තංගල්ල-මාවැල්ල වෙරළ ඛාදනයෙන් ධීවර යාත්‍රා රැසකට හානි | දිනමිණ

තංගල්ල-මාවැල්ල වෙරළ ඛාදනයෙන් ධීවර යාත්‍රා රැසකට හානි

වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ධීවර අමාත්‍යාංශයේ ධීවර වරාය හා නැංගුරම් පොළ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු ප්‍රභාත් රණවීර සහ රාජ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ජී. එම්. දිනේෂ් කුමාර යන මහත්වරුන් මෙහි වෙති.

කඩිනමින් තිරසාර විසඳුමක් ලබාදෙනවා රාජ්‍ය ඇමැති සහතික වෙයි

තංගල්ල මාවැල්ල වෙරළ තීරය ඛාදනය වැළැක්වීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

ඇමැතිවරයා සඳහන් කළේ පසුගිය දිනවල දී තංගල්ල, මාවැල්ල වෙරළ දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වීම හේතුවෙන් ධීවර ජනතාව පත්ව සිටින අසීරුතාව හා ධීවර යාත්‍රාවලට සිදුව ඇති හානි පිළිබඳ සොයා අවශ්‍ය සහන සැලසීමට ද කටයුතු කරන බවය.

තව දුරටත් වෙරළ මෙලෙස ඛාදනයවීම වැළැක්වීමට ගත යුතු පියවර හා පීඩාවට පත් ධීවර ජනය‍ාට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පෙරේදා ( 04 ) පැවැත්විණ. එහි දී මේ බව සඳහන් කළ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සාකච්ඡාවට එක්ව සිටි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතාගෙන් හා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් ඉල්ලීමක් කළේ එම වෙරළ තීරය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන ලෙසය.

එසේම හානියට පත් ධීවර යාත්‍රා අලුත්වැඩියා කර ගැනීමට ලබා දිය හැකි සහන මෙන්ම නැවත ඔවුන්ට ධීවර රැකියාවේ නිරතවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ජීවන තත්ත්වය ද යථා තත්ත්වයට පත් කරන්නැයි ද රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා එහි දී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

තංගල්ල, මාවැල්ල වෙරළ තීරය ඛාදනය වීමෙන් සිදුව ඇති හානිය මෙන්ම ධීවර ජනතාව පත්ව සිටින අසරණ තත්ත්වය සොයා බැලීමට ඉකුත් 01 වැනි දා එම වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ දිලිප් වෙදආරච්චි මහතා ප්‍රදේශයේ ධීවර ජනතාව සමඟ සාකච්ඡා කර හානියට පත් ධීවර යාත්‍රා පවා නිරීක්ෂණය කළේය.

නව අදහස දක්වන්න