ජීවත්ව සිටියදී දුටු සිහිනයක් මල්ඵල ගැන්වීමෙහි උදාර කෘතවේදී පුණ්‍යකර්මයට උරදෙමින් එහි භාරකාරත්වය කර මතට ගෙන මඟපෙන්වන මංගල සමරවීර, ඔහුගේ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ආදී සහෘද මනසින් යුත් පිරිස සිහියට නැගේ. ඔවුන්ගේ ආගමනයට පෙර අමරදේව අසපුව වෙනුවෙන් අමර‍ෙද්ව පද නම හා උරිනුර ගැටෙමින් කටයුතු කළ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ඔහුගේ නියෝජ්‍ය ආචාර්ය කරු පරණවිතාන ද සිහිපත් කළ යුතුම යැයි සිතේ.

අමරදේව යනු කවරෙක්ද? එතුමන් පසුගිය දශක කිහිපය තුළ මෙරට ශ්‍රේෂ්ඨ පුරුෂ නාමාවලිය තුළ හිමිකරගෙන ඇත්තේ කිනම් ගෞරවනීය ස්ථානයක්ද? 2016 නොවැම්බර් මස 03 දා එතුමන්ගේ වියොව රටේ ප්‍රධාන පුරවැසියාට දැනුනේ කොහොමද? අපේ රටේ කලාව, සංස්කෘතිය මතු නොව, ‍ෙද්ශපාලනය තුළ ජීවත් වුණු විශිෂ්ටයන්ගේ අභාව සිදුවුණු අවස්ථාවන්හි රාජ්‍යය කටයුතු කොට ඇති ආකාරය මතකයට එයි.

රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ හෝ සරසවියේ අවසන් කටයුතු බුහුමන් පිදුණු යතිවරයන්ගේ සිට මහැදුරු සරච්චන්ද්‍ර, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආදී කීර්තිමත් පුද්ගලයන්ගේ නාමාවලියට පණ්ඩිත් අමරදේව ශ්‍රී නාමය එක්වන්නේ මෙරට ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක ඇරැඹුමක් සමඟය. කලාකරුවෙක් වෙනුවෙන් ජාතික ශෝක කාලයක් වෙන් කිරීමටත් වඩා අමරදේවයන්ට ජාතියේ ගෞරවය බුහුමන පුද දෙනු වස් නිදහස් මන්දිරය තුළ එතුමන්ගේ දේහය තැන්පත් කිරීම ජනාධිපතිවරයකු විසින් ගනු ලැබූ නිර්භීත හා ඓතිහාසික තීන්දුවක් ලෙස මම දකිමි. එකී තීරණය පිළිබඳ විවිධ කොටස් දේශපාලනික හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව විරෝධය පෑ අයුරු අමතක කළ නොහේ. එහෙත් අමතක නොකළ යුතු සත්‍යය වන්නේ මහරජාණෙනි යනුවෙන් ප්‍රශස්තියක් ගායනා කළ ගායිකාවකට අගනුවර ප්‍රධාන නගරයක මාවතක් නම් කෙරුණු නුදුටු ඇසින් නෑසු කනින් සිටි ඊනියා කලා රසිකයන් පිළිබඳ සිහියට නැගෙන කල්හිය. කලාව රාජ්‍ය පාක්ෂිකවීම පිළිබඳ මංගල සමරවීර අමාත්‍යතුමා අදහස් කළ ඇතැම් කරුණු තුළ මේ තිත්ත ඇත්ත අත්විඳින්නට සිදුවූ බව ඉතිහාසයෙහි සඳහන්ය.

අමරදේව අසපුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාන උළෙල අමතා ජනාධිපතිතුමා කුමක් පවසන්නේදැයි අපි බලා සිටියෙමු. වේදිකාවේ වම්පස ඇමතුම් පීඨිකාව ( Podium) වෙන් වී තිබුණේ ජනාධිපතිතුමා වෙනුවෙනි. එහෙත් මහාචාර්ය සුනිල් ආරියරත්න, අමරදේව පදනම වෙනුවෙන්, රසික සභාව ඇමතූයේ ජනාධිපතිතුමාගේ නමින් වූ ඔහු පමණක් භාවිත කරනු ලබන මයික්‍රපෝනය සහිත පීඨිකාවේ සිටය. ජනාධිපතිතුමා ඔහුට එසේ අමතන්නැයි” පැවසූ බවත්, බලය දුන් බවත්, මහැදුරුතුමා විසින් සිහිපත් කරන ලද්දේ එය රැස්වූවන් විමතියට පත් කරනු ලබන සිදුවීමක් වූ බැවිනි.

 

සුනිල් ආරියරත්න ජනපති පෝඩිය‍ෙම් සිට ඇමතූ පසු ජනාධිපතිතුමාගේ දේශනයක් තිබිය නොහැකි බව වටහා ගැනීම අපහසු නොවීය. අමරදේව වියෝවින් වසරක් සපිරෙන්නටත් පෙර පැවැත්වුණු මේ උළෙලෙහිදී අමරදේවයන් පිළිබඳ කුමන ගුණ සමරු කතා පැවැත්විය යුතුද? මහැදුරු සුනිල් ආරියරත්න පුරාණ ඉතිහාස කතා කරා ගොස් සුප්පා‍ දේවිය අත තැබූ සියල්ල රත්රන් වූ පුවත සිහිකරමින් අමරදේවයන්ගේ සංගීත සංස්පර්ශය ලත් සෑම නිර්මාණයක්ම ස්වර්ණමය නිර්මාණ බවට පත්වූ බව ප්‍රකාශ කළේය. ඔහුගේ සංගීත ස්පර්ශය ලත් මෙම නිර්මාණාවලිය අප මතකයෙන් කෙසේ බැහැරව යයිද? චිත්‍රසේනගේ කරදිය, නල දමයන්ති, සරච්චන්ද්‍රගේ ලෝමහංස, වෙස්සන්තර, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම් පෙරළිය, දෙලොවක් අතර, රන්සළු වැනි සිනමා හා වේදිකා නාට්‍ය නිර්මාණ මෙන්ම, මධුවන්ති වැනි ගුවන්විදුලි සංගීතමය වැඩසටහන්ද අමරදේව නාමය සමඟ අවියෝජනීයව පවතින බවට කුමන සාධක අවශ්‍ය වේද? එතුමන්ගේ ජීවිතයේ අවසාන භාගය තෙක්ම එතුමන්ට ගෞරව ප්‍රණාම පුද දුන්නෝ කවරහුද? සුනිල් ආරියරත්න මහදුරුතුමන්ට අනුව, අමරදේවයෝ රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන් පටන්ගෙන දුගී දුප්පත් යාචක ජනයා දක්වා වූ සකලවිධ ජනයාගේ සාතිශය සමාදරයටද විදග්ධයන්ගේ පමණක් නොව අවිදග්ධයන්ගේද ප්‍රසාද ප්‍රණාමයට පාත්‍ර වූ අන් කිසිදු කලාකරුවකු මෙරට බිහිවී නොමැත.

වයස අවුරුදු 88ක් ව තිබියදී මිය යන මොහොතේත් 87 වසරේදීත් ඔහු ජනප්‍රිය ගායකයා ලෙස මහජන ඡන්දයෙන් පිදුම් ලබන පීපල්ස් එවෝඩ් හිමිකර ගත්තේය. එලෙසම 2015 තෙක් වසර හයක් ජනතාවගේ කලාකරුවා Peoples Artist of the Year සම්මානයෙන් පිදුම් ලබන්නේ ඔහු විසින් සංගීතඥයකු ලෙස ප්‍රදානය කරන ලද සංගීත නිර්මාණාවලිය හේතුකොටගෙනය. 1972 – 1995 දක්වා කාලය තුළ සරසවි, ජනාධිපති සිනමා සම්මාන උළෙල සංගීත නිර්මාණයෙහි හා ගායනයෙහි විශිෂ්ටයා ලෙස සම්මාන දිනූ වාර රැසකි. මෙරට සියලුම විශ්වවිද්‍යාල පාහේ එතුමන්ට සම්මාන උපාධි පිරිනමා ඇත්තේ එසේ සම්මාන උපාධි ලද අන් කිසිදු කලාකරුවකු පිළිබඳ මතකයක් අපට සිහි නොගැන්වෙන අයුරිනි. මෙතෙර මතු නොව අමර‍ෙද්වයන්ගේ නිර්මාණ කෞශල්‍යය එතෙරදීද සම්භාවනාවට පාත්‍ර වූ බවට නිදසුන් සපයන්නේ ඉන්දියාවෙන් පිරිනැමුණු පණ්ඩිත්, පද්ම ශ්‍රී ආදී සම්මානද ආසියානු නොබෙල් ත්‍යාගය හා සමාන රැෙමාන් මැග්සේසේ සම්මානයද ඔහුට හිමිවීම තුළිනි.

2016 නොවැම්බර් 05 වනදා අමරදේවයන්ට රාජ්‍ය ගෞරවය ලබාදීමට තීරණය කළ ජනාධිපතිතුමාගේ නෙතග කඳුළු පිරී තිබෙනු දුටු පිරිස් වෙති. එතුමන්ගේ ඉකිබිඳුම් හඬ පවා මහැදුරු සුනිල්ට ඇසුණු බව ජනාධිපතිතුමා ඉදිරියේ සිහිපත් කිරීමට අමතක නොකළේය.

ඒ මොහොතෙහි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විමලා අමරදේව මැතිනියට හා දරුවන්ට පිළිණ දුන්නේ හැකි ඉක්මනින් අමරදේවයන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත්කරන බවයි. අමරදේව අසපුව එකී සිහිනයයි. ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසූ ලෙස ඉදිරි වසර සපිරෙන්නට පෙර අසපුවේ කටයුතු නිම වේ. අමරදේව අසපුව මෙරට සංගීත අධ්‍යාපනයෙහි පර්යේෂණයෙහි නිරත විද්‍යාර්ථීන්ට මෙන්ම පොදු රසික ප්‍රජාවටද විපුල ඵල ලබාගත හැකි ආරණ්‍යයක් වනු නියතය. අමරදේව කෞතුකාගාරය, එතුමා ලද සම්මාන උපහාර, පළ කළ පොත්පත්, එතුමා පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ, විචාර ලිපි ලේඛන, සංගීත පුස්තකාලය ආදිය මෙහි ස්ථාපිතවීමට නියමිතයි. අමරදේව විමලා පනස් හතරවන විවාහ මංගල සංවත්සරයට පසු දින (1963 අගෝස්තු 27) අගෝස්තු 28 වනදා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවූ අමරදේව අසපුව අමරදේව විමලා යුවළගේ 55 වන විවාහ සංවත්සර දිනය (2018 අගෝස්තු 27) පෙර විවෘත කළ හැකිවේ නම් එය කිනම් භාග්‍යයක් වනු ඇද්ද)

සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ. නල දමයන්ති මුද්‍රා නාටකයට අමරදේව ගැයූ ගීයක ඉහත පද මා මතකයට පිවිස හද රිදවන්නා සේ දැනේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...