ජනපති නව ආරක්ෂක හමුදා මූලස්ථානය සහ නෙළුම් කුලුනේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ජනපති නව ආරක්ෂක හමුදා මූලස්ථානය සහ නෙළුම් කුලුනේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පෙරවරුවේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැඟිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමග සාකච්ඡා කර එම ගැටලු විසඳා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනතුරුව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ඉංජිනේරුවන් සමග ද සුහද කථා බහක නිරත විය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්විය.

මේ අතර ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පෙරවරුවේ එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුලුන සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකෙරේ.

මේ සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

ඡායාරූප - චන්දන පෙරේරා 


නව අදහස දක්වන්න

Or log in with...