එජාප 71 වැනි සංවත්සරය අද | දිනමිණ

එජාප 71 වැනි සංවත්සරය අද

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වැඩසහටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පක්ෂයේ 71 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය මේ 10 දා රත්නපුර සිවලී ක්‍රිඩාංගණයේ දී හවස 3 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

1946 සැප්තැම්බර් 06 වැනි දින  මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹි එක්සත් ජාතික පක්ෂය 1947 දී පැවැති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග කර විශිෂ්‍ට ජයග්‍රහනයක් ලබා පක්ෂයේ නායක ඩී. එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

එතෙක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අප රට නිදහස් රටක් බවට පත් කර ගැනීමට මූලික වූයේ ඩී. එස්. සේනානායක මහතාය.

ඉන් පසුව 1952 දී පක්ෂ නායකත්වයට පත් වු ඩඩ්ලි සේනානායක මහතා රටේ අගමැති ධුරයට පත් විය. ඉන් පසුව 1960 මාර්තු, 1965, 1977 සහ 1988 වර්ෂවල පැවැති මහ මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අතර, පක්ෂ නායකත්වයට පත් වූ පිළිවෙළින් සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග මහත්වරුන් රටේ නායකත්වයට ද පත් විය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් වීමේ ගෞරවය හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ජේ. ආර්. ජයවර්ධන මහතාටය.

මෙරටේ සිදු වූ වැදගත්ම සමාජ, ආර්ථික සහ දේශපාලන විප්ලවය සිදු වූයේ 1977 දී එක්සත් ජාතික පක්ෂය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිට වූ රජය යටතේය.

2001 වසරේ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් විය. නැවතත් 2015 මහ මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වී සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමෙන් නැවතත් විප්ලවයක් සිදු කිරීමට සමත් විය.

වර්තමානයේ අග්‍රාමාත්‍ය ධුරය දරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ඉතිහාසයේ වැඩිම කැපවීමක් කළ නායකයා ලෙස හැඳින්වේ. 

නව අදහස දක්වන්න