මහවැලි කෙළි බිමේ මහා මංගල්‍යයට තව දින දෙකයි | දිනමිණ

මහවැලි කෙළි බිමේ මහා මංගල්‍යයට තව දින දෙකයි

ප්‍රින්ස් ගුණසේකර

මෙරට ක්‍රීඩාවේ ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන දක්ෂයන් රැසක් බිහි කළ දැවැන්තම හා පැරැණිතම ක්‍රීඩා උළෙල ලෙස මහවැලි ක්‍රීඩා උළෙල හැඳින්වේ. දිවංගත මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1986දී ආරම්භවූ මහවැලි ක්‍රීඩා උළෙල මෙවර 29 වැනි වරට පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 9 හා 10 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහවැලි ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක දරුවන් සහභාගීවන මේ ක්‍රීඩා උළෙල පසුගිය වසරේදී දෙහිඅත්තකණ්ඩිය ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී සමස්ත ශූරතාව මහවැලි ‘බී’ කලාපය දිනාගත්තේය. පළමු මහවැලි ක්‍රීඩා උළෙල ගල්නෑව ක්‍රීඩංගණයේදී පැවැති අතර පසුව මෙය බකමූණ, ගිරාදුරුකෝට්ටේ, වලව, ඇඹිලිපිටිය, වැලිකන්ද, පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය සහ වැලිඔය යන ක්‍රීඩාංගණවලදී පැවැත්වුණි. වසර 1999දී මහවැලි කලාපවල දූ දරුවන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙනවිත් අති සුන්දර ක්‍රීඩා උළෙලක් සංවිධාන කිරීමට ද කටයුතු කොට තිබුණි.

මහවැලි කලාප වලින් ඉතිහාසයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ජාතික හා ජාත්‍යන්තර තලයට දායාදවී ඇති බැවින් ඉදිරියේදී ද සවිමත් පරපුරක් නිර්මාණයවීම නිතැතින්ම සිදුවනු ඇත. මේ හේතුවෙන් මහවැලි අමාත්‍යාංශය හා මහවැලි කේන්ද්‍රය එක්ව නව ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කරමින් සිටී. ඒ සඳහා මහවැලි සංවර්ධන විෂය භාර ඇමැති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම හා මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබෙන බව මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා පවසයි.

නව සංකල්ප යටතේ මහවැලි කලාපවල අනාගත පරපුරේ දැරියන් තුළ සංහිදියාව ගොඩ නැගෙනවා සේම, ආත්ම විශ්වාසය, ජාතික හා ජාත්‍යන්තර තලයට යෑම, කොළඹ හා මහවැලි දරුවන් අතර පරතරයක් නැතිවන බව විශ්වාසයවී තිබේ. මහවැල ක්‍රීඩා උළෙල පිළිබඳ හා මහවැලි දරුවන්ගේ අනාගතය පිළිබඳ මහවැලි අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා සමග කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය: මහවැලි ක්‍රීඩා උළෙලේ මූලික අපේක්ෂා මොනවාද?

පිළිතුර: මහවැලි ක්‍රීඩා උළෙල කියන්නේ ක්‍රීඩා උළෙලක්ම නොවෙයි. එය මහවැලි ජනපදික තරණ තරුණියන්ගේ අනාගත සැලැස්මක් බවට දැන් පත්කර තිබෙනවා. අපේ තිබෙනවා මහවැලි අමාත්‍යාංශය හා මහවැලි කේන්ද්‍රය හරහා ක්‍රීඩා හා සංස්කෘතික අංශ දෙකක්. ඒ අංශවලින් තමයි සියල්ල සංවිධාන වෙන්නේ. මේ ක්‍රීඩා උළෙලේදී මහවැලි දරුවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම මූලික අරමුණක්. නමුත් දැන් ඒ අරමුණින් ඔබ්බට ගොස් විවිධ වැඩ සටහන් අපේ දරුවන්ට ලබා දෙනවා. උදාහරණයක් ලෙස මේ ළගදී දවසක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලක්ෂ 70ක් වටිනා ශිෂ්‍යත්වයක් දරුවෙකුට ලබා දුන්නා. ඒ කෘෂි කර්මාන්තය සම්බන්ධ උපාධියක් හදාරන්න. මේ වගේ දරුවන් විශාල පිරිසකට අපි ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේ වරින් වර ලබා දෙනවා. ක්‍රීඩාවේදීත් එහෙමයි. දක්ෂ දරුවන්ට ඉදිරියට යන්න අත දෙන්න අප ළඟ බොහෝ සැලසුම් තිබෙනවා.

ප්‍රශ්නය: නවීන ලෝකයත් එක්ක ඉදිරියට යද්දී මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම් කොහොමද?

පිළිතුර: අපට දැන් සෑම තැනකදීම සංහිදියාව අවශයයි. මහවැලි ගොවි මහත්තයාගේ දරුවාව අන්තර්ජාතික තලයට යැවීමේ පාලම තමයි අපි හදන්නනේ. ඒක ඉතා ගැඹුරින් හිතලා අප කරන්නේ. ඒකට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් සියල්ල තිබෙනවා. ක්‍රීඩා පිටි, පිහිනුම් තටාක ඇතුළු අංග රාශියක් ඇති කොට තිබෙනවා. ඒවා නිසා ලෙස කළමණාකරණය කර දරුවන්ට ලබාදීමයි වැදගත් වෙන්නේ.

ප්‍රශ්නය: මහවැලි කලාපවලට ආවේනික සංස්කෘතියක් තිබෙනවා. එයට අදාල වැඩ සටහන් මොනවාද?

පිළිතුර: මහවැලි කලාපවලට අනන්‍යවූ සමාජ සංස්කෘතිය චීනය, වියට්නාමය, ජපානය වැනි රටවලට තියෙනවා. රටක් පොෂණය කරන්න සමත් කෘෂි පරපුරක් මහවැලි කලාපවල ඉන්නේ. ඔවුන් මානසිකව හා කායිකව හරිම ශක්තිමත් පිරිසක්. බිහිවන අනාගත දරු පරපුර ඉතාම බුද්ධිමත්. අප කරන්නේ ඉදිරියට යන්න ඒ අලුත් පරපුරට අතදීමයි. අපේ වැඩ පිළිවෙළක් තිබෙනවා විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් හඳුනාගෙන මහවැලි සංස්කෘතියට සමීප රටවලට යොමු කොට දැනුම ලබාදීම. ඔවුන් ඒ රටවල දැනුම ලබාගෙන අපේ රටට පැමිණ සේවය කිරීමේ අවස්ථාව සැලසීම මේ වැඩපිළිවෙළේ අරමුණක්. ඔවුන්ට හුදකාලා වෙන්න දෙන්නේ නෑ. නූතන සමාජයට යොමු කොට උසස් පුරවැසියෙකු කරන්න පුලුවන්.

ප්‍රශ්නය: ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදෙන්නේ කොහොමද?

පිළිතුර: අප මේ ක්‍රීඩා උළෙල කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්වයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණයක් මේ කෙරෙහි ලැබෙනවා. ඒ ඒ ඉසව්වලට අවශ්‍ය උපරිම පරිසාධන මට්ටම්වල සිටින දක්ෂ දරුවන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්ව සංචිත කරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා තාක්ෂණය ඒ මගින් ලබාදීම අපේ බලාපොරොත්තුවයි.

ප්‍රශ්නය: මහවැලි කලාපවලට සීමාවූ අලුත් ක්‍රීඩා සංගමයක් හදන්න යනවා කියන්නේ ඇත්තද?

පිළිතුර: ඔව්. ඒක මේ කාලයේ අවශ්‍යතාවක් වෙලා තියෙනවා. මෙතෙක් කල් මහවැලි ක්‍රීඩා උළෙලට ගිය දරුවන්ට ක්‍රීඩාවේ දිගින් දිගටම රැදෙන්න අප තුළින්ම අවස්ථාව අඩු වුණා. නමුත් මහවැලි ක්‍රීඩා සංගමය ලියාපදංචි කළ පසු අපේ අයට ක්‍රීඩා උළෙලින් පසු යන්න විවිධ මාර්ග විවිර වෙනවා. ක්‍රීඩා පරිපාලනයට පිරිසක් එකතු කළ හැකියි. ක්‍රීඩා කණ්ඩායම් ඉදිරියට පවත්වාගත හැකියි. ඒක වෙනම ව්‍යවස්ථාවක් යටතේ පාලනය වන වෙනම ක්‍රම වේදයක් යටතේ ඉදිරියට යන ක්‍රීඩා සංගමයක් වෙනවා. මහවැලි දරුවන්ට ලෝකය සමග එක්වන්න මේ ක්‍රීඩා සංගමයෙන් හැකි වෙනවා. ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ මහවැලි දරු දැරියන්ට හිමි නිසි තැන ආරක්ෂා කිරීම මහවැලි ක්‍රීඩා සංගමයේ කාර්ය භාරයයි.

ප්‍රශ්නය: කවදාද? මේ සංගමය දොරට වඩින්නේ.

පිළිතුර: වැඩි කාලයක් යන්නේ නෑ. මේ ක්‍රීඩා උළෙලේ දරුවන් සියල්ල සාමාජිකයන් බවට පත්වෙනවා. මහවැලි දරුවන්ගේ අනන්‍යතාව ඇති ක්‍රීඩා සංගමයට ඔවුන් බඳවා ගන්නවා. මූලික වටයේදී මේ ක්‍රීඩා සංගමයට දරුවෝ 11000ක් පමණ එක්වෙනවා. මේක ශ්‍රී ලංකාවේ වැඩිම සාමාජිකයන් සිටින විශාලම ක්‍රීඩා සංගමය වෙනවා. ක්‍රිකට්, වොලිබෝල් වගේ දක්ෂ කණ්ඩායම් ඉදිරියට එයි. අපේ වැඩ කටයුතු ක්‍රීඩා උළෙලකට පමණක් සීමා නොකොට වසර පුරා දිගටම දුවන වැඩ පිළිවෙළක් බවට පත්ව තිබෙනවා. මේ සෑම දෙයකටම ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය හා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහය හිමිවීම වාසනාවක්.

ඡායාරූපය කැළුම් ලියනගේ 

නව අදහස දක්වන්න