ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කලාපීය තරගයට කාර්යක්ෂම ප්‍රවේශයක් | දිනමිණ

ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කලාපීය තරගයට කාර්යක්ෂම ප්‍රවේශයක්

 ජාත්‍යන්තර බැංකු පද්ධතියේ ප්‍රකට මුල්‍ය ආයතනයක් වූ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු වූ ඩේවිඩ් මාන් මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබිණ. ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍යයන් හි ද ඒ අදහස් පළ විය.

අලුත් මුදල් ඇමැතිවරයෙකු පත් කිරීම, බැඳුම්කර සිද්ධිය පිළිබඳ ආරංචි සහ දේශපාලනමය කතා පිළිබඳව අන්තර් ජාතික ආයෝජකයන් එතරම් සැලකිල්ලක් නොදක්වන අතර ඔවුන් අවධානය යොමු කරන්නේ ආණ්ඩුව විසින් ගෙන එනුලබන ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනයේ යහපත්කම ආදිය ගැන යයි ඔහු ප්‍රකාශ කරයි.

පෞද්ගලික හා රාජ්‍ය ඒකාබද්ධ ව්‍යවසායයන් පිළිබඳව ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම ඉහළින්ම අගය කරන ඔහු 2018 මුල් කාර්තුව වනවිට රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට පත්වන බවට අනාවැකියක් ද පළ කරයි. එසේම ඔහුගේ විශ්ලේෂණයට අනුව 2018 වසරේ ලෝක ආර්ථිකය ද සුබවාදි අතට හැරෙනු ඇත.

විදේශ ආයෝජන ඉහළ යයි. රාජ්‍ය සංචිත ද ඉහළ යනු ඇත. දැනට ඉතා අවශ්‍ය කරුණක් වන වෙළෙඳ ගිවිසුම් ගතවීම් මගින් උපරිම ප්‍රයෝජන ගතයුතු යැයිද ඔහු කියයි.

ඩේවිඩ් මාන් මහතාගේ ආර්ථික විශ්ලේෂණය ඉන්දීය හා පැසිපික් රටවල් විසින් බෙහෙවින් අගය කිරීමට ලක් කරන බව ද රහසක් නොවේ. එම රටවල් අතර සිංගප්පූරුව සහ මැලේසියාව ප්‍රධානය.

මේ ආර්ථික විශ්ලේෂණ ප්‍රසිද්ධ වනවිටම ශ්‍රී ලංකා ආණ්ඩුව ද සිය නවතම ආර්ථික උපාය මාර්ග එළි දක්වා ඇත. විදේශ ආයෝජන වර්ෂයකට ඇ.ඩොලර් බිලියන 5 දක්වා ඉලක්කගත කිරීමත්, අපනයන නිෂ්පාදන වාර්ෂිකව ඩොලර් බිලියන 20 දක්වා වූ ඉලක්කයක් කරා ඉහළ නැංවීමත් අපේක්ෂාවයි. විදේශ ඉපැයීම් ඉහළ නැංවීම සඳහා පෞද්ගලික - රාජ්‍ය ඒකාබද්ධ ව්‍යවසාය අංශය ද ඒ අතරම පුළුල් කරනු ඇත.

මෙහිදී ආණ්ඩුව විශේෂ අවධානයක් දක්වා ඇති ක්ෂේත්‍රයක් නම් ශ්‍රම වෙළෙඳ ‍පොළයි. ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ සංක්‍රමණ රට තුළින් පුහුණු ශ්‍රමය ඉවතට ගලා යෑමට හේතුවකි. පුහුණු ශ්‍රමයේ හිඟකම නිසා නිදහස් වෙළෙඳ කලාප ප්‍රමුඛ ආයෝජන කලාපයන් රාශියක් අමාරුවේ වැටී සිටිති. ඇඟලුම් කම්හල් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද මේ තත්ත්වය තදින් බලපා තිබේ.

දැඩි තරගයක්

විදේශිය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී රජය විසින් ඉදිරිපත් කරනු ලබන යටිතල පහසුකම් රාශියකි. ඒ අතර ශ්‍රම වෙළෙඳ පොළ ද එක් නිර්නායකයකි. සිය නිෂ්පාදන කාර්යන් සඳහා ශ්‍රමය ලබාගැනීමේ පහසුව කෙබඳුදැයි ඔවුහු සලකා බලති. මේ වනවිට ඉන්දියා හා පැසිපික් රටවල ආර්ථික නිෂ්පාදන කලාප අතර පවතින්නේ දැඩි තරගයකි. ශ්‍රී ලංකාවට දැන් බංගලිදේශය, වියට්නාමය සහ මියන්මාරය යන රටවල් සමඟ විදේශ ආයෝජනය පිළිබඳ සටනකට පිවිසීමට සිදුව තිබේ. අලුත්ම තරගකරුවා වන බුරුමය විදේශීය ආයෝජකයන්ට පාවඩ එළීමේ දී අපරටට වඩා ඉදිරියෙන් සිටින ලකුණු පහළවෙමින් තිබේ. මේ තරගයේ එක කොණක ශ්‍රම වෙළෙඳපොළ ක්‍රියාකාරි වේ. එහෙයින්ම අපේ ශ්‍රම වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණය කරගැනීම කඩිනම් කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ පිළිබඳ පසුගියදා කුවේට් ටයිම්ස් පුවත්පත විවරණයක් කෙළේය. එම විවරණය පවසන අන්දමට 2009 සිවිල් යුද්ධය නිමාවේ සිට මේ වනතෙක් ඉදිකිරීම් කර්මාන්තයේ වටිනාකම රුපියල් බිලියන 600ක් හෙවත් ඇමෙරිකා ඩොලර් බිලියන 4ක් වුවත් 2017 ඉදිකිරීම් මෙන් තුන්ගුණයකි. එනම් ඇ.ඩොලර් බිලියන 11.7 කි.

මේ ඉදිකිරීම් සඳහා 400000ක පුහුණු ශ්‍රම හමුදාවක් අවශ්‍ය වේ. එම සංඛ්‍යාව දැනට ඇති ශ්‍රම හමුදාව මෙන් තුන් ගුණයක් නිසා අවශ්‍ය ශ්‍රමිකයන් රටින් ගෙන්වා ගැනීමට සිදුවන බව පවසන කුවේට් පුවත්පත තම ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා පුහුණු ශ්‍රමිකයනට මෝටර් සයිකල්, කාර් වැනි පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ඉදිකිරීම් අංශය ක්‍රියා කරන බවද කියයි.

තාක්ෂණික පුහුණුව

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව පිළිවෙත අනුව රටේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට ඉඩ ලැබෙන පරිදි සංක්‍රමණික ශ්‍රමික කටයුතු ප්‍රතිසංවිධානය කෙරේ. වැඩියෙන් රට තුළට ප්‍රේෂණ හෙවත් ආදායම් හිමිවන වෘත්තිකයන්ගේ සංක්‍රමණයට දිරිදෙනු ලබයි. දේශීය කර්මාන්ත නිෂ්පාදන, ඉදිකිරීම් වැනි අංශ සඳහා වන සංක්‍රමණික ශ්‍රමිකයනට ඉඩ ලැබෙන්නේ සුදුසු අධ්‍යයනයකින් පසු එයින් රටේ සංවර්ධනයට බාධා නොවන්නේ නම් පමණි.

මේ හැර ස්ත්‍රී ශ්‍රම බළකාය වර්ධනය කිරීමටත් අධ්‍යාපනය පාසලේ දී ලබන අතරතුරදීම සිසුනට වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමටත් පහසුකම් සැලසීම නව ප්‍රතිපත්තියයි. තාක්ෂණික හා ඩිජිටල් කර්මාන්තකරණයට මඟ සලසන ගමන් නවෝත්පාදන හා මෘදුකාංග, මෘදුකාංග එකලස්කරණය වැනි කර්මාන්ත අංශය ද දියුණු කර ඒ සඳහා ද අවශ්‍ය ශ්‍රමික පුහුණුවට ද ක්‍රියා කෙරේ. ශ්‍රී ලංකාව තුළ අනවසරයෙන් රැඳී සිටිමින් විවිධ රැකියාවන්හි නිරතවන විදේශීය ශ්‍රමිකයන් ලක්ෂ දෙකක් පමණ දෙනා දැනට ශ්‍රී ලංකා ශ්‍රම හමුදාවට එක්ව සිටින බව කුවේට් ටයිම්ස් පුවත්පත කියයි. මැලේසියාව තුළද බංගලිදේශ හා බුරුම ජාතිකයෝ විශාල ගණනාවක් නිසි බලකඩදාසි විරහිතව රැකියා කරති. මේ අනවසර ශ්‍රමික ප්‍රශ්නය ක්‍රමයෙන් ලොව පුරාම ව්‍යාප්ත වෙමින් තිබේ.

සංක්‍රමණික ශ්‍රම වෙළෙඳ පොළ රටේ ආර්ථිකයට දැඩි ලෙස සම්බන්ධ ක්ෂේත්‍රයකි. 2014 සිට ශ්‍රී ලංකා ශ්‍රමික සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් තිබේ. එයට හේතුව තෙල් ආර්ථිකය සහිත රටවල ආදායම අඩුවීම නිසා එම රටවල සේවක වෙළෙඳ පොළ අඩාලවීමය. 2014 විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික සංඛ්‍යාව 300703 ක් වුවද, 2015 දී එම සංඛ්‍යාව 263443 කි. 2016 දී 242930 කි.

විදේශීය ශ්‍රමිකයන් වෙතින් ලද ආදායම මෙසේය. 2014 ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 7018 යි. 2015 වර්ෂයේ දී ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 6980 හා 2016 දී ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 7242 කි. මේ සා විශාල ආදායම හිමිවන්නේ පුහුණු ශ්‍රමිකයන්ගෙනි. එසේම සමස්ත ලැබීම්වලින් සියයට 53ක්ම මැද පෙරදිගිනි. 2016 දී නුපුහුණු ශ්‍රමික සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. වැඩියෙන් ආදායම ලබාගත හැකි වෘත්තින්ට වැඩි අවස්ථා ලබාදීම මගින් වැඩි ආදායම් ලබාගැනීමට හැකි වෙතත් ඔවුනගේ සංක්‍රමණය බුද්ධිගලනයට හේතුවක් ද වීමට ඉඩ තිබේ. මේ නිසා රට තුළ සිදුවිය හැකි පුහුණු ශ්‍රම හිඟය අවම කිරීම සඳහා නිපුණතා කුසල වර්ධනයට පියවර ගැනීම් සිදුවේ. දැනට ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මක වේ.

ස්ත්‍රී ශ්‍රම බළකාය

ශ්‍රමික පුහුණුවට පෞද්ගලික අංශය ද වඩ වඩා සක්‍රියව දායක කරගැනීම ද ඉදිරියේ දී සිදුවේ. මෙහිදී ඇඟලුම් ක්ෂේත්‍රය විශාල වශයෙන් ශ්‍රම පුහුණුවට සම්බන්ධවීම ගම්බද ප්‍රදේශ කරා මූල්‍ය සම්පත් ගලායෑමට හේතුවේ. එහෙත් ඇඟලුම් ක්ෂේත්‍රයට ද ශ්‍රම හිඟයකට මුහුණදීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රි ශ්‍රම සේවා බළකාය සියයට 36ක් පමණ වේ. කාන්තා පරපුරෙන් සියයට 64කට පමණ රැකියා පහසුකම්, විශ්‍රාම පාරි‍තෝෂිත යනාදි වරප්‍රසාද කිසිවක් හිමි නොවේ. ඇතැම් රැකියා ක්ෂේත්‍රයනට අවශ්‍ය පුහුණුව ලබාගැනීම ඉදිරිපත් නොවීම, පාරම්පරික අදහස් හා යල් පැනගිය නීතිරීති නිසා කාන්තා ශ්‍රමය සංවර්ධනයෙන් ගිළිහෙන බව රහසක් නොවේ. කලාපීය සෙසු රටවල කාන්තාව බොහෝ විෂයයන්ගෙන් ඉදිරියට පැමිණෙයි.

සෞඛ්‍ය ගැටලු අවම කිරීම

පෞද්ගලික අංශයේ ඉහළම තනතුරු කාන්තාවන් සඳහා විවෘත නොවේ. එසේම රැකියා අවස්ථා සඳහා නිතර පුරුෂ පක්ෂයට මුල් තැන හිමිවේ. විදේශ සංක්‍රමණික රැකියා අතර කාන්තාවනට මුල් තැන හිමිවන්නේ ගෘහ සේවිකා අවස්ථා සඳහා පමණි 2020 වනවිට කාන්තා ශ්‍රමය සියයට 40 දක්වා ඉහළ දැමීම රජයේ ඉලක්කයයි. එමගින් ඔවුනගේ ශ්‍රමය ආර්ථික සංවර්ධනයට ඇදගැනීමට මඟ හෙළිවේ.

ආණ්ඩුවේ අනාගත පිළිවෙත අනුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ව්‍යාපාරයේ ඉලක්ක ප්‍රතිසංස්කරණය කිරීමට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ද, ශ්‍රමික ජනතාවගේ කායික සෞඛ්‍යය සුරක්ෂිත කරන ක්‍රියාමාර්ග ද හඳුන්වා දීමට නියමිතය.

මෑතක දී දක්නට ලැබුණු වකුගඩු ආබාධ වැඩියෙන්ම වාර්තා වූයේ කෘෂිකාර්මික නිෂ්පාදිත ප්‍රදේශ තුළිනි. එහෙයින් ඔවුනගේ සෞඛ්‍යය ගැටලුවලට පිළියම් කිරීමට ඉදිරි පියවර ගැනේ. නිරෝග ශ්‍රම හමුදාවක් ඇතිකර ගැනීම කාර්යක්ෂම නිෂ්පාදනයකට හේතුවකි. රාජ්‍ය වියදම් අවම කර, රජයට බරක් ව ඇති රාජ්‍ය ආයතන තෝරාගෙන ඒවා රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායයන් බවට පත් කිරීම ද , BOTසංකල්පයේ ආර්ථික මොඩලයන්ද ඍජු ආයෝජන මගින් ඉදිරිපත් වන ව්‍යාපෘති ද ශ්‍රම වෙළෙඳපොළ පුළුල් කරයි.

වාණිජ ආධිපත්‍යය

වාර්ෂික අපනයන ආදායම ඇ‍. ඩොලර් බිලියන 20 දක්වාත්, ඍජු විදේශ ආයෝජන වාර්ෂිකව ඩොලර් බිලියන 5 දක්වාත් ඉහළ දැමීම සඳහා EASE TO DOING BUSINESS දර්ශකය අනුව කටයුතු කිරීම ජාත්‍යන්තර විදේශ ආයෝජක ක්‍රියා කලාපයයි. මේ අනුව එම දර්ශකයේ අංක 70 තරම් පරාසයකට මේ රට ඔසවා තැබීම කළ යුතුවේ.

එම දර්ශකයේ දැක්වෙන නිර්නායක සැපිරීමේ දී දක්වනු ලබන කුසලතාව මත ආයෝජකයෝ සිය තීරණ ගනිති. එහිලා ශ්‍රම වෙළෙඳ පොළ ද වැදගත් නිර්නායකයකි. ඩේවිඩ් මාන් මහතා පවසා ඇත්තේ හම්බන්තොට වරාය සහ ‍පෝට් සිටි ව්‍යාපෘති සමග නව ආයෝජක පිරිස් රටට ආකර්ෂණය වීම සිදුවන බවය. ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම ද ආර්ථිකයට නව පණ ලබා දීමකැයි ඔහු පවසා ඇත. රටවල් 32ක් සහභාගි වූ අගෝස්තු 31 පැවති ඉන්දියා සාගර සමුළුද ඉන්දියා සාගරයේ සාමය හා වෙළෙඳාමට දිරි දෙන බව පළ කෙළේය.

පසුගිය සතියේ ආචාර්ය හර්ෂ ද සිල්වා සියවස් ගණනාවකට පෙර දී පවා ශ්‍රී ලංකාව ඉන්දියා සාගරයේ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වීම පිළිබඳව අදහස් දැක්වීය. තම මතය අගමැතිවරයා විසින් ඉදිරිපත් කළා. මහා පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාව සහ බුරුමය අතර මුහුදු කලාපය තුළ වෙළෙඳ ආධිපත්‍යය පතුරුවා හැරියා. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ මිල ගණන් අඩුකිරීම නිසා බුරුමය සමග යුද්ධ කරන්නට සිදුවුණා යැයි කියා ඉතිහාසයේ සඳහන් වනවා. ඒ තරම් අතීතයක දී පවා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතුවල යෙදී සිටියා යැයි කීවේය.

ශ්‍රී ලංකාවේ මේ වාණිජ ආධිපත්‍ය පිළිබඳව මහාවංශ වැනි ඓතිහාසික මූලාශ්‍රයන්හි ද කරුණු දැක්වේ. ශ්‍රී ලංකාවෙන් බුරුමයට වෙළෙඳාමේ ගිය සෑම නැවකටම එක ඇතෙක් සැපයීමට බුරුමය බැඳී සිටි බවත්, බුරුමයේ රාමඤ්ඤ රාජ්‍යය එම සිරිත කඩ කිරීමත්, ලංකාවේ වෙළෙන්දන් විසින් නියම කළ මිලට වඩා වැඩිමිලකට ඇතුන් විකිණීමට නියම කළ නිසාත් පරාක්‍රමබාහු එරට යටත් කර ගත් බවත් කලාපය තුළ පරාක්‍රමබාහු කාසි භාවිතා වූ බවත් මහාවංශයේ කියැවේ. දකුණු ඉන්දියාවේ රාජ්‍යය ගණනාවක් සමග ද වෙළෙඳ සබඳතා පවත්වා ඇත.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දි පවත්වන ලද මැණික් හා ස්වර්ණාභරණ දැක්මේ දී කතා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද අවධාරණය කෙළේ විදේශීය ආදායම් උපයා ගැනීම සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියුතු අයගේ ශ්‍රම ශක්තිය කර්මාන්තයේ වර්ධනය සඳහා හේතුවන යෝජනා ඉදිරිපත් විය යුතු බවයි.

දීර්ඝ කලක සිට ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ස්ථාපිත වී ඇතත් මේ වනවිට එම කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ හොංකොං දේශය යැයි කී අගමැතිවරයා මේ වෙනුවට ණය බරෙන් මිදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වෙනත් ආදායම් ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවා දිරිමත් කළ යුතු යැයි ද කීය.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...