ප්‍රවීණතාව ද සහතිකය ද? | දිනමිණ

ප්‍රවීණතාව ද සහතිකය ද?

විදුහල්පති සේවයට අදාළ ගැටලුවක් විසැඳීම සඳහා ඇමැති මනෝ ගනේෂන් මහතා ඉදිරිපත් ව සිටී. ගැටලුව භාෂාවට අයත් ය. එබැවින් ඒ ගැන මැදිහත් වීමේ නිල අයිතියක් ද ගනේෂන් මහතාට තිබේ. මක් නිසාද යත්; මනෝ ගනේෂන් මහතා භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා වන බැවින් ය. විදුහල්පතිවරුන් දෙවන භාෂාවක් ලෙස සිංහල හෝ දෙමළ භාෂා ප්‍රවීණත්වය පෙන්නුම් කළ යුතු ය. ඊට විභාගයක් ද පැවැත්වේ. මේ විභාගය නිසා විදුහල්පතිවරුන් එකොළොස් දහසකට උසස්වීම් අහිමි වී ඇති බව ද කියති. අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඉහත කී භාෂා ප්‍රවීණතා විභාගය වෙනස් කිරීමට යයි.

අලුත් යෝජනාව වී ඇත්තේ භාෂා සහතික පත්‍ර පාඨමාලාවක් පවත්වා ඉන් සමත් වන අයට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීම ය. මෙය පහසු ක්‍රමයක් ලෙස සැලැකිය හැකි ය. පාඨමාලාවක් සමත් වීම අපහසු කාරණයක් නොවන වග අපි අත්දැකීමෙන් ම දනිමු. භාෂා ප්‍රවීණතාවක් ලැබීම ද එබඳු විභාගයකින් සමත් වීම ද ඊට වඩා වෙනස් ය. එයින් සැලැකිය යුතු භාෂා හැකියාවක් ලැබේ. එය ප්‍රයෝජනවත් ය. සිංහල ගුරුවරුන් දෙමළ ඉගෙනීම ද, දෙමළ ගුරුවරුන් සිංහල ඉගෙනීම ද හොඳ දෙයකි. එය ජාතික සංහිඳියාවට ද අදාළ විශේෂ කාරණයෙකි. එහෙත් පාඨමාලාවකින් භාෂාව උගත හැකි ද යනු ගැටලුවෙකි. අමාත්‍යවරයා මේ ගැන සොයා බැලීම වටී.

විදුහල්පතිවරුන්ගේ ගැටලු අහස උසට පවතින බව සත්‍යයෙකි. දිවයිනේ පවතින රජයේ පාසල් නවදහස් ගණනකින් සැලැකිය යුතු ප්‍රමාණයක ඇත්තේ වැඩබලන විදුහල්පතිවරුන් ය. වැඩ බලන අය සිය සේවයෙහි ස්ථිර කරන දිනයක් හා කාල පරාසයක් දැකගන්නට නැත. ඇතැම් විදුහල්පතිවරුන් වැඩ බැලීම සඳහා යොමු කර ඇත්තේ දේශපාලන බලපෑම් මත ය. එය දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නකි. එයින් ඇතැම් ගුරුවරයකුට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද නැත. කෙසේ වුව වැඩබලන විදුහල්පතිවරුන් සඳහා ද යුක්තියක් ඉටුවිය යුතුව තිබේ. මේ සියලු කරුණු සලකා බලා විදුහල්පති සේවයට බලපාන එක්තරා බරක් නිදහස් කිරීමට ඇමැතිවරයා සිතන්නට ඇත. එහි වරදක් නැත. එහෙත් විදුහල්පතිවරුන්ගේ ද්විභාෂික දැනුම ගැන ද සොයා බැලීම වටී.

රාජ්‍ය සේවය සඳහා බලපාන අනිවාර්ය සාධකයක් ලෙස භාෂා ප්‍රවීණත්වය පවතී. සිංහල රාජ්‍ය සේවකයන් දෙමළ ඉගෙනීම ද, දෙමළ රාජ්‍ය සේවකයන් සිංහල ඉගෙනීම ද මෙහි අරමුණ ය. රාජ්‍ය සේවකයා රටේ ඕනෑම ස්ථානයක සේවය කිරීම සඳහා නිල වශයෙන් බැඳී සිටී. එහෙත් දෙමළ නොදන්නා රාජ්‍ය සේවකයකු යාපනයට මාරු කළහොත් ඔහුට කිසිම සේවයක් සිදු කළ නොහැකි ය. දකුණේ රාජ්‍ය සේවයේ නිරත බොහෝ දෙනකුට දෙමළ භාෂාව බැරි බව අපි දනිමු. එහෙත් අදටත් රාජ්‍ය සේවයේ ස්ථිර කිරීම, උසස්වීම් ලබාදීම, වැටුප් වර්ධක පිරිනැමීම යන සාධකවල දී භාෂා ප්‍රවීණත්වය බලයි. රාජ්‍ය සේවකයා ඊට මුහුණ දෙන අතර විදුහල්පතිවරයා පමණක් එයින් නිදහස් කරන්නේ නම්; එහි වරදක් තිබේ. ඒ ගැන ද බලධාරීන්ගේ අවධානය යොමු කිරීම වැදගත් ය.

අමාත්‍යවරුන් වෙත රාජ්‍ය සේවයේ ඇතැම් ගැටලු ප්‍රක්ෂේපණය වන්නේ වෘත්තීය සමිති ඔස්සේ ය. ආයතන තුළ විවිධ වෘත්තීය සමිති පවතින අතර ඒවායෙහි එකිනෙක අරමුණු වෙනස් ය. මනෝ ගනේෂන් අමාත්‍යවරයා වෙත විදුහල්පති භාෂා ගැටලුව ප්‍රක්ෂේපණය වන්නේ ද වෘත්තීය සමිතියක් ඔස්සේ ය. අදාළ සාකච්ඡාවේදී අමාත්‍යවරයා ගැටලුවට විසැඳුම් ලබාදීමක් ලෙස ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇත. භාෂා ප්‍රවීණතාව වෙනුවට සහතික පත්‍ර පාඨමාලාවක් ලෙස යෝජනාව සකස් වී ඇත. මේ මගින් විදුහල්පතිවරුන්ගෙන් කොටසකට සෙතක් සැලසෙන බව කිව හැකි ය. එහෙත් රටේ ජාතික සංහිඳියාවට හා සංස්කෘතික හුවමාරුවට එය කුමන බලපෑමක් සිදු කරන්නේ ද යන්න අවිනිශ්චිත ය. එක භාෂාවක් රටවල් දෙකක්; භාෂා දෙකක් එක රටක් යන ජනප්‍රිය සටන් පාඨය අප සිහියට නැ‍ඟේ.

විදුහල්පතිවරයකුගෙන් අපේ සමාජය අපේක්ෂා කරන බොහෝ දේවල් තිබේ. එක අතෙකින් ඔහු භාෂාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රවීණ පුද්ගලයකු විය යුතු ය. තව අතෙකින් හොඳ කළමනාකරුවකු ද, තවත් අතෙකින් හොඳ නායකයකු ද විය යුතු ය. පරිපාලන සේවය සඳහා වූ විභාගයක් ද, භාෂා ප්‍රවීණතා විභාගයක් ද විදුහල්පති සේවයට අනිවාර්ය කර ඇත්තේ ඒ නිසා යැයි සිතන්නට පුළුවන. විදුහල්පතිවරයා පාසලක භෞතික සම්පත් වැඩි කරන්නකු නොව; යහපත් අනාගතයක් සහිත සමාජයක් ගොඩනඟන මාර්ගෝපදේශකයකු යැයි කියනු ලැබේ. එම මාර්ගෝපදේශකත්වය ලබාදීම සඳහා ඔහු දැනුමෙන් පෝෂණය විය යුතුය. බුද්ධියෙන් මුහුකුරා යා යුතු ය. ඒ සඳහා භාෂා - සංස්කෘතික අධ්‍යයනයෙන් ලබාගත හැකි පිටුබලය අතිවිශාලය.

1970 ගණන්වලදී ජනවාර්ගික ගැටලුව විසැඳීම සඳහා යෝජනා වූ ක්‍රමවේදයක් අප සිහියට නැ‍ඟේ. එම යෝජනාව නම්; සිංහල හා දෙමළ සමාජ අතර අන්තර් විවාහ ආරම්භ කළ යුතු බව ය. එබඳු විවාහවලට අනුබල දිය යුතු බව ය. මෙහි යටි අදහස වන්නේ සමාජ කණ්ඩායමක භාෂාව, සන්නිවේදන රටාව හා සංස්කෘතිය හොඳින් වටහාගැනීම ය. මෙය සාර්ථක ව ක්‍රියාත්මක වූයේ නම්; ජනවාර්ගික ගැටුමෙන් අර්ධයක් මේ වන විටත් විසැඳී අවසන් ය. අද අප ජීවත්වන්නේ වාර්ගික හැඟීම් හා දැනීම් වඩ - වඩාත් හොඳින් වටහා ගත යුතු යුගයක යැයි කියන්නට පුළුවන. ඒවා වටහාගත් තරමට ගැටුම් අවම වෙයි. රාජ්‍ය පාලනය පහසු වෙයි. රට දියුණු වෙයි.

විදුහල්පති සේවයේ ගැටලු විසැඳීම සඳහා වරින් වර නොයෙක් යෝජනා ඉදිරිපත් වී ඇත. විවිධ චක්‍රලේඛ නිකුත් වී ඇත. 2014 ඔක්තෝබර් මස වන විට විදුහල්පති සේවයේ ද, ගුරු සේවයේ ද සියලු ගැටලු අවසන් කරන්නේ යැයි හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ය. එහෙත් 2015 වන විට ද රටේ ජාතික පාසල්වල වැඩබලන විදුහල්පතිවරු අනූ ගණනක් සිටියේ ය. එම ගැටලුවට අද වන තුරු යුක්ති සහගත විසැඳුමක් ලැබී නැති බව සත්‍යයෙකි. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නඟන මැසිවිල්ල ද සාධාරණ යැයි සිතන්නට පුළුවන. මෙවර වෘත්තීය සමිති සංවාදයට ගෙන ඇත්තේ ගුරු සේවයේ එකොළොස් දහසකගේ උසස්වීම් හා වැටුප් වර්ධක පිළිබඳ ගැටලුවකි. ඊට නිශ්චිත විසැඳුමක් තිබිය යුතු ය.

මේ ගැටලුව විසැඳීමේ දී එය විදුහල්පතිවරුන්ගේ දැනුම හා නායකත්වයට හානියක් නොවන අයුරින් ක්‍රියා කරන්නේ නම්; වඩා වැදගත් ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...