අවසර නොලත් ත්‍රිරෝද 2600ක් මහනුවර නගරයේ කුලී ගමන්වල | දිනමිණ

අවසර නොලත් ත්‍රිරෝද 2600ක් මහනුවර නගරයේ කුලී ගමන්වල

අවසර ලත් ත්‍රිරෝද රථ හිමියෝ අසීරුවට 

* අපරාධ රැසක්ම සිදු වන්නේ අනවසර ත්‍රිරෝදවලින්
* සුන්දර මහනුවර අසුන්දර කරන්න ඉඩ දෙන්න එපා

මහනුවර මහනගර සභා බල සීමාවේ තැන්නකුඹුර, ලේවැල්ල, කටුගස්තොට, පේරාදෙණිය, දොඩම්වල යන පාලම් හතරකට කොටුවී ත්‍රිරෝද රථ හාරදහසක් දෛනිකව ධාවනයේ යෙදෙද්දී මහනුවර නගරයට යන එන වාහන හැට දහස ඉක්මවයි. දැඩි රථ වාහන තදබදයක් කාලාන්තරයක සිට පවතින මේ බල සීමාව තුළ ධාවනයේ යෙදෙන ත්‍රිරෝද රථ එක්දහස් හාරසියයක් පමණක් නිත්‍යානුකූල බලපත්‍ර ගෙන ඇතත් දෙදහස් හයසියයක් අම්මෙක් අප්පෙක් නැති දරුවන් මෙන් අසරණ තත්ත්වයට පත්ව ඇත. මේ අතරේ අනවසරයෙන් නගරය තුළට ඇතුළුව පිට පළාත්වලින් යන එන ත්‍රිරෝද රථ සිය ගණනක් දෛනිකව මේ නගරයේ කුලී රථ සේවාවේ අවසරයකින් තොරව හොර රහසේ නිරත වේ. රාත්‍රියේ නගරයේ ධාවනය කෙරෙන අනවසර ත්‍රිරෝද රථ ද විශාල ප්‍රමාණයකි. මේ සියල්ල සිදුවේද්දී ‘පික් මී’ නමින් මීට කිසිසේත් සම්බන්ධයක් නැති ත්‍රිරෝද රථ සේවාවක් ද වේ. දිනෙන් දින උග්‍රවන අපචාර, දූෂණ, මත්ද්‍රව්‍ය උවදුර ඇතුළු දෑ නිසි ක්‍රමවේදයක් නොමැති කමින් ඉහළ යන බවත්, වසර විසිපහ තිහ තම ජීවන වෘත්තිය ත්‍රිරෝද රථ රක්ෂාව කරගත් මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් මේ හේතු මත තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් පවසති.

1998 වසරේ මහනුවර ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මහා සංගමය නමින් සංගමයක් පිහිටුවා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පළමු ත්‍රිරෝද රථ සංගමය බවට පත් මහනුවර ත්‍රිරෝද රථ මහා සංගමය තමන්ට අත්ව ඇති ඉරණම ගැන සංවේගයෙන් යුතුව කතා කරති. මේ වන විට මේ සංගමය ශාඛා සංගම් එකසිය හැත්තෑ එකකින් සමන්විත වේ. එම සංගමයේ ත්‍රිරෝද රථ හාරදහසක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් එක්දහස් හාරසියයක් මහනුවර මහ නගර සභාවේ ලියාපදිංචි කර ඇත. ඉතිරි ත්‍රිරෝද රථ දෙදහස් හයසියය ද මේ නගරය තුළම නිත්‍යානුකූල නැතත් ධාවනයේ යෙදෙති. වසර විස්ස විසිපහක කාලයක් කීයක් හරි හොයාගෙන තම ජීවිතය ගැට ගසා ගත්තේ මේ වෘත්තියෙන් බවත් ඔවුන්ට වෙන විකල්පයක් නැති බවත් එම සාමාජිකයෝ පවසති. මේ සංගමය නියෝජනය කරන 60%කටත් වැඩි වෘත්තිකයන් පිරිස මේ රටේ ජීවනාළිය වන් තරුණ පරපුරය.

මේ සංගමය මගින් පළාතේ ප්‍රධාන ඇමැතිවරයා, ආණ්ඩුකාරවරිය ඇතුළු බලධාරීන් දැනුවත් කොට මහනුවර මහනගර සභා‍වෙන් තමන්ට වන අසාධාරණ පිළිබඳව ඉල්ලීම් කර ඇතත් තමන්ට කිසිදු පිළිසරණක් නොලැබූ බව පවසති. ලියාපදිංචි ත්‍රිරෝද රථ වාර්ෂිකව රුපියල් පන්දහසක මුදලක් මහ නගර සභාවට ගෙවූවද තමන්ගේ ත්‍රිරෝද රථ නැවතුම අසල කහ ඉර ඇඳ ගන්නේ ද ඔවුහු උපයන සොච්චම් මුදලින් බව කියති. නැවතුම් ලබා දී ඇති ත්‍රිරෝද රථ හිමිකරුවන්ට වරකට එම නැවතුම් පොළවල නැවතිය හැක්කේ ත්‍රිරෝද රථ තුන හතරක් වන අතර, අනෙක් ලියාපදිංචි රථ සඳහා විකල්ප නැවතුම් ඔවුන්ම සොයා ගෙන ත්‍රිරෝද රථයක් පිට වූ පසු තම රථය නැවතුමේ ගාල් කිරීමට පුරුදුව සිටිති. ඒ එන අතර තුර අනවසර ත්‍රිරෝද රථ මඟින් නංවාගෙන යාමද සිරිතක් වී ඇති නිසා එම නැවතුම්වල ත්‍රිරෝද රථ සේවකයන්ගේ උපයන මුදල ද අහිමි වී යන බව පවසති.

එහෙන් මෙහෙන් ධාවනය කර කීයක් හරි හොයාගෙන නගරයෙන් පනින මේ අනවසර පිරිස නිසා දසක ගණනක් මේ නගරයේ දවසේ වැඩි වෙලාවක් නගරයට වී ජීවිතය කැප කළ සුන්දර මහනුවරට ආදරය කරන ආස කරන විනය රකින හෙට දවසේ මේ රක්ෂාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරන මේ පිරිසට සිදුවී ඇත්තේ බලවත් අසාධාරණයක් බව කියති. කුලී නිවසක සිට රථයට මාසික ණය වාරිකය ගෙවමින් ඔවුන් සමාජ සේවා කටයුතු රැසක් ස්වේච්ඡාවෙන් කරන බවත් සෑම පැයේම නගරයේ වෙසෙන අපේ හැඟීම එක් කොට සහනයක් සලසන ලෙසත් ඉල්ලීම් කළ ද මෙතෙක් අප සහභාගි කරගත් මහනුවර මහනගර සභා රථවාහන කමිටුවෙන් ද තම සංගමය කපා හැර ඇති බව පවසන ඔවුහු මහනුවර පොලිසියේ රථ වාහන කමිටුවට අඛණ්ඩව සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇති බව ද පවසති.

නිත්‍ය අවසරය ලබා නැවතුම් පොළවල් ලබා දී ඇති ත්‍රිරෝද රථ එම රථ ගාල්වල තිබිය දී පිටතින් පැමිණෙන ත්‍රිරෝද රථ කරුවන් එම අසල බස් රථ නැවතීමේ දී පිටත සිට පැමිණ එම වේලාවට මඟීන් ගැනීමට හුරුව ඇති අතර, විනයකට පිළිවෙළකට ධාවනයේ යෙදෙන පිරිස් මේ නිසා දැඩි අසීරුවට පත්ව සිටිති.

මහනුවර මහනගර සභාවෙන් පෞද්ගලික අංශයන්ට ලබා දී ඇති රථ වාහන නැවතුම් පොළවල රථ වාහන නවතා යන මුවාවෙන් කුලී ත්‍රිරෝද රථ ධානවනයක් ද තැනින් තැන සිදුවන බවත් එය ද තමන්ගේ රක්ෂාවට දැඩි තර්ජනයක් බවත් ඔවුහු පවසති. තම සංගමයේ සියලුම දෙනා තම ත්‍රිරෝද රථවල ඇලවීම සඳහා කුඩා පුවරුවක් සකසා ඇති බව ද එහි ත්‍රිරෝද රථයේ සහ රියැදුරුගේ විස්තර ඇතුළත් බව ද එය නුදුරු දිනක දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද කියති.

වසර ගණනාවක් මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසත් දැනට මේ ත්‍රිරෝද රථ හාරදහසම කෙසේ හෝ ධාවනය කෙරෙන බැවින් මේ සඳහා ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් නගර සභාවෙන් ඉල්ලීම් කරන අතර වාර්ෂිකව අය කරන රුපියල් පන්දහස තුන්දහස දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටී. තව ද ත්‍රිරෝද රථ නැවතුම් පොළවල කහ ඉර සහ නාම පුවරු නගර සභාව මගින් ඉටු කර දෙන ලෙසත් මෙතරම් ත්‍රිරෝද රථ තදබදයක් පවතිද්දී පිටින් පැමිණෙන ආයතනවලට ත්‍රිරෝද රථ ධාවනයට අවසර නොදෙන ලෙසත් ඉල්ලති. මීටර් ක්‍රමයට ධාවනය සකසන්නේ නම් තමන් සියලුම දෙනා ඊට එකඟ බව ද පවසති.

මේ පිළිබඳ අදහස් දක්වන මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා-

අපි නිත්‍යානුකූල අවසර දීලා තියෙන ත්‍රිරෝද රථවලට හැරුණු කොට නැවත ලියාපදිංචි නොකරන්නට තීරණයක් අරන් තියෙන්නේ. නගරයේ තියෙන ඉඩකඩත් එක්ක තවත් අවසර ලබා දෙන්නට හැකියාවක් නෑ. අපි අනවසරයෙන් ධාවනය කෙරෙන ත්‍රිරෝද අල්ලන්න පොලිසියට දැනුම් දීලා තියෙනවා. යන එන ඒවා අල්ලන්ට ක්‍රමයක් නෑ.

අපි මේ නගරයට ආදරෙයි. අපේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ මේ නගරයේ රෝද තුනක් උඩ. ඇති වෙන ඕනෑම ප්‍රශ්නයක දී පෙරමුණ ගන්නේ අපි. දසක ගණනක් කරන මේ ත්‍රිරෝද රථ රක්ෂාව දාලා අපට කරන්නට වෙන දෙයක් නෑ.

අපි ආසයි මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා නීතිගරුකව විනය ගරුකව අපේ වෘත්තියේ යෙදෙන්නට. ඒ කිසි දෙයක් නැතුව රක්ෂාව ඇරිලා ගෙදර යන අය ගෙදර නතර කරලා තියෙන ත්‍රිරෝද රථය අරන් හැන්දෑවට නගරෙට ඇවිත් කීයක් හරි හොයාගෙන යනවා. තව සමහරු විශ්‍රාම ගිහිල්ලා ත්‍රිරෝද රථයක් අරන් නගරෙට ඇවිත් හිතුමතේ දුවනවා. රාත්‍රියට එන ත්‍රිරෝද ගැන කවුරුත් දන්නෑ. ඔවුන් එන යන හේතු දන්නේ ඔවුන්ම විතරයි. මෙහෙම ගියොත් සුන්දර මහනුවර හෙට දිනය කෙසේ වේදැයි හිතා ගන්නටත් බෑ. අපිට විනයක් සහ රක්ෂාවට ආදරයක් ද අඹුදරුවන් වෙනුවෙන් මේ රක්ෂාව රැක ගන්නට ද වුවමනාවක් තියෙනවා. පිටතින් ඇවිත් කරන වැරැදි වැඩවලට අපිට ලේබල් ගහගන්නට අපි කැමති නෑ.

අපි කියන්නේ මේ කරුණු සියල්ල ගැන සිතා බලා සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා. අපේ තියෙන ත්‍රිරෝද රථ හාරදහසට විකල්පයක් නැතුව අපි නිහඬ කරමින් නගරයට තවත් ත්‍රිරෝද රථ ඒමට ඉඩ සැලසීම හෝ ඒවාට නිත්‍යානුකූල අවසර ලබා දීම මෙයට විසඳුම නෙවෙයි. මේ පිළිබඳව බලධාරීන්ගේ නෙත දැඩිව යොමු කරන්න කියලා අපි ඉල්ලනවා.

ඉන්ද්‍රාණි තෝරදෙනිය
ඡායාරූප - උදේනි රාජපක්ෂ

නව අදහස දක්වන්න