විසි වස­ර­කට හිර ගෙට යැවූ ආධ්‍යා­ත්මික නාය­කයා | දිනමිණ

විසි වස­ර­කට හිර ගෙට යැවූ ආධ්‍යා­ත්මික නාය­කයා

කමල් පෙරේරා

ලෝකය පුරා කොයිතරම් සංඛ්‍යාවක ජනතාවක් මිථ්‍යාවේ ගිලී සිටිනවාද කියන එකට හොඳම උදාහරණය ඊයේ පෙරේදා අප‍ට විවිධ මාධ්‍යවලින් දැක අසා බලා ගන්න‍ට ලැබුණා. ඒ ආධ්‍යාත්මික නායකයෙක් ලෙස තමන් හඳුන්වාදෙන ගුර්මීත් රාම් රාහිම් සිං ස්ත්‍රී දූෂකයෙක් බව‍ට අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමත් සමඟයි. මේ 21 වෙනි සියවසෙත් ලොව දසත ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් තවමත් අවිදු අඳුරේ අතරමංව සිටින හැටි අපේ ඇස් පනාපිට දැකගන්න‍ට ලැබුණා.

ඇත්තටම කවුද මේ ගුර්මීත් ර‍ාම් රාම් සිං කියන්නේ. සමාජ සුබසාධනය උදෙසා කැප වූ ආධ්‍යාත්මික සංවිධානයක් වශයෙන් හඳුන්වන “දෙර සාවා සවුදා නිකායේ” වත්මන් නායකයා ඔහුයි. ඉන්දිය‍ාවේ හර්යාන‍ා ප්‍රාන්තයේ සිර්සා නගරය අසලයි ඔහුගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ. පූජා භූමියක් ලෙස හැඳින්වෙන එහි භූමි ප්‍රමාණය අක්කර 1000 ක‍‍ටත් වැඩියි. ගුර්මීත් ර‍ාම් මේ නිකායේ නායකත්වයට පත්වන්නේ අවුරුදු 23දී. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 50 ක්. ඔහුගේ ආධ්‍යාත්මික ගුණාංගවල‍ට වඩ‍ා බාහිර රූපකායෙන් හා ඇඳුම් පැලඳුම්වලින් සිය අනුගාමිකයන් වසඟ කර ගැනීමට වැඩි උත්සාහයක් දරන බවයි ඔහු ගැන දන්නා අය පවසන්නේ. නිතරම දිලිසෙන ඇඳුමින් සැරසෙන්නට ගුර්මීත්ගේ ඇති දැඩි කැමැත්ත නිසා ‘රොක් තාරකා බබා’ යන නමත් ඔහුට පටබැඳ තිබෙනවා. ‘දෙර සාවා සවුදා නිකායේ’ නායකත්වයට අමතරව දැවැන්ත ව්‍යාපාර සමූහයක හිමිකාරිත්වයත් ඔහු සතු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉන්දියානු ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන හින්දු හා ෂික් ආගම් විවේචනය කිරීම මොහුගේ එක් උපක්‍රමයක් ලෙස හැඳින්වෙනවා. එසේම දෙවියන්ට සමීප වීම සඳහා වෘෂණ කෝෂ ඡේදනය කරගන්නා ලෙස අනුගාමිකයන්ට බල කරන බවටත් මොහුට චෝදනා නැඟෙනවා. මෙවැනි ගති ලක්ෂණවලින් පෙනී යන්නේ මේ ආධ්‍යාත්මික නායකයා කිසියම් මානසික අසහනයකින් පෙළෙන බව වුවත් ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් මොහු වටා එක්වූයේ කෙසේද යන පැනයට පිළිතුරු සෙවීම මානසික රෝග වි‍ෙශ්ෂඥයන්ට සේම ලොව පුරා සිටින සමාජ විද්‍යාඥයන්ටත් පැවරෙන බරපතළ වගකීමක් බවත් කිව යුතුයි.

ආධ්‍යාත්මික නායකත්වයේ දිලිසෙන සුළු පිළි‍ළෙට මුවා වී ගුර්මීත් රාම් කළ අපරාධ දැන් හෙළිවෙන්නට පටන් අරන්. ඒවා අතරින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් සිද්ධිය වන්නේ 2002 දී ඔහුගේ ආධ්‍යාත්මික මූලස්ථානයේදී ස්ත්‍රීන් දෙදෙනෙක් දූෂණය කිරීමේ අපරාධය. දිගු කාලයක් පුරා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ අධිකරණයක විභාග වුණු මේ නඩුවේ තීන්දුව ප්‍රකාශ වුණේ අගෝස්තු 25 වැනිදායි. ඔහු වරදකරු ලෙස අධිකරණය තීන්දු කරන විටත් ලක්ෂ 2ක පමණ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටි බව වාර්තා වෙනවා. අධිකරණ තීන්දුවට විරෝධය පළකරමින් ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තා. රජයේ දේපළ විනාශ කරමින් මහා මාර්ගයේ ගමන් කළ වාහන ගිනිබත් කරමින් හා දුම්රිය ස්ථාන කඩා බිඳ දමමින් ඔවුන් ඇරඹූ ප්‍රචණ්ඩ අරගලය මැඬ පවත්වන්න යාමේදී හමුදා වෙඩි පහරින් අනුගාමිකයන් 23ක් මිය ගිය බව මාධ්‍ය මඟින් හෙළිකර තිබෙනවා. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 2500ක් පමණ වෙනවා.

මේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක රජයේ කාර්යාල, පාසල් හා මහාමාර්ග වසා දමා ඇඳිරි නීතිය පනවන්න ප්‍රාන්ත ආණ්ඩුවලට සිදුවුණා. අන්තවාදී අන්ධ භක්තිකයන් උත්සාහ කළේ මුලින්ම ඉන්දියාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවා හැර ලෝකයේ සෙසු රටවල වෙසෙන අනුගාමිකයනුත් අවදි කරන්නයි. තතු දත් ආරංචි මාර්ග පවසන ආකාරයට ලොව පුරා ගුර්මීත් රාම්ගේ අනුගාමිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා. මේ ලක්ෂ හැටම තනි තනියෙන් එක ගලක් බැගින් විසි කළා නම් ලෝකය සොලවන මහා හර්තාලයක් දියත් කරන්න එයම වුණත් ප්‍රමාණවත්. නමුත් ගුර්මීත් අනුගාමිකයන්ගේ අනාගතයට වගේම අවිද්‍යාව හා මිථ්‍යාව පිළිකෙව් කරන ලෝක ජනතාවගේ භාග්‍යයන්ට අන්ධ අන්තගාමීන්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැහැ.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය මාසික ගුවන් විදුලි කතාවේදී ස්ත්‍රී දූෂක ආධ්‍යාත්මික නායක ගුර්මීත්ගේ තකතීරු ගෝල බාලයන්ට බොහොම අපූරු පාඩමක් කියා දී තිබුණා. මෝදිගෙම වචනවලින් කියනවා නම් ඒක මෙහෙමයි. ‘භක්තියේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකියි. නීතිය අතට ගැනීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැහැ’ අවුරුදු 20ක සිර දඬුවමකට යටත් කළ ආධ්‍යාත්මික නායක ගුර්මීත් රාම් රාහිම් සිං මේ වන විට ඉන්දියාවේ රෝහත් නගරයේ බන්ධනාගාර කුටියක කොටුකර සිටිනවා. තමන්ගේ ආධ්‍යාත්මික නායකයා ස්ත්‍රී දූෂකයෙක් බව සැල වූ පසුව කරුණු හරිහැටි නොදැන ඔහු පසුපස ගිය අනුගාමිකයන් රැසක් දැන් ගුර්මීත්ට ශාප කරමින් සිටින බවටත් පුවත් අසන්න ලැබෙනවා.

සායි බබාගේ සිට ලෝකයේ සිටින ආධ්‍යාත්මික සළු පොරවාගත් ඕනෑම පුද්ගලයෙකු වන්දනාමාන කිරීමට පුරුදු වූ අන්ධ භක්තිකයන් අපෙ රටෙත් ඕනෑ තරම් සිටිනවා. දරුවෙක් හදාගැනීමේ පටන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, රැකීරක්ෂා මේ හැම දෙයක්ම ආධ්‍යාත්මික නායකයාගෙන් නැත්නම් වෙනත් නොපෙනෙන බලවේගයකින් ප්‍රාර්ථනා කිරීමට පුරුදු වෙලා ඉන්න මෙවැනි උදවියගේ අන්ධ දෑස් මෙවැනි සිදුවීම් මඟින්වත් විවර වේවා කියා අපි ප්‍රාර්ථනය කළ යුතුයි.

ඒ වගේම ආගමේ, ජාතියේ නැත්නම් වෙනත් කුලකයක මුවාවෙන් නීතිය අතට ගන්න සූදානම් වන අපේ රටේ නොයෙක් අන්තවාදීන්ටත් මෝදි කතා කළා වගේ කෙළින් කතා කරන්නය කියලා රට කරවන ඇත්තන්ටත් මතක් කර සිටින්න කැමතියි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...