දිස්ත්‍රික්ක හයකට තද වැසි ලැබේවි | දිනමිණ

දිස්ත්‍රික්ක හයකට තද වැසි ලැබේවි

චන්ද්‍රිකා පෙරේරා
මහින්ද අලුත්ගෙදර

පවතින අයහපත් කාලගුණික තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් දිස්ත්‍රික්ක හයකට පමණ මිලි මීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව සඳහන් කරයි.

නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි අතර සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත  වැසි ඇති විය හැකි බව ද ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනුරාධපුරය, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ගිඟුරුම් සහිත හා සුළු වශයෙන් වැසි ඊයේ (05) වාර්තා විය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (05) අලුයම සිට උදැසන 6.00 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, යටලමත්ත ප්‍රදේශවලට මි.මී.180 සිට 200 දක්වා වර්ෂාපතනයක් ලැබී තිබෙන අතර මේ හේතුවෙන් නාගොඩ, බද්දේගම, ගින්තොට ආශ්‍රිතව ගිංගගේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් බද්දේගම, නාගොඩ, කුරුපනාව ඇතුළු ප්‍රදේශවලට හා ගිංගඟ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇති විය හැකි බව ද එම ඒකකය පෙන්වා දෙයි.

මේ අතර, පෙරේදා (04) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඳුරුවෙල ඇතුළුව ඒ අවට ප්‍රදේශවලට වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 170කට පමණ හානි සිදුව තිබෙන අතර, මේ නිවාස බොහොමයක වහලය සුළඟට ගසාගෙන යාම සහ ගස් කඩාවැටීම හේතුවෙන් විනාශ වී ඇතැයි දිස්ත්‍රික් අපදා කළමනාකාරණ ඒකකය පවසයි.

ඊට අමතරව පවතින අධික වැසි තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක හතරකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තව දුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නාය යෑමේ අවදානම හේතුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් ඉවත්කර තිබෙන අතර, කෑගල්ල, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. 

නව අදහස දක්වන්න