සිසුන්ට අලෙවියට ගෙනා අධිවේදනා නාශක කරල් සමඟ 2ක් අත්අඩංගුවට | දිනමිණ

සිසුන්ට අලෙවියට ගෙනා අධිවේදනා නාශක කරල් සමඟ 2ක් අත්අඩංගුවට

අනුරාධපුර මධ්‍යම විශේෂ

තෙවන පාසල් වාරයේ ආරම්භය ඉලක්ක කර පාසල් සිසුන්ට අලෙවි කිරීම සදහා අධිවේදනා නාශක ඖෂධ කරල් 380ක තොගයක් තලාව නගරයට ගෙන එමින් සිටි සේවයෙන් නෙරපූ හිටපු නාවික හමුදා සෙබළෙකු හා තවත් තරුණයකු තලාව පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (05) උදෑසන ගංජා සුරුට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරින් ජංගම මුර සංචාරයේ නිරත වෙමින් සිටියදී තලාව කොටවැව අතුරු මාර්ගයේ සැක කටයුතු ලෙසින් හැසිරෙමින් සිටි තරුණයන් දෙදෙනකු පරික්ෂාවට ලක්කළ අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී ගංජා සුරුට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබූ ගමන් මල්ල පරික්ෂාවට ලක්කළ විට වෛද්‍ය නිර්දේශයන්ට පමණක් නිකුත් කරන අධිවේදනා නාශක ඖෂධ කරල් 380ක් සහිත කඩ් 38ක් ද සොයා ගත්බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එක් වේදනා නාශක ඖෂධ කරලක් රුපියල් 100 බැගින් මිලදී ගත් බවත් ඖෂධ තොගය රුපියල් 40000ක මුදලකට පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකුගේ බැංකු ගිණුමට මුදල් බැරකර ගෙන්වා ගත් බවත් ඔවුන් පොලිසියට පවසා තිබුණි.රුපියල් සියයට මිලදී ගන්නා ඖෂධ කරලක් පාසල් සිසුන්ට රුපියල් 300 -500ත් අතර මුදලකට අලෙවි කරන බව සැකකරුවන් පොලිසියට පවසා තිබුණි.

ඔවුන් ගෙන්වාගත් බව කියන ඖෂධ තොගයෙන් කරල් 20ක් පමණ අතුරුදන්ව තිබූ බවත් ඒවා කිසියම් අයකුට අළෙවි කළේද යන්න පිළිබදව සැක මතුවී තිබෙන බවත් පොලිසිය පැවසුවේය.දෙවන පාසල් නිවාඩුව අවසන් වීමෙන් අනතුරුව අද (06) දිනයේ පාසල් ආරම්භ වන නිසා ඖෂධ තොගය තලාව නගරයට ගෙන ඒමට උත්සහ කළ බව ඔවුන් පොලිසියට පවසා තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් තලාව පොලිස් වසමේ මීහිරිගම හා කොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසු අතර ඔවුන් ඊයේ (05) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස්මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. 

නව අදහස දක්වන්න