සොච්චම් මුදලකට වැඩකර විශ්‍රාම යන දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ අෙඳා්නාව | දිනමිණ

සොච්චම් මුදලකට වැඩකර විශ්‍රාම යන දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ අෙඳා්නාව

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

දුම්රිය හරස් මාර්ග හරහා දමා ඇති රේල් ගේට්ටුවල මුර සේවයේ නියුතුවුවන්ගේ මාසික දීමනාව ප්‍රමාණවත් නොවීමෙන් ජීවිතය පවත්වා ගැනීම අසීරු වී ඇති බව ඔවුහු පවසති. දෑත් දෙපා වාරු ඇති තෙක් සේවයේ නිරතව අවසන සේවා කාලයට ආයුබෝවන් කිව යුත්තේ හිස් අතින්ම බව මුර සේවයේ නියුතුවූවෝ පවසති. විශ්‍රාම වැටුප්, අර්ථ සාධක තබා කිසිදු වන්දි මුදලක් හිමි නැති ඔවුන් පැය අටක සේවා මුරයකට අවනතව ඇත. දිනකට රුපියල් 250ක් වනසේ රුපියල් 7,500ක උපරිම මාසික දීමනාවකට යටත්ව ඔවුහු සේවයේ නිරත ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය මෙය වේ.

දිවයින පුරා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත ගේට්ටු ගණන අද වන විට 1450ක් පමණ බවත් ඉන් ගේට්ටු 700ක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බවත්, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ගේට්ටු 750ක් පමණ ඇති බවත් සඳහන් වේ. දෛනික දීමනාව අවම වශයෙන් රුපියල් 500ක් දක්වා වැඩි කරගැනීම සදහා ඔවුහු විවිධ සටන් දියත් කොට ඇත. නමුත් මේවනතෙක් කිසිඳු යහපතක් නැති බව වෘත්තියේ නියුතුවුවෝ පවසති.

තලාව, පයින්ඩිකුලම දුම්රිය සේවයේ නියුතු ඩබ්ලිව්. උපතිස්ස මහතා - ඒ කාලේ රටේ හැමතැනකම වගේ රේල් ගේට්ටු විදිහට පාවිච්චි කෙරුවේ උණ බම්බු. දැන් නම් ඒවා වෙනස් වෙලා. වාහන එහා මෙහා යන ප්‍රමාණය ගැන සලකලා සමහර ගේට්ටු අයින් කෙරුවා. ජීවත් වෙන්න ඕන හන්දා වැඩට ආපු අපි අද හොදවෙයි කියලා බලන් ඉන්නවා. මැරෙනකම්ම සැනසීමක් ලැබෙන පාටක්නම් නෑ.

ශ්‍රාවස්තිපුර, 2 ඇළ, සුදු පාලම දුම්රිය හරස් මාර්ග මුරපොළේ සේවයේ නියුතු මිල්ටන් විජේසිංහ මහතා - දවසක්ට රුපියල් 500ක් දෙන්න කිව්වා. ඒත් බැරිනම් අඩුම ගානේ මාසෙකට රුපියල් 12,500ක් දෙන්න කියලා කිව්වා. කිසිම දෙයක් තවම සිදුවුණේ නෑ. මේ දවස් වල පෑවිල්ල. සහනාධාර වැඩ පටන් අරගෙන තියනවා. ඒත් අපි මෙතැන ගේට්ටු මුරකරනවා කියලා ගෙදර කෙනෙකුටවත් සහනාධාර දෙන්ඩ බෑ කියනවා.

ශ්‍රාවස්තිපුර, හරස් මාර්ග මුරපොළේ සේවයේ නියුතු ඩබ්ලිව්. එම්. විජේකෝන් මහතා - අපි රැයක්, දවාලක් නැතිව මේ තැන්වල වැස්සට තෙමෙනවා. අව්වට වේළෙනවා. සොච්චමකට මේ තැන්වල අපි මුරට දැම්මට අපිට ඉන්න තැනක් නෑ. අපිම වියදම් කරලා පොඩියට පොල් අතු මඩුවක් හදාගෙන තියෙනවා. ටිකක් පහසුවට ඉන්න තැනක්වත් හදා දෙනවානම්.

නව අදහස දක්වන්න