බූරු ගසා දිනාගත් ලක්ෂ 3ක් මිතුරන් කොල්ලකාලා | දිනමිණ

බූරු ගසා දිනාගත් ලක්ෂ 3ක් මිතුරන් කොල්ලකාලා

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති

බූරු පො‍ළකින් දිනාගත් ලක්ෂ තුනක් රැගෙන සිය නිවෙස බලා යමින් සිටි පුද්ගලයෙක්ට ඉකුත්දා පාන්දර එම බූරු පොළේ සිටි ඔහුගේ මිතුරන් විසින් මඟ රැක කඩු, පොලු මුගුරුවලින් පහරදී එම මුදල් මංකොල්ලකා ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි.

දොම්පේ පොලිස් වසමේ පුටුපාගල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවෙසක පැවැති බූරු පොළකට සහභාගි වූ නාරංවල සහ මණ්ඩාවල ප්‍රදේශයේ මිතුරන් හතරදෙනෙක් අතරින් එක් අයෙක් එම බූරු පොළෙන් රුපියල් තුන්ලක්ෂ දහදාහක මුදලක් දිනා ඇති අතර එම මුදල් ද රැගෙන ඔහු සිය යතුරුපැදියෙන් තම නිවෙස බලා ඒමට පිටත්ව ඇත.

මෙහිදී ඔහු සමඟ සිටි අනෙක් තිදෙනා එම මුදල් කොල්ලකෑමට සැලසුම්කර දෙල්ගොඩ, අහුගම්මන ප්‍රදේශයේදී මුහුණු ආවරණ දමාගනිමින් යතුරු පැදියකින් තම මිතුරා හඹාගොස් ඔහුගේ මිතුරන් නොවන ආකාරයෙන් කොල්ලකරුවන් ලෙස රඟදක්වමින් ඔහුට කඩුවකින් කොටා පොලු මුගුරුවලින් පහරදී ලක්ෂ තුනකට අධික මුදල කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව තුවාලකරු අසල්වාසීන් විසින් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු තමාට වූ විපත පිළිබඳව සිය ජංගම දුරකතනයෙන් කතාකොට දන්වා ඇත්තේ ද තමාට කොල්ලකරුවන් ලෙස රඟපාමින් පහරදුන් තම මිතුරන්ටය.

ඒ අනුව මීට සම්බන්ධ ඇබරළුව හා මණ්ඩාවල ප්‍රදේශවල පදිංචි සෙසු කොල්ලකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අපරාධයට භාවිතා කළ කඩුව, හොකී පිත්තක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් හා එක් සැකකරුවෙක් සන්තකයේ තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 602ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වික්‍රමසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. ඒ. පී. ආර්. ප්‍රේමලාල්, පො. සැ. දීප්ත, පො. කො. කුමාර, පො. කො. ශෙහාන්, පො. කො. ලක්ෂිත, පො. කො. ප්‍රසාද් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...