කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව විහාරයේ ඉපැරණි දාගැබ ගරා වැටිලා | දිනමිණ

කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව විහාරයේ ඉපැරණි දාගැබ ගරා වැටිලා

අනුරාධපුර විශේෂ - සරත් මනුල වික්‍රම

කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව විහාරස්ථානයේ ඝාන්ඨාකාර හැඩයේ ඉපැරණි දාගැබක් ගරාවැටෙමින් පවතී. අනුරාධපුර රාජධානි සමයට අයත් යැයි සිතිය හැකි මේ දාගැබේ මුල් ගඩොල් බිත්ති ඉදිකිරීම් හා පැරණි කපරාරුව පවා තවමත් දක්නා ලැබේ.

අනුරාධපුර රාජධානියේ බිඳවැටීමත් සමඟ සතුරු ආක්‍රමණ නිසා එම දාගැබ හා ඒ ආශ්‍රිත විහාරය විනාශවන්නට ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති. පැරැණි විහාරගේ නටබුන් වශයෙන් විශ්වාස කරන ස්ථානයේ ගල්කණු හා පාදමේ කොටස් ඉතිරිව තිබේ. දාගැබ අඩි පහළවක පමණ උසින් හා අඩි හැටක පමණ වටප්‍රමාණයෙන් සමන්විතය. දාගැබ නිමවා ඇති ගඩොල අනුරාධපුර ස්මාරකවලට භාවිතාකර ඇති පැරැණි ගඩොල තරම් විශාල නොවුන ද අනුරාධපුර මුල් යුගයේ ඉදිකිරීම් කර ඇති ලොකු ප්‍රමාණයේ ගඩොලට සමානව දිස් වේ. ගඩොල් බඳින ලද බදාමය කල්පවතින උසස් ප්‍රමිතියේ මිශ්‍රණයක් වියහැකි බව මෙතරම් උපද්‍රව හා දිගුකලක්පුරා සංරක්ෂණයකින් තොරව දාගැබ පැවැතීමෙන් තහවුරු වේ.

අතීත රජ සමයේ දී කැබිතිගොල්ලෑව, වව්නියාව හා පදවිය ප්‍රදේශයන් අනුරාධපුර රාජධානියට සමීප දියුණු ප්‍රදේශයක් බවට සැලකේ. වළගම්බා හා මහසෙන් රජවරුන් විසින් කළ වෙහෙර විහාර හා වැව් රාශියක් මේ ප්‍රදේශයේ තිබේ. වාහල්කඩ, යාන්ඔය, පදවිය විහාර, හම්මිල්ලෑව, සුළුගල්, දඹුළු රජමහා විහාරස්ථානය හා හඳගල වළගම්බා ලෙන් විහාර සංකීර්ණය මේ අතර සුවිශේෂි ස්ථාන වේ.

විහාරාධිපති විහාරහම්මිල්ලෑවේ ධම්මතිලක හිමි - ඊතල්විද්දවැව විහාරය අතීතයේ ඉතා දියුණු විශේෂ සිද්ධස්ථානයක් වියහැකි බවට සාක්ෂි තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය හඳුනාගත යුතුයි. රජය මැදිහත්ව මෙය සංරක්ෂණයට පියවර ගත යුතුයි.

ශේෂව අති දාගැබේ ගර්භයේ නැගෙනහිර දිසාවේ කොටස් ගරාවැටී සෝදාපාළුව ඇත. එහි මුදුණේ විශාල බුද්ධ ප්‍රතිමාවක හිස කොටස පෑදී තිබේ. යුද ගැටුම් සමයේ දී ද ප්‍රදේශය ජනතාව අතහැර යාමෙන් මේ විහාරය අභාවයට ගිය ද අද මේ ස්ථානය එළි පෙහෙළිකර කිරීමෙන් පසු නැවත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්ව තිබේ. විහාරය ගින්නට හසුවෙද්දී විනාශ වූ කිරිගරුඬ ප්‍රතිමාවක් හා ශෛමය නිර්මාණවල කොටස් දාගැබ අසල තබා තිබේ. ශේෂව ඇති ගඩොල් බැඳම් හා හුණු කපරාරුව අතීත ඉදිකිරීම් තාත්ෂණය හා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම සඳහා පර්යේෂකයන්ට බෙහෙවින් අගනා බව දුටුවෙකුට පෙනී යයි. නටබුන් වුවත් සැදැහැවතුන්ගේ වන්දාමානවලට පාත්‍රවී ඇති දාගැබ ඉතා අනුහස් සහිත පුණ්‍ය ස්ථානයක් ලෙස ගම්වාසීහු විශ්වාස කරති. ඔවුන් බාරහාර හ පුද පූජා කටයුතු සඳහා ඊට දක්වන්නේ ඉහළ ගෞරවයකි.

නව අදහස දක්වන්න