“අයං වස්සාන කාලෝ” මේ වස් කාලයයි | දිනමිණ

“අයං වස්සාන කාලෝ” මේ වස් කාලයයි

විහාරාධිකාරී, වීරපොකුණේ සුමංගල හිමි
ඇත්කඳ රජමහා විහාරය කුරුණෑගල

වස් විසීමට හේතු

“මහණෙනි, බොහෝ දෙනාගේ හිත, සැප , අර්ථය පිණිස දෙවියන් සහිත ලෝකයාට අනුකම්පාවෙන් චාරිකාවේ හැසිරෙන්න. මුල, මැද, අග පරිපූර්ණ ධර්මය දේශනා කරන්න.” යන බුද්ධානුශාසනයට අනුවම භික්ෂූන් වහන්සේ විවේකයක් නොලබා සුරම්‍ය වූ හේමන්තයෙහි ද, අධික රස්නය ඇති ගිම්හානයේ ද, මහ වැසි ඇති වස්සානයෙහි ද අව්වැසි නොබලා ඉහත අවවාදය එලෙසින්ම ක්‍රියාවෙහි යෙදූ හ.

මහාභාරතයේ වස්සානය යනු, ගංගා, අචිරවතී යන මහා නදී පවා පිටාර ගලා යන සමයයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ජනතාව ඍතු කෙරෙහි විශේෂ සූදානමක් දක්නට ලැබේ. වර්ෂා කාලය පිළිබඳ ඉන්දියානුවන් පෙර සිටම සූදානම් වන්නේ මහත් අසීරුතා ඇතිවන බැවිනි. එවැනි කාලගුණික තත්ත්වයක් ඇති ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ සමයේද ආර්ථික, සෞඛ්‍ය ආදී සාමාජීය ප්‍රශ්න රැසක් ඇති වන කාලයක් ලෙස අධික වැසි සහිත කාලය හැඳින්විය හැක. මේ අතර ආගමික ප්‍රශ්න ද උද්ගතවූ බව දක්නට ලැබේ.

“කුමක් හෙයින් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ පණ ඇති තෘණ පැළෑටි පොඩි කරමින් නොයෙක් ක්ෂුද්‍ර ප්‍රාණීන් මිරිකාගෙන ගමින් ගමට ඇවිදින්නා වූ ද? මිසදිටු තවුසෝ පවා සාරමස එක්තැනකට වී වෙසෙති. කුමක් නිසාද මේ සස්නෙහි භික්ෂූහු පමණක් එසේ නොකරන්නේ ද? පක්ෂීහු පවා වර්ෂා කාලයේදී ගස් මුදුන්වල කැඳලි බැඳගෙන වාසය කරති. කුමක් නිසා භික්ෂූන් මෙසේ නොකරන්නේදැයි” මහත් ජනතා උද්ඝෝෂණයක් මතු විය. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳ නුගුණ කියමින් ජනතාව උද්ඝෝෂණය කළහ. ඒ බව ඇසූ භාග්‍යවතුන් වහන්සේ සමාජ මතයට ගරු කරමින් භික්ෂූන්ට වස් විසීම පිළිබඳව “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” ආදී ශික්ෂා පදයක් පැණවූහ.

කඨින චීවරය

“කඨිනය” යන වචනයේ අරුත් රාශියක් ඇත. එහි සාමාන්‍ය අරුත “තද” යන්නයි. එම අර්ථය ගැනෙන්නේ කඨින නම් පාලි වචනය “කය” ධාතුවෙන් නිපන් විටය. එසේම එහි “දුකසේ ජීවත්වීම” “උසස් කිරීම” වැනි අරුත් ඇති බව ව්‍යාකරණ ග්‍රන්ථවල පැහැදිලිවේ. කඨින ශබ්දයේ ආගමික අර්ථය අනුව සලකා බැලූවිට ඉතා දුෂ්කර වූ කාර්යයන් මෙන්ම ප්‍රශංසාර්හ වූවක් ද වන බව සැලකිය හැකිය. කඨින යන්නට “ස්ථිර” යන අර්ථය ලැබී ඇත්තේ භික්ෂුවට ස්ථිරවම ආනිශංස පහක් ලැබේ යන්න සලකාය. කඨිනය දුෂ්කර වූ කාර්යයක් වන්නේ දායක හා ප්‍රතිග්‍රහණ පක්ෂය යන දෙපිරිස ම කළයුතු දුෂ්කර පිළිවෙත නිසාය. දායක පක්ෂයට අනුව කඨින වස්ත්‍රයක් සම්පාදනය කර ගැනීම, සාදාගැනීම මෙන් ම එය පූජා කිරීම පිණිස සිතෙහි ප්‍රසාදය ජනිත කර ගැනීම ද අපහසුවෙන්, කල්පනාකාරීව කළ යුත්තකි. ප්‍රතිග්‍රාහක පක්ෂයට අනුව කඨින චීවරයක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු විනයානුකූල චර්යාවන් ඉතාමත් ප්‍රවේශමෙන් හා කැපවීමෙන් කළ යුතුය.

තෙරුවන් සරණයි! 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...