බින්දුවා | දිනමිණ

බින්දුවා

දේවාලේගම  පී. ගුණපාල වීරසිංහ

මාළුවන්ට පීනන්නට උගන්වන්නට අවශ්‍ය නැතුවාක් මෙන් සමහර මිනිසුන්ටද කපටිකම් ඉගැන්වීමට අවශ්‍යතාවක් නැත. ඒ ඔවුන් උපතින්ම කපටිකම්ද රැගෙන එන බැවිනි. ඕනෑම සංඛ්‍යාවක් ඉදිරියට බින්දුවක් එකතු කිරීමෙන් සිය දහස් ගණනින් මෙන්ම ලක්ෂ ගණනින්ද චෙක්පතක්වලින් මුදල් වංචා කළවූන් පිළිබඳව අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද අපට අසන්නට ලැබී ඇත. අපේ මිනිසුන් ඔවුන්ට Òබින්දුවාÓ යනුවෙන් අනවර්ථ නාමයක්ද දෙනු ලබන්නේ අපට උරුමයෙන්ම ලැබී ඇති නම් තැබීමේ හැකියාව මොනවට පිළිබිඹු කරමිනි.

මෙය අප ගම් ප්‍රදේශයේ අප ‍තරුණ අවධියේදී සිදු වූ පාසලේ දෙකේ පන්තියට පමණක් අධ්‍යාපනය සීමාකළ පසු කාලයේදී ‘බින්දුවා’ නමින් හැඳින්වූ පුද්ගලයකු සම්බන්ධ කතාවකි.

මෙය සිදුවූයේ 1965 තරමේදී බව සඳහන් කළ යුතුය. ඒ කාලයේ පැවතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වූ අතර එවකට අගමැතිවරයා වූයේ දිවංගත ඩඩ්ලි සේනානායක මහතාය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේදී ද මැතිවරණ සමයේදී සෑම දේශපාලන පක්ෂයකින්ම තරගයට මෙන් ඡන්ද පොරොන්දු දීම සුලබ සිද්ධියක් විය. හැටපහේ මැතිවරණයේදී ජනතාවගේ අතිශයින්ම සිත් ගත් එසේම මැතිවරණ ජයග්‍රහණයට බොහෝ සෙයින්ම බලපෑවා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ ඡන්ද පොරොන්දුවක් වූයේ ශත විසිපහකට හාල් සේරුවක් හැම දෙනකුටම ලබාදීමය. ඒ කාලයෙහි විවෘත වෙ‍ෙළඳපොළේ හාල් සේරුවක් ශත හතළිහක්, හතළිස් පහක් පමණ වූ හෙයින් ශත විසිපහකට හාල් සේරුවක් ලබාගැනීම ජනතාවට අතිශයින්ම ප්‍රීතිජනක බලාපොරොත්තුවක් විය. එම කාලයෙහි රට මෙට්‍රික් ක්‍රමයට හැරී නොතිබුණු අතර හාල් වැනි ධාන්‍ය වර්ග හුණ්ඩු, සේරු, කුරුණි, බුසල් ආදී වශයෙන් මැනීම කළ අතර අනිකුත් ද්‍රව්‍ය කාල, භාගය, අවුන්සය, රාත්තල වශයෙන් මිනුම් කරන ලදී.

මා මෙහි සඳහන් කරන ‘බින්දුවා’ යන නම තම නමට ඈඳාගත් පුද්ගලයා ජීවත් වූයේ දේවාලේගම නගරයට ආසන්න ගමක් වූ කුඹුක්ගම නම් ගමේය.

දෙකේ පන්තියට පමණක් අධ්‍යාපනය ලැබුවද ඔහුට කපටි ඥානයක් උත්පත්තියෙන්ම ලැබී තිබුණි. මිනිසුන් නොයෙකුත් අන්දමින් රවටා ප්‍රයෝජන ගැන්මේ අපූරු හැකියාවක් ඔහුට විය. එවකට අවුරුදු තිහක් පමණ වූ ඔහු තනිව ජීවත් වූ අවිවාහකයෙක් විය. එම කාලයේ සමූපකාර කඩයෙන් සහල් ගැනීම සඳහා ලොකු කුඩා සෑම පුරවැසියකුටම සාමාන්‍ය ජනතාව ‘හාල්පොත’ යනුවෙන් හැඳින්වූ කූපන් පොතක් තිබුණි. සතියකට වරක් සමූපකාර කඩයෙන් හාල් ලබාගන්නා හැම විටම මෙම කූපන් පොත ඉදිරිපත් කළ යුතු වූ අතර එක් වරකට එක කූපනය බැගින් කපාගන්නා අතර එම වර්ෂය අවසාන වන විට කූපන් පොත ද අවසාන වේ. අලුත් අවුරුද්ද සඳහා යළිත් හාල්පොත් නිකුත් කෙරේ.

මා මෙහි සඳහන් කළ පුද්ගලයා හාල් රැගෙන යාමට පැමිණෙන්නේ දේවාලේගම තිබූ විවිධ සේවා සමූපකාර කඩයටය. එම අවධියේ අවට ගම් ගණනාවකට තිබුණේ මෙම දේවාලේගම සමුපකාර කඩය පමණකි. මෙය විශාල ආයතනයක් වූ අතර කූපන් කැපීමට ‘සැන්ටින් මහත්තයා’ යනුවෙන් හැඳින්වූ පුද්ගලයකු ද, බිල් ලිවීමට කළමනාකරුවකු ද, හාල් කිරා දීමට සේවකයින් දෙදෙනෙකු ද විය. සැන්ටින් මහත්තයා යනු ඔහුගේ නමද නැතහොත් මිනිසුන් සාදාගත් නමක්දැයි කීමට අදවත් මම නොදනිමි. අවුරුදු හැත්තෑපහක් පමණ වූ ඔහු මෙම ක‍ඩයෙහි කූපන් කැපීම වසර ගණනාවක් තිස්සේ කරගෙන ආ හෙයින් මෙම කඩයට බඩු මිලදී ගැනීමට පැමිණෙන සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම ඔහුට හොඳ දැනීමක් තිබුණි.

අප මුලින් සඳහන් කළ පුද්ගලයා සහල් මිලදී ගැනීමට සමූපකාරයට පැමිණෙන්නේ මිනිසුන් බහුලව ගැවසෙන අවස්ථාවක් බලාය. සැන්ටින් මහත්තයා කූපනය කපා ගත් පසු කළමනාකාරවරයා බිලක් ලියා දෙයි. ඉන්පසු මේ පුද්ගලයා කරන්නේ කිසිවක් නොදන්නා ආකාරයෙන් කඩයෙන් පිටව ගොස් හාල්සේරු 1 යන්න ඉදිරියෙන් බින්දුවක් ලියා ශත 25 යන්න ඉදිරියෙන් ද තවත් බින්දුවක් ලියා හාල් කිරා දෙන පුද්ගලයා අතට බිල දීමයි. එම සේවකයා බිල දෙස බලා හාල් සේරු දහයක ප්‍රමාණයට හාල් කිරා දෙයි. හාල් සේරු දහයක ප්‍රමාණයක් ගෙන යාමට සුදුසු පරිදි ඔහු ලොකු පන් මල්ලක් ගෙන එන්නේය. ඔහු ‍ෙමම කපටි ක්‍රියාව බොහෝ කාලයක් කරගෙන ගොස් ඇත.

කිසිදු හොරකමක් හෝ වංචාවක් සදාකාලයටම කරගෙන යා නොහැකි බවත් ඕනෑම අපරාධයක් කෙදිනක හෝ හෙළිවන බවත් සොබා දහමේ රීතියයි. මේ අනුව අපගේ කථා නායකයාට ද වැරදුණු දිනයක් ආවේය.

කෙසේ හෝ මොහු එදින ගෙනැවිත් තිබුණේ හාල්සේරු දහයක් දැමිය නොහැකි කුඩා මල්ලකි. සුපුරුදු පරිදි ඔහු බින්දු දෙක දෙපැත්තට දමා බඩු කිරන සේවකයාට බිල ලබා දී ඇල්ලුවේ කුඩා මල්ලය. කඩයේ සේවකයාට ‘පොඩ්ඩක් ඉන්න’ යැයි පැවැසූ බින්දුවා අල්ලපු කඩයට ගොස් තමා ගත් හාල් එහි තිබූ ගෝනියකට හලා යළිත් දුවමින් පැමිණ හිස්මල්ල සේවකයාට ඇල්ලුවේය.

සෙනඟ අඩුවී තිබූ මේ මොහොතේ යළිත් මල්ල ඇල්ලු පුද්ගලයා දෙස බලා සිටි සැන්ටින් මහත්තයා බඩුත් සමඟම හොරා අල්ලා පොලිසියට බාර දුන්නේය.

ඔහුට නඩු විභාගයකින් පසු වසරකට බෝගම්බර කම්බිකූරු ගණින්නට සිදු වූ අතර ජීවිත කාලය පුරාවටම බින්දුවා යන නම අනවර්ථ විය.

 

නව අදහස දක්වන්න