සංගීතයෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන්න මම සූදානම් | දිනමිණ

සංගීතයෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන්න මම සූදානම්

මාරියෝ ආනන්ද

සංගීතය යනු විශ්ව භාෂාවකි. එවන් භාෂාවක් තුළ කළ හැකි දේ අපමණයි. සංගීතය යමෙකුට රසවිඳිය හැකි නම් ඒ තැනැත්තා නිරවුල් පිරිසිදු මනසකට හිමිකම් කියන්නෙකි. එසේම යම් සංගීත නිර්මාණයක් කළ හැක්කෙක් වෙත්ද ඔහු ද සරළ වූත් පිරිසිදු වූත් මනසක් ඇත්තෙකි. එවන් පිරිසිදුවූත්, සරළ වූත්, අව්‍යාජ වූත් සිත් ඇත්තෙකු අද රස මංජරිය හා එක්වේ. ඒ රසවතා වෙන කවුරුවත් නොව මියුරු සත්සර ස්වරයෙන් ලොවම ආමන්ත්‍රණය කරන ලංකාවේ ළාබාලම සංගීත අධ්‍යක්ෂවරයා මාරියෝ ආනන්දය.

මාරියෝ අපට සිටි ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂ හා ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දයන්ගේ එකම පුත්‍රරත්නයයි. ඒත් මාරියෝ කිසිවිටක තම පියාගේ නම ජනප්‍රියත්වය හා ගීත පෙරටු කරගෙන සංගීත ලොව කිරුළු පළඳින්නට තැත් නොකරන්නෙකි. පියාගේ ජනප්‍රියත්වය හා ඔහුගේ නිර්මාණ පියා නමින්ම අනාගතයට සුරක්ෂිත කරමින් මාරියෝ ආනන්ද නමින් තවත් සංගීතවේදියකු ක්ෂේත්‍රයට බිහිකිරීමට වෙර දැරීම මාරියෝගේ අභිප්‍රාය වන්නේය.

එහෙත් ඔහු තම පියාගෙන් යම් දෙයක් දායාද වශයෙන් ලබා ඇත. ග්‍රේෂන් ආනන්ද නම් වූ මිනිසාගේ මිනිස්කම හා නිර්මාණශීලීත්වයයි. ග්‍රේෂන්ද කෙතරම් ජනප්‍රිය වූවද සරළ චාම් නිහතමානී උතුම් මිනිස්කම් තිබූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. මාරියෝටද ඒ ගුණාංග ඒ අයුරින්ම පිහිටා තිබීම ඔහුගේ ප්‍රවර්ධනයට අතිශය වැදගත් වේ. ලැබෙන දෙයින් සෑහීමකට පත්වන මහා ධන නිධාන පසුපස හඹා නොයන මාරියෝ ක්ෂේත්‍රයේ හුදකලා ගමනක නිරත වන්නෙකි. පරම්පරා හතරක් එකවර ස්වර රටා තුළින් ආමන්ත්‍රණය කරන මාරියෝ සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම සංගීත ලෝලීන් රසවත් කරන්නෙකි. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් ශිල්පියකුගේ ගීත ඔහුගේ නමින් ගායනා නොකොට නව නිර්මාණ ලෙසින්ම සිංහල හා ඉංග්‍රීසි ගී ශ්‍රාවකයා අතරට පත්කිරීමය. මාරියෝ විසින් ගායනා කරන ලද ගී වැඩි ප්‍රමාණයක තනු හා සංගීත නිර්මාපකයා වූයේද මාරියෝ වීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ ළාබාලම සංගීත අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍ය උදාකර ගනිමින් සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කළ “ගිනි අවි සහ ගිනි කෙළි” ත්‍රාසජනක ටෙලි නාට්‍ය මාලාවේ සංගීත අධ්‍යක්ෂකයා වූවේය. ‘ගිනි අවි සහ ගිනි කෙළි’හි සංගීත නිර්මාණයේ තිබූ ප්‍රබලත්වය එදවස විචාරයට ලක්වූ අවස්ථා නොතිබුණා නොවේ. ‘ගිනි අවි සහ ගිනි කෙළි’ රූප මාලාවට ගැඹුරු අර්ථකථනයක් දීමට මාරියෝගේ පසුබිම් සංගීත සංයෝජනය විශාල දායකත්වයක් දැක්විය. පොඩිකමට කළ වැඩ නම් පොඩි නැති වග එම ටෙලි නාට්‍ය නැරඹූ සැමට පැහැදිලි වනු නොඅනුමානයි. ඒ සඳහා අවස්ථාව ලබාදීම කෙරෙහි මාරියෝ සාරංග මෙන්ඩිස් වෙත තම කෘතඥතාව පුදදීමට කිසිවිටෙකත් අමතක නොකළේය.

‘තූර්යා’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට හා උරේෂා රවිහාරිගේ සහය ගායනයෙන් රසවත් කළ මාර‍ියෝ මේ වනවිට ගීත වීඩියෝ විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත්වී තිබේ. වත්මන්හි ප්‍රසිද්ධ මාධ්‍යයක් වන ‘You Tube’ හරහා ජනප්‍රිය ගී රැසක් රසිකයන් හමුවේ තබා තිබෙන මාරියෝගේ බලාපොරොත්තුව ප්‍රසංග වේදිකාව ජය ගැනීමයි. ඒ සඳහා ඔහු මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවත් තුළින් නොදුටු ‘Mix Music Track නාද මාලාවකට සජීවීව ගායනා කරමින් ඊට ගැලපෙන නර්ථනයකින් ප්‍රසාංගික වන්නට ගත් උත්සාහය සංගීත ලෝලීන්ගේ මන බන්දන්නකි. ශ්‍රී ලංකාව තුළ පවත්වන සංගීත ප්‍රසංගවලට වඩා විදේශීය සංගීත ප්‍රසංග මාරියෝට විශාල වශයෙන් ලැබෙන මුත් තම රට තුළ පවත්වන සංගීත ප්‍රසංග සඳහා වැඩි වශයෙන් සහභාගිවීමට මාරියෝ දැඩි රුචිකත්වයක් දක්වයි.

පියා මෙන් චිත්‍රපට ගායනයට යොමුවීමට අදහසක් නැද්දැයි අප ඔහුගෙන් කළ විමසීමකදී මාරියෝ පැවසුවේ මගේ තාත්තා ජනතාව අතරට ගියේ චිත්‍රපට ගායකයෙක් විදියටයි. ජෝතිපාල මහත්මාගෙන් පසුව සිංහල සිනමාවේ හිඩැස පිරෙව්වේ මගේ තාත්තා. ඔහුගේ ගැඹුරු හඬ රිදී තිරයට ආලෝකයක් වුණා. ජෝතිපාල මහත්මාගේ හඬ මෙන් ඕනෑම නළුවකුට පියාගේ හඬත් ගැලපුණා. එවැනි හඬක් බිහිවෙන්නෙ කලාතුරකින්. හැමෝම කියනවා මටත් තියෙන්නෙ පියාගෙම හඬ කියලා. ඒත් මම කැමති නෑ තවත් ග්‍රේෂන් ආනන්ද කෙනෙක් වෙන්න. මගේ පියාට ඕන වුණේ මම මගේම ශෛලියක් ගොඩනගාගෙන කලා ලොවට මාරියෝ ආනන්ද කෙනෙක් බිහිකරන්නයි. ඔහු ඒ සඳහා මට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කටයුතු කරන ආකාරය පෙන්වා දුන්නා. පුංචි දවස්වලම සරත් දසනායක ශූරීන් සංගීත අධ්‍යක්ෂණය කරන ආකාරය, සංගීතය මෙහෙයවන ආකාරය ගැන මට අවබෝධයක් ලබා දුන්නා. තාත්තා මට කවදාවත් කියලා නැහැ මේ විදියට කරන්න මේ විදියට කරන්න කියලා. ඒ අය වැඩ කරන තැන්වලට මාවත් රැගෙන ගිහින් මටම ඒ පිළිබඳ හදාරන්න අධ්‍යයනය කරන්න ඉඩ සලසල දුන්නා විතරයි. තාත්තා දැනගෙන හිටියා අත්දැකීම් තුළින් ලබාගන්නා අවබෝධය තමයි කෙනෙකුට අනන්‍යතාවයක් ඇති කරගන්න ඉවහල් වෙන්නෙ කියලා. මොකද තාත්තටත් එයාගෙ හැකියාවන් ස්ථාවරයකට පත්කර ගන්න සරත් දසනායක මහත්මා මඟපෙන්නුවේත් ඒ ආකාරයටයි. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ග්‍රේෂන් ආනන්ද කියලා ගායන හා සංගීත අධ්‍යක්ෂවරයෙක් බිහිවුණේ. ඒ ගෞරවය හිමිවෙන්න ඕන සරත් දසනායක ශූරීන්ටයි.

ඉතින් මමත් පියා මෙන් ගායනයට පෙර සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියටයි ක්ෂේත්‍රයට ආවේ. නමුත් ‍මගේ දක්ෂතාවලින් යම් තරමක් හෝ ප්‍රයෝජනය ගත්තේ කීපදෙනයි. ඒ අතරින් සාරංග මෙන්ඩිස් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ හැරුණම තවමත් මගේ සංගීත නිර්මාණ හා ගායන හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මගෙ එකම අරමුණත් නව ලොවට සරිලන සංගීත නිර්මාණ බිහිකිරීම තමයි. ගායනය වුණත් මටම ආවේණික වූ මගේම ගීත ගයන්න තමයි කැමැති. ඒත් ප්‍රසංග වේදිකාවේදී සංවිධායකවරු මගෙන් බලාපොරොත්තු වෙන්නේ තාත්තගේ ගීත ගායනා කරවන්නයි.

මාරියෝ ආනන්ද පවසන දේ සත්‍යතාවක් තිබෙන බව සැබෑවක්. මොකද අපට අවශ්‍ය ග්‍රේෂන් ආනන්දගේ ‘ඩුබ්ලිකේට්’ හඬක් නොවෙයි. ග්‍රේෂන් ආනන්ද ශිල්පියාගේ හඬ සැමදා ගී ලොව පවතීවි. අවශ්‍ය වන්නේ මාරියෝ ආනන්ද ගායන ශිල්පියකු ලෙස ගී ලොව ප්‍රතිභාව නංවන ආකාරය බලන්නටය. ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලබාදෙන්නේ නම් නව පරපුරට දිරිය ශක්තිය දීමක් ලෙස සැලකිය හැකි වනු ඇත. ග්‍රේෂන් ආනන්දයන් මිය යනවිට මාරියෝ පාසල් ශිෂ්‍යයෙකි. ඒ වනවිට ඔවුන්ට අගහිඟකම් බො‍හෝය. මක් නිසාද යත් ග්‍රේෂන් ආනන්දයන් ජෝතිපාලයන් මෙන් මිනිසුන් පිනවූවා මිස මුදල් පසුපස හඹා නොගියේය. මාරියෝගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔහුගේ එකම සොයුරිය නිවසේ ආදායම් උපයන්නිය වූවාය. ඇගේ මුළු දිවියම මේ දෙපළ වෙනුවෙන් කැප කළාය. ඇය සැබෑ දිරිය දියණියක් වූවාය. ඇගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපට මාරියෝ ආනන්ද නම් ගායන වාදන ශිල්පියකු සිටියි. දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයකු සිටියි. මාරියෝගේ එකම අරමුණද පියාගේ අඩුව නොපෙන් වූ සොයුරියගේ හා මවගේ අනාගත අපේක්ෂාවන් ඉටුකිරීමය. අපි ඔහුට ඒ සඳහා දිරිය, ශක්තිය හා අවස්ථාව ලබා දිය යුතුව ඇත.

සිංහල සිනමා සංගීත රටාවට නව අර්ථකථනයක් ලබාදෙමින් ජාත්‍යන්තර තලයේ සංගීත නිර්මාණයන් හා සමවිය හැකි සංගීත නිර්මාණ බිහිකිරීමටත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටද නව සංගීත රටාවක් හඳුන්වා දීමටත් බලාපොරොත්තුවෙන් සිටියි. ඊට අමතරව ඔහුටම ආ‍ෙව්ණික වූ ගායන ශෛලියක් ප්‍රසංග වේදිකාවට හඳුන්වා දෙමින් සුවහසක් රසික රසිකාවියන් පිනවීමද මාරියෝගේ අපේක්ෂාවයි. තවමත් හිරිමල් වියේ පසුවන මාරියෝ ආනන්දගේ සංගීත ප්‍රතිභාව ප්‍රතිරාව දැක්වීම අපේ යුතුකමකි.

සටහන
නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...