අවසන් තරගයට සියලුම තුරුම්පු | දිනමිණ

අවසන් තරගයට සියලුම තුරුම්පු

ප්‍රින්ස් ගුණසේකර

මාස එකහමාරක කාලයක සිට ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දීය පිල ශ්‍රී ලංකාව සමග මේ තරගමාලාවේ සහභාගීවන අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සූදානම් කොට ඇති එකම විස්සයි 20 තරගයවූ මෙය රාත්‍රී 7ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් පිට පිට පරාජයවී සිටින ශ්‍රී ලංකාව අද පැවැත්වෙන විස්සයි 20 තරගය ජය ගැනීමට ඉන්දියාවට එරෙහි ප්‍රබල සටනක් දිය යුතුව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ක්‍රීඩකයන් තෝරා දෙනු ලබන අවසන් තරගයද මෙය බැවින් මේ තරගය ජය ගැනීම උදෙසා හැකි සියලු සම්පත් කළමනාකරණය කර ගැනීමට උත්සහ කරනු ඇත. ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව මේ ඉන්දීය සංචාරයෙන් පසු ඉල්ලා අස්වන බවට ක්‍රීඩා ඇමැතිවරයාට ලිපි මගින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන ජෙෆ්රී වැන්ඩර්සී මෙන්ම වේග පන්දු යවන හා සෑම අංශයකින්ම දස්කම් දක්වන දසුන් ශානක කැඳවා ඇති අතර එක්දින තරගාවලියට එක්ව සිටි දුෂ්මන්ත චමීර හා විශ්ව ප්‍රනාන්දු ඉවත් කොට ඇත. වැන්ඩර්සීගේ ඇඟිල්ලේ ආබාධයකින් ඔහුට දීර්ඝ විවේකයක් ලැබුණු අතර, අද තරගයේදී ප්‍රධාන භූමිකාවක් ඔහුවෙත පැවැරී ඇත. මන්දගාමී ප්‍රේමදාස තණතිල්ලේ වැන්ඩර්සී තරග දෙකකට සහභාගීවී තිබුණ ද තවමත් කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත්ව නැත. කඩුලු ලබා ගැනීමටත් වඩා ඉන්දීය පිතිකරුවන්ට ලකුණු නොදී මෙල්ල කර ගැනීම වැන්ඩර්සීගේ කාර්යය විය යුතුවේ.

ඉන්දියාවට එරෙහි ගාල්ලේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව ආබාධයකට ලක්වී ඉවතට ගිය වේග පන්දු යවන සුරංග ලක්මාල් නැවැත එක්ව සිටින අතර, වේග පන්දු යවන ඉසුරු උදාන ද විස්සයි 20 සංචිතයේ සිටී.

ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියෙන් පසු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ වූෂ්ටර්ෂයර් හා නොටින්හැම්ෂයර් කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමේ අරමුණින් ලන්ඩන් බලා පිටත්වූ අශ්වීන් හා පුජාරා නොමැතිව කෝලී ප්‍රමුඛ පිරිසට විස්සයි 20 තරගයට මුහුණදීමට සිදුව ඇත. එහෙත් විස්සයි 20 තරගවල වැඩිම ලකුණු ලබා සිටින කෝලි, ෂර්මා, දෝනි හා ධවාන් වැනි පිතිකරුවන් සිටින හෙයින් විශාල තර්ජනයක් ශ්‍රී ලංකාවට ගෙනදීම සැලසුමවී ඇත.

ඉන්දියාව සහභාගීවූ අවසන් විස්සයි 20 තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ කඩුලු 9කින් පරාජයට පත් වුවද, එංගලන්තය සමග පැවැති තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව සහභාගීවූ අවසන් විස්සයි 20 තරගාවලි දෙකම ජයගත් අතර බංග්ලාදේශය සමග ශ්‍රි ලංකාවේදී පැවැති විස්සයි 20 තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. එහෙයින් ශ්‍රී ලංකාව සහභාගීවී ඇති අවසන් විස්සයි 20 තරග කිහිපයේදී වැඩි වාසී අත්කර ගැනීමට සමත්ව සිටී.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය:

උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්ෂාන් මුණවීර, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, වනිදු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රී වැන්ඩර්සී, ඉසුරු උදාන. සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය

ඉන්දීය සංචිතය: විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ෂිකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි (කඩුලු රකින්නා), ලෝකේෂ් රාහුල්, අජින්ක්‍යා රහනේ, යුස්වෙන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් බුම්රා, කෙඩාර් ජාදව්, කුල්දීප් යාදව්, භුවනේෂ්වර් කුමාර්, මනිෂ් පාන්ඩේ, හර්ඩික් පාණ්ඩ්‍යා, අක්ෂාර් පටෙල්, ශර්දුල් ඨාකූර්

 

නව අදහස දක්වන්න