පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් තරංග-අසේල ඉවතට | දිනමිණ

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් තරංග-අසේල ඉවතට

මේ මස 28වැනිදා පාකිස්තානයට එරෙහි ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 25 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර තිබේ.

එක්දින හා විස්සයි20 නායක උපුල් තරංග හා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ සංචිතයෙන් ඉවත් කර ඇත.

සුදු පන්දුවේ ක්‍රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමුකරමින් එම තරග රටාවන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් තරංග ටෙස්ට් පිටියෙන් මාස 6ක කාලයක් ඉවත්වීමට අවසර ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයේ ඉල්ලා තිබේ. ඒ හේතුවෙන් ඔහු පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කර ඇති අතර ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඇතිවූ ආබාධය සුව නොවීම හේතුවෙන් අසේල ගුණරත්න මේ සංචිතයෙන් ඉවත් කර තිබේ.

උරහිසේ ආබාධයකට ලක්ව වසර 2ක් පමණ ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි 30 හැවිරිදි ධම්මික ප්‍රසාද් ආබාධය සුව වීමෙන් පසු යළිත් සංචිතයට කැඳවා ඇත. ටෙස්ට් තරග 25කදී කඩුලු 75ක් දවාගෙන ඇති ප්‍රසාද් අවසන් වරට ක්‍රීඩා කළේ 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග කොළඹ පැවැති ටෙස්ට් තරගයටයි. මීට අමතරව පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් තහනමකට ලක්ව සිට පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කරගත් වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගද මේ මූලික සංචිතයට නම් කර තිබීම කැපී පෙනෙයි.

තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නැති යොවුන් ක්‍රීඩකයන් වන 20 හැවිරිදි චරිත් අසලංක, 22 හැවිරිදි සධීර සමරවික්‍රම සමග දකුණත් පිතිකරු රොෂේන් සිල්වා, පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද මීට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

මූලික සංචිතය මෙසේයි:

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකාන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශාමින්ද එරංග, ධම්මික ප්‍රසාද්

 

නව අදහස දක්වන්න