සත් සාමාජික රගර් හොංකොං යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළයි | දිනමිණ

සත් සාමාජික රගර් හොංකොං යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළයි

ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකා සත් සාමාජික රගර් නායක සුදර්ශන මුතුතන්ත්‍රි මැලේසියාව සමග පැවැති පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදීන් අබිබවා ඉදිරියට යමින්. පසුපසින් හිරන්ත පෙරේරා සිටී. ඡායාරූප අනුග්‍රහය- සමීර පීරිස්

අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන් වගේම පළමු වතාවට ජාතික කණ්ඩායම නියෝජනය කළ යොවුන් ක්‍රීඩකයනුත් ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ හොංකොං හී පසුගියදා නිමාවට පත්වූ පළමු අදියරේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වූ බව ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිලේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි කියයි.

‘කණ්ඩායමට අලුතින් ආපු අය වැඩක් කරලා පෙන්නුවා. අවාසනාවකට වගේ කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් චීනයට පැරදුණා. ඒත් මට හිතෙන විදිහට අපිට ඒ මැච් එක දිනන්න තිබුණා. අපේම වැරැදි නිසා තමයි පැරැදුණේ. නැතුව ඒ අය ලොකු දෙයක් කළේ නෑ. හැබැයි චීනය කියන්නේ ගිය අවුරුද්දේ කොළඹ සත් සාමාජික රගර් තරගාවලියේදී අපේ සීනියර්ස්ලා හිටපු කණ්ඩායමටත් ගහපු ටීම් එකක්.’ මුතුතන්ත්‍රී කීවේය.

‘තරුණ අයට අත්දැකීම් අඩුකම වගේම නිසා තරගය පුරා දුර්වලතා කිහිපයක්ම පෙනුණා. ඒත් සෙවන්ස් ගහන්න ගහන්න තමයි ඒවා ඉගෙන ගන්නේ. අපේ තරුණ අය මේ තරගාවලියෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අත්දැකීම් ලැබුණා. ඒවා කොරියානු සෙවන්ස් තරගාවලියේදී ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.’ මුතුතන්ත්‍රි සඳහන් කළේය.

‘කොහොමවුණත් පළමු කණ්ඩායම් හතරට එනවා කියන්නේ අමාරු වැඩක්. හොඳ තරගයක් දෙන්න ඕනා. අපේම දුර්වලතා නිසා තමයි අපිට ඒ තත්ත්වයට යන්න නොහැකිවුණේ.’

‘අපි දෙවැනි දවසේ තමයි හරියටම ක්ලික් වුණේ. දෙවැනි දවසේ උදේ කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් චීනයට පැරැදුණාට පස්සේ තමයි අපේ අය ඔලුව ඉස්සුවේ. පස්සේ හැමෝම ගානට සෙට් වුණා. ඊළඟට පිට පිට මැලේසියාවටත්, පිලිපීනයටත් ගහලා තරගාවලියේ පස්වැනි තැන ගත්තා. හැම කණ්ඩායමක්ම අභියෝගාත්මක විදිහට ක්‍රීඩාවේ නිරතවෙනවා. අත්දැකීම් නැති තරුණ ටිම් එකක් ගියාම මේ වගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ අතින් ගත්තම අපි පළඟ ශූරයන් වීමත් ලොකු දෙයක්.’ ඔහු එසේ කීවේය.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ දෙවැනි අදියර වන කොරියානු සෙවන්ස් තරගාවලිය මේ මස 23 සහ 24 දකුණු කොරියාවේදී පැවැත්වෙයි. එම තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකු නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

නව අදහස දක්වන්න