ගම්පහ දිසාවේ ප්‍රථම තාක්ෂණික පුස්තකාලය ඇරැඹේ | දිනමිණ

ගම්පහ දිසාවේ ප්‍රථම තාක්ෂණික පුස්තකාලය ඇරැඹේ

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම තාක්ෂණික පුස්තකාල සේවාව ආරම්භ කිරීමට ප්‍රථම විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ව්‍යාපෘති තාක්ෂණික උපදේශක හර්ෂ බාලසූරිය මහතා චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වූ අයුරු

තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය පුරා පවතින විෂය පුස්තකාල සේවාව වෙනුවට ‘ඊ - බුක්’ තාක්ෂණික පද්ධති අඩංගු පුස්තකාල රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම තාක්ෂණික පුස්තකාල සේවාව පසුගියදා උඩුගම්පොළ මහජන පුස්තකාලයේදී ආරම්භ කෙරිණි.

ලෝක බැංකුවේ ආධාර යටතේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ලංකාව පුරා පිහිටි මහජන පුස්තකාල 40ක් නව තාක්ෂණය යටතේ ජව ගැන්වෙන ව්‍යාපෘතියට අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ජන්ම ශත සංවත්සර මහජන පුස්තකාලය පසුගියදා සිට ‘ඊ - බුක්’ සහිත ස්වයංක්‍රීයකරණය වූ තාක්ෂණික පුස්තකාල සේවාවක් බවට පත්විය.

මේ නිමිත්තෙන් පැවැති උත්සවටය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ව්‍යාපෘති තාක්ෂණික උපදේශක හර්ෂ බාලසූරිය මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.

ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතිය පිළිබඳව කරුණු පැහැදිලි කළ ප්‍රධාන ව්‍යාපෘති තාක්ෂණික උපදේශක හර්ෂ බාලසූරිය මහතා ඉදිරිකාලයේදී තාක්ෂණික අංශයේ විශාල පෙරළියක් සිදුවෙමින් ඊ - බුක් සේවාව දක්වා පුස්තකාල නවීකරණය වෙනවා. ඉදිරි වසර 10 තුළ මේ තාක්ෂණික ක්‍රමවේදය ලංකාවේ සියලු පුස්තකාල සඳහා ක්‍රියාත්මක කරනවා. පළමු පියවර තුළදී පුස්තකාල 40ක් මේ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කිරීමට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි තුනක මුදලක් ලැබී තිබෙනවා. ඉදිරියේදී ලංකාවේ පුස්තකාල 100ක් මේ ක්‍රමවේදය යටතේ දියුණුකර ඊ - පොත සඳහා ඊ පොත් ජාලයක් ඇතිකිරීමට බලාපොරොත්තු වනවා. මෙම ව්‍යාපෘතියේ මාර්ගෝපදේශකත්වය සහ මෙහෙයවීම පළාත්පාලන අමාත්‍යාංශය යටතේ සිදුවන අතර අරමුදල් සම්පාදනය ලෝක බැංකුව සිදුකරයි. ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය යටතේ උතුරු නැ‍ඟෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවේදී විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ව්‍යාපෘති තාක්ෂණික උපදේශක හර්ෂ බාලසූරිය මහතා විසින් කාඩ්පතකින් පාඨක සේවා නිලවශයෙන් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධිකාරක රමණී අමරසේකර, පුස්තකාල සම්බන්ධිකාරක අචිනි උදේශිකා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහකාර පුස්තකාල සම්බන්ධිකාරක චම්පිකා මහන්නාආරච්චි, දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරී ජී.ජී.ජයතිස්ස, මීගමුව නගර සභා මහජන පුස්තකාලයාධිපතිනි නිල්මිණි රෝසා, උඩුගම්පොළ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ජන්ම ශත සංවත්සර මහජන පුස්තකාලයාධිපති ආර්.එම්. මොනිටා චන්ද්‍රාණි, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්. එල්. පී. විජේසුන්දර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී ඉරේෂා ජයසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

මෙහිදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්. එල්.පී. විජේසුන්දර, දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරී ජී.ජී. ජයතිස්ස, උඩුගම්පොළ මහජන පුස්තකාලයාධිපතිනි ආර්.එම්. මොනිටා චන්ද්‍රාණි යන මහත්ම මහත්මීහුද කතා කළහ.

උඩුගම්පොල විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...