ලොතරැයි දිනුමක් ඇදී ඇතැයි පවසා මුදල් වංචා කරලා | දිනමිණ

ලොතරැයි දිනුමක් ඇදී ඇතැයි පවසා මුදල් වංචා කරලා

ආයතනයකින් මිලදී ගත් භාණ්ඩයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක ලොතරැයි දිනුමක් ඇදී ඇතැයි පවසමින් එය ලබාදීමට ලිපිලේඛන හා බදු වශයෙන් යැයි පවසමින් රුපියල් දෙලක්ෂ හැටදහසක් ඊසිකෑෂ් කර ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මේ සිද්ධියට මුහුණපා ඇත්තේ නුවරඑළිය පරණකඩවීදියේ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නමට ඇදී ඇති ලක්ෂ 20ක මුදල ගැන දුරකථනනයෙන් දැනුම්දුන් අයකු ඒ සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය මුලින්ම ඉල්ලා තිබේ.

එය ලබාදුන් පසු පවසා ඇත්තේ මේ මුදල වෙනුවෙන් රජයට බදු මුදල් හා ලිපි ලේඛන වෙනුවෙන් දෙලක්ෂ හැටදාහක් ගෙවීම තිබෙන බවයි. එම මුදල තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංකයක් ඉල්ලා සිටිවිට වංචාකරු පවසා ඇත්තේ එදින බැංකුගත කළ නොහැකි බවයි.

එසේම මේ ත්‍යාගයේ දින ගණන්ද ඉකුත්වෙමින් පවතින නිසා අදම එම මුදල් ඊසිකෑෂ් ක්‍රමයට එවන ලෙස පවසා ජංගම දුරකථන අංක 8ක් ලබාදී තිබේ. ඒවාට මුදල් යවා පසුව ඇමතුම් ගත්විට එම දුරකථන සියල්ල ක්‍රියාවිරහිතව තිබීම නිසා පොලිසියට පැමිණිලි කර තිබේ.

නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.

නව අදහස දක්වන්න