නුවරඑළිය-තෙරිපැහැ නගරයට පිවිසුම් මඟේ එකම පාලම මරු කටක් | දිනමිණ

නුවරඑළිය-තෙරිපැහැ නගරයට පිවිසුම් මඟේ එකම පාලම මරු කටක්

නුවරඑළිය සමූහ සී. මහගම

තෙරිපැහැ උප නගරයට ඇතුල්වන ස්ථානයේ ප්‍රධාන මාර්ගය තුළ කඩාවැටීමට ආසන්නව තිබෙන දැඩි අනතුරුදායක පාලම ගැන වගකිවයුතු නිලධාරීන්ට හා දේශපාලන අධිකාරියට කොතෙක් දන්වා සිටියද මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඔවුන් නිහඬව සිටින බව තෙරිපැහැ ජනතාව පවසති.

නිල්දණ්ඩාහින්න සහ තෙරිපැහැ සම්බන්ධ කරන මෙම මාර්ගයේ තෙරිපැහැ ශ්‍රී බෝධිරුක්ඛාරාමය සහ සිදුහත් මහ විදුහල ඉදිරිපිට මෙම පාලම පිහිටා තිබේ.

මෙම කුඩාපාලමෙන් එහා පැත්ත සහ මෙහා පැත්ත මාර්ගය කාපට් අතුරා සකස්කොට ඇතත් මෑතකදී ගිලා බැස, කම්බි මතුවී, කණු බිත්ති හෑරී කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන පාලමට තාවකාලික පිළියමක් හෝ යොදන්නට පියවරගෙන නැතැයිද ඔවුහු කියති.

හැදූ දින සිටම මෙම පාලමට පැති බැමි නැත. එහෙත් එයින් එතරම්ම අනතුරුදායක බවක් තිබී නැත. ක්‍රමයෙන් පාලම ගිලා බැසීමත් සමඟ යතුරු පැදි සහ පාපැදි පාලනය කරගත නොහැකිව පෙරළීම නිසා මේ වනවිට පැති බැමිවල අවශ්‍යතාව මතුව ඇතැයි කියති. තෙරිපැහැ, මැදකඳුරේ පදිංචි වූ එම්. බී. ඕදිරිස් මහතා පැවැසුවේ මෙය 1978 වසරේ ඉඳිකළ එකක් බවයි.

මට මතක හැටියට වලපනේ ආසනයෙන් පත්වෙලා ඇමැති කෙනෙක් වෙච්චි ටී.බී.එම්. හේරත් මහත්තයාගේ කාලෙ තමයි මේ පාරයි පාලමයි හැදුවේ. එදායින් පස්සේ කිසිම නඩත්තුවක් නෑ. දැන් පාලම මැද්දෙන් ගිලා බැහැලා. යටින් කම්බි එළියට ඇවිත්. ලොකු වාහනයක් යනකොට හෙල්ලෙනවා. බලාගෙන ඉන්න අපේ ඇගේ ලේ වතුර වෙනවා.

මේ පාලම උඩින් තනි දොරේ නෙමේ දොර දෙකේ බසුත් යනවා. කොයි වෙලාවේ හරි සෙනඟ පිරිලා ඉන්න බස් එකක් එක්ක පාලම කඩා වැටිල ලොකු අනතුරක් වෙච්චි දවසට තමයි ඔය නිදිමතේ ඉන්න නිලධාරීන්ගෙයි අපි රවට්ටල ඡන්දෙ අරගෙන ගිහින් පැත්ත පළාතවත් බලන්නෙ නැති දේශපාලුවන්ගෙයි ඇස් ඇරෙන්නේ.

අපි දහ අතේ කිව්වට පස්සේ ආර්.ඩී.එකෙන් ඇවිත් මේ ඊයේ පෙරේදා පාලම දෙපැත්තේ බෝඩ් දෙකක් ගහල යනව බරවාහන ඇතුල්වීම තහනම් කියලා. මේ පොඩි ටවුමටයි ගම්වලටයි යන්න තියෙන එකම පාර. බස්එක ගියේ නැත්තන් මිනිස්සු හැතැප්ම හතර පහ පයින් යන්න ඕන. දරුවෝ කොහොමද බස් නැතිව ඉස්කෝලෙ එන්නේ. ලොරියක් ගියේ නැත්තන් බඩුවක් මුට්ටුවක් ගෙන්න ගන්නේ කොහොමද. සිමෙන්ති ටිකක් ගෙන්න ගන්න විදියක් නැතිව වැඩ අතරමග නතර කරන්නද?. කර ගහන්න විදියක් නෑ කියල හදපු එළවළු ටික කුණුවෙන්න අරින්නද . මෙව්ව තමයි මේසේ ඔළුව ගහගෙන නිදාඉන්න නිලධාරී හීනෙන් නැගිටලා වගේ ගන්න තීරණ. රටම හිනස්සන විහිළු.”

ඒ එම ස්ථානයට රැස්ව සිටි තෙරිපැහැ ප්‍රදේශවාසීන් එකිනෙකාට “හූමිටි” දෙමින් සියලු දෙනා විටින් විට කියන ලද දේවල්.

ප්‍රියන්ත බණ්ඩාර අගලකඩ මහතා-අපි අහලා තියෙන විදියට වලපනෙන් සහ අපේ පළාතෙන් බිහිවෙච්චි හොඳ ඇමැති කෙනෙක් මේක හදල දීල තියෙන්නේ. ගම් නගර දියුණු වෙනකොට මෙව්වට ඇඳි වැටවල් ඕන වුණා. මේ දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දෙ අරගෙන ගිහිල්ල මැති ඇමැති කම් කරන අයට මතක නෑනෙ ඒ තැන්.

හෙට අනිද්ද ලොකු අනතුරක් වෙන්න ඉස්සර වෙලා අපි ආයෙත් සැරයක් ඉල්ලා සිටින්නේ ගමට, නගරයට යන්න තියෙන එකම පාරේ පාලම. මේක කඩාගෙන වැටු‍ණොත් අපේ මුළු ජනජීවිතයම විශාල අනතුරකට පත්වෙනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...