ගිරාඳුරුකෝට්ටේ කුණු ගිනි තබා සෙවණට වැවූ ගස් පිච්චිලා | දිනමිණ

ගිරාඳුරුකෝට්ටේ කුණු ගිනි තබා සෙවණට වැවූ ගස් පිච්චිලා

ගිරාදුරුකෝට්ටේ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම පාර දෙපස දිගේ වවා ඇති ගස්වල මුල්වලට කුණු රොඩු එකතුකොට ගිණි මැල ගසා පිළිස්සීම හේතුවෙන් එම ගස් මැරී යාමේ අවදානමට ලක්ව ඇති නමුත් මේ අපරාධය ගැන අදාළ අංශවල අවධානය යොමු නොවීම බලවත් වරදකි.

වසරේ වැඩි කාලයක්ම වැසි නොලැබී වියළි දේශගුණික තත්ත්වයක් පවතින මේ ප්‍රදේශවල මහා මාර්ගයේ ගමන් කරන වාහනවලට පමණක් නොව පයින් ගමන් කරන්නන්ට ද දැඩි අව් රශ්මියෙන් මිදීමට ඇති එකම පිහිට වනුයේද මේ ගස්වල සෙවණ මෙන්ම ඉන් ලැබෙන සිසිලසයි. දිනපතා පයින් පාසල් යන දරු දැරියන්ට ද මේ ගස්වලින් ලැබෙන සහනය කියා නිම කළ නොහැකි තරම්ය.

මහවැලි අධිකාරිය, පරිසර සංවිධාන, වන ආරක්ෂක අංශ, මේ ප්‍රදේශයේ ඇතත් ඔවුන්ගේ අවධානය යොමු නොවීම බලවත් වරදක් බව පැහැදිලිවම පෙනේ. දැනට මාසයක පමණ කාලයක සිටම මේ අකටයුත්ත තැනින් තැන සිදුවන නමුත් මේවනතෙක් එය නැවැත්වීම සදහා කිසිවෙක් ඉදිරිපත් නොවීමද ගැටුවක් වි තිබේ.

එසේම මේ දිනවලදී පවතින දැඩි නියඟය හේතුවෙන් ජලය හිඟකමින් මැලවී ඇති ගස්වලට ගිනි තැබීම නිසා ඒවා ඉතා ඉක්මනින්ම මැරී යන්න පිටන් ගෙන තිබේ. බුළු, මාදං, තෙලඹු, කරඳ, කොහොඹ, ගම්මාළු වැනි ඉතා වටිනා ඖෂධීය ශාක මෙන්ම ආර්ථික වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් පාරේ මාර, බුරුත, හල්මිල්ල, කොලොන් වැනි ශාක බොහොමයක්ම මේ තර්ජනයට ලක්කර තිබේ. මේ අපරාධ නැවැත්වීමට හැකි ඉක්මනින්ම පියවර ගැනීම පරිසරයට ලැදි සියල්ලන්ගේම වගකීමකි.

ගිරාඳුරුකෝට්ටේ සමූහ
සෝමදාස සමරගුණරත්න

නව අදහස දක්වන්න