සිනමාවේ විකටයකු වන ආදර ගායකයා... | දිනමිණ

සිනමාවේ විකටයකු වන ආදර ගායකයා...

චලක චමුපති පෙරේරා

එළඹෙන සැප්තැම්බර් 7 වෙනිදා ජනප්‍රිය ගායක චලක චමුපති පෙරේරාට සුවිශේෂ දිනයකි. ඒ ඔහු ප්‍රධාන චරිතයක් රඟපාන ‘අප්පට සිරි’ විකට චිත්‍රපටයේ මංගල දර්ශනය එදින මාලිගාවත්තේ ‘රූබි’ සිනමාහලේදී පැවැත්වෙන නිසාය. ලාල් ප්‍රියදේව හැදූ ‘අප්පට සිරි’ චිත්‍රපටයේ චමු සහ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා එකට රඟපෑම විශේෂත්වයකි.

විසිහතර වසරකට පමණ පෙර හේමසිරි සෙල්ලප්පෙරුම නිර්මාණය කරමින් සිටි ‘ඉන්ස්පෙක්ටර් චම්පා’ චිත්‍රපටයේ රංගනයට හා පසුබිම් ගායනයට චමු තෝරාගෙන තිබුණි. එහි මුහුරත් උළෙල පවත්වා රූගත කිරීම් රැසක්ද සිදුකළ නමුත් එම චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වාදීමට සිටි ප්‍රධාන නිළිය වූ චම්පා ඩිල්රංගි තොටළඟ එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ බෝම්බ පිපිරීමට හසුව මිය ගිය නිසා චිත්‍රපටය ඇන හිටියේය. එතැනින්ම චමුගේ රංගන ගමනද ඇනහිටියේය.

ඊට පස්සේ මමත් මේ රටෙන් පිටවෙලා ඉතාලිය හා ලන්ඩන්වල විවිධ රැකියා කරගෙන ජීවත්වුණා. මෑතකාලෙදි ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂවරයා ‘අප්පට සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන විකට චරිතයක් කරන්න කතා කළාම මහේන්ද්‍ර එක්ක රඟපාන්න මම එකතු වුණා...” චමු කියයි.

චලක චමුපති පෙරේරා ඇසුරු කරන සියල්ලන්ම දන්නා ඇත්ත නම් ඔහු නොම්මර එකේ විහිළුකාරයකු බවය. කිසිදාක සිනානොවී ඔහු මිතුරු ඇසුරක සිටි බවක් නම් මතක නැත. ඒ තරම් සිනාවට ලැදි කෙනෙකුට විකට චරිතයක් රඟපෑම අපහසු විය නොහැක.

“...රඟපානවා කියලා හිතාගෙන නෙමෙයි චරිතය කළේ. කොහොමත් මහේන්ද්‍රත් මගේ හොඳම යාලුවෙක් නිසා කිසිම ගැටලුවක් තිබුණේ නෑ. හොරු දෙන්නෙක් හැටියට තමයි ‘අප්පට සිරි’ චිත්‍රපටයේ අපි රඟපෑවේ. මගේ මුල්ම රඟපෑම උනත් ඒක සාර්ථකයි කියලා අධ්‍යක්ෂ ඇතුළු කවුරුත් ප්‍රශංසා කළා. ඒ ගැන මම සතුටු වෙනවා. 22 වෙනිදා ඉඳලා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබේවි.

ගී ලොවේ කඳුලු බිංදුව’ ලෙස එදා ප්‍රකට වූ ජේ. ඒ. මිල්ටන් පෙරේරා පියාණන්ගේ ගීත ගයමින් ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුල වූ චමු කැසට් හා සංයුක්ත තැටිවලටද ගී ගැයුවේය.

‘.... මහානාම විදුහලේ ඉගෙන ගනිද්දි ප්‍රවීණ සංගීතවේදී ඔස්ටින් මුණසිංහ සර් තමයි අපට සංගීතය ඉගැන්නුවේ. නමුත් මම ප්‍රිය කළේ චිත්‍ර විෂයටයි. තාත්තගෙත් හොඳ යාළුවෙක් වෙලා හිටපු ඔස්ටින් සර් ඒ කාලෙ සංගීතය හරියට ඉගෙන නොගන්නා නිසා මට බනිනවා.

තාත්තා නැති වුණාම මම වේදිකාවේ ගයන්න පටන් ගත්තා. තාත්තා අපේ අම්මා (කල්‍යානි පෙරේරා) වෙනුවෙන් ගායනා කරලා අදටත් ජනප්‍රියව තියෙන ‘සිහින දෙව්දුවේ’ ගීතය තමයි මුලින්ම මම වේදිකාවේ ගායනා කළේ. එදා විශාල ප්‍රතිචාරයක් මට ලැබුණා. ඉන්පස්සේ දිගින් දිගටම මට ප්‍රසංග ලැබුණා. තාත්තා ‘පුංචි පුංචි තාරකා’ කියලා ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කළානේ. මමත් ඒ ප්‍රසංගයම ටවර් රඟහලේ සාර්ථකව පැවැත්තුවා.

මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියා තාත්තට හදපු කරු අන්කල් (කරුණාරත්න අබේසේකර ශූරීන්) ලියපු පුංචි පුංචි තාරකා ගීතයේ නමින් තමයි ප්‍රසංගය නම් කෙරුණේ... චමු කියයි.

ප්‍රමුඛ ප්‍රසංග නිවේදක නෙල්සන් අබේකෝන් සහ ප්‍රවීණ නිවේදක තිලක් කුමාර රත්නායක එම ප්‍රසංගයේ නිවේදන කටයුතු කළ බව මතකය. එළිමහන්, ප්‍රසංග වේදිකාවේද චලක චමුපති පෙරේරාගේ ගමනට නෙල්සන් අබේකෝන්ගෙන් සුවිශාල ‘තල්ලුවක්’ ලැබුණේය. කෙසේ හෝ වේවා ප්‍රසංග වේදිකාවේ සාර්ථකව සිටියදීම චමූ විදේශගත විය. යළිත් ඔහු මව්බිමට ආවේ වසර ගණනාවකට පසුවයි.

සංගීත ජීවිතයේ මුල් යුගයේම නිහාල් ගම්හේවා සංගීතවත් කළ තමාගේම ගීත දෙකක් චමු ගායනා කර තිබුණි. මව්බිමට ආ පසුව ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ ගීතයක් චමු ගායනා කළේය.

සමන් මල් වැලක්
සඳුන් ගසේ එතුනු අතීතේ
එතුනු අතීතේ
පැතුම් බිඳී සුන්ව ගියා
මිහිරි තුසීතේ
ඒ මිහිරි අතීතේ
කෝ මැව්ව තුසීතේ

ජේ. ඒ. මිල්ටන් පෙරේරා ශූරීන්ගේ ශෛලියට අනුව එච්. එම්. සංගීතවත් කළ එම ගීතය කොතෙක් සාර්ථකව චමූ ගායනා කළාද කියතොත් නුගේගොඩ ශබ්දාගාරයකදී ඔහු එය ගයද්දි එහි සිටි ප්‍රවීණ ජනප්‍රිය නිළි කාන්ති ලංකා විමසුවේ එය පියාගේ ගීයක්ද කියායි. ඒ තරම් එය මිල්ටන්ගේ ශෛලියට නිර්මාණය වී තිබුණි. පසු දිනක එය ඇසු ප්‍රියංකර පෙරේරා සොහොයුරාද එය අගය කළ බව සිහි වේ.

“.... ඒ වුණාට මගේම ගීතයක් විදිහට කොච්චර හොඳට ඒක කළත් මාධ්‍යවලින් ප්‍රචාරය කළේ නැහැනේ. බො‍හෝ අය ගායක පුත්තුන්ට බනිනවා අලුත් දෙයක් කරන්නෙ නෑ කියලා. ඒත් අලුත් දෙයක් කළාට පස්සෙ ඒක ප්‍රචාරය කරන්නෙ නම් නෑ...” චමු කියයි. එසේ වූවත් චමු ඇතුළු ගායක පුතුන්ද කළ යුත්තේ තමන්ව වැඩසටහන්වලට කැඳවා ගන්නා ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යවලට තමන්ගේ එක් අලුත් ගීතයක් හෝ ගායනා කිරීමට අවස්ථාව දිය යුතු බවට බලකිරීමය.

චලක චමුපති පෙරේරා ‍ෙම් වනවිට රටවල් 43ක ශ්‍රී ලාංකිකයන් උදෙසා ප්‍රසංගවල ගී ගයා තිබේ. එම ඉල්ලුම කවදාවත් නැති නොවීය. රූපවාහිනි වැඩසටහන් රාශියක ඔහු ගී ගයා තිබේ. ප්‍රියංකර පෙරේරා, අමල් පෙරේරා, රනිල් මල්ලවආරච්චි වැනි ගායක පුතුන් ජාතික රූපවාහිනියේ ජනප්‍රිය ‘සිහිනයකි රෑ’ වැඩසටහනේ ගී ගයා ඇති අතර මහේෂ් නිශ්ශංක ඉදිරිපත් කරන ජයමිණි ඉලේපෙරුම නිපදවන එම වැඩසටහනින් චලක චමුපති පෙරේරාටද ගායන අවස්ථාව ලබාදිය යුතු යැයි සිතමු.

අතීත සොඳුරු ගී අගයන රවි ජයවර්ධන සභාපතිතුමන්ගේ හා තුසිර මැලැව්වෙතන්ත්‍රී අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ අවධානය ඒ සඳහා යොමු වේ යැයිද සිතමු.

විදේශ ප්‍රසංගවලදී පියාගේ ගී ගයද්දී අපමණ ප්‍රතිචාර ලද චමු ජනප්‍රිය සංගීතවේදී කසුන් කල්හාර ගිටාරය පමණක් වයද්දී ‘සිකුරුලියා’ ගීතය ගයා එක්තරා ශාලාවක පිරී සිටි ශ්‍රී ලාංකික අසන්නන් සසල කළ අවස්ථාවක් ගැනද සිහිපත් කළ හැකිය. ඒ ජර්මන් සංචාරයකදීය.

“...කසුන් කල්හාර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. දක්ෂයන්ගෙත් දක්ෂයා. ආයෙ දෙකක් නෑ. කසුන් ගිටාර් එක ගහද්දි මම ‘සිකුරුලියා’ සිංදුව කිව්වා. මීයට පිම්බා වගේ සිංදුව අහගෙන හිටපු රසික පිරිස සිංදුව ඉවරවුණාම දක්වපු ප්‍රතිචාරය ඉහළයි. ඒ අත්පොළසන් ඝෝෂාව මේ දැනුත් ඇහෙනවා වගේ....” චමු කියන්නේ සතුටෙන්.

කසුන් කල්හාරගේ සංගීතයට නව ගීත දෙකක් ගයන්නටද චමු දැන් සූදානම් වෙයි. චමුගේ පුත් චමත් චමුපති පෙරේරා සංගීතය හදාරන්නේද කසුන්ගෙනි. චමත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටී. චමු සහ පද්මි රණසිංහ යුවළගේ දුව අංජනා ස්ටැෆර්ඩ් ට්‍රේඩින් ආයතනයේ රැකියාව කරන අතර පද්මි ජයික් හිල්ටන් හෝටලයේ රැකියාව කරයි. චමත් පුතු ගායනයට හා වාදනයටද දක්ෂය. ප්‍රියංකර - දිල්හානි යුවළගේ පුත් පසිඳු දිල්මින් පෙරේරා ගිටාරය වයමින් මිල්ටන් උපහාර ප්‍රසංගයක සීයාගේ ගීයක් ගයද්දී චමත් තබ්ලා වැයූ හැටි මට මතකය. පසුගිය වසරේ මිල්ටන් උපහාර ප්‍රසංගයේදී චමත් සීයාගේ ගීත කීපයක්ම ගායනා කළේය.

“....මේ අවුරුද්දේත් තාත්තා වෙනුවෙන් උපහාර ප්‍රසංගය පවත්වන්න තමයි මේ දවස්වල කටයුතු යොදාගෙන යන්නේ. සරත් ද අල්විස් ප්‍රවීණ සංගීතවේදියා සංගීතය මෙහෙයවන ප්‍රසංගය ඔක්තෝබර් අගදී ටවර් රඟහලේ පවත්වනවා. ප්‍රියංකර අයියයි, මමයි, බොබී මල්ලියි (චමුගේ බාල සොයුරු පමෝද් පියුෂාන පෙරේරා) තාත්තගෙ සින්දු කියනවා. මගේ පුතාත් සීයගේ සින්දු කියනවා. ටෝනි හසන්, ලලිත් පොන්නම්පෙරුම, අමල් පෙරේරා, අවන්ති නේරංජනා ඇතුළු ගායක ගායිකාවන් රාශියක් මේ ප්‍රසංගයට එකතු වෙනවා.

බොරැල්ල කනත්තේ තාත්තා වෙනුවෙන් ස්මාරකයක් හදන්න ලෑස්ති කරන නිසා මේ ප්‍රසංගය පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කරලා පවත්වන්න බලාපොරොත්තු වෙනවා “චමු කියයි. චලක චමුපති පෙරේරා, අරෝෂ අසංග පෙරේරා, පමෝද් පියුෂාන පෙරේරා සොහොයුරන් ප්‍රියංකර පෙරේරා වැඩිමහල් සොහොයුරාද සමඟ එක්ව සිය සදාදරණීය පියාණන් වෙනුවෙන් පවත්වන ප්‍රසංගය මිල්ටන් ලෝලී රසික ජනතාවට තිළිණයක් වනු ඇත.

ආනන්ද පද්මසිරි

නව අදහස දක්වන්න