සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා | දිනමිණ

සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා

* කොට්ඨාස-අනුපාත මිශ්‍ර වූ නව මැතිවරණ ක්‍රමයක්
* පළාත් පාලන ආයතනවලට 25%ක කාන්තා නියෝජනයක්
* අනුපාත ක්‍රමයක් තිබෙනවා නම් කිසිවකුටත් 2/3ක බලයක් හිමි වන්නේ නෑ
* දියුණු වන ශ්‍රී ලංකාවේ ජනගහනයේ කේන්ද්‍රස්ථානය වන්නේ වයඹ පළාතයි

කොට්ඨාස සහ අනුපාත ක්‍රමය මිශ්‍ර වූ නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල සියයට විසි පහක කාන්තා නියෝජනයක් ලබා දීමටත් සියලු පළාත් සභාවල මැතිවරණය එකම දිනක පැවැත්වීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

නව ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීම සඳහා 20 වැනි සංශෝධනය ගෙනවිත් ඇති බව ද ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ සඳහා අවශ්‍ය සංශෝධන අනුමත කිරීමෙන් පසුව මැතිවරණ සියල්ල එළඹෙන අවුරුද්ද තුළ පැවැත්වීමට තීරණය කර ඇති බව ද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 02 දින කුරුණෑගල, මඟුරුඔයවත්ත නව ජාතික පාසලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මම මෙතැනට පැමිණෙන අවස්ථාවේ දී ඊට සහභාගී වූ තූර්යවාදක කණ්ඩායමට, නැටුම් කණ්ඩායමට, බාලදක්‍ෂ කණ්ඩායමට සහ සංගීත කණ්ඩායමට මම පළමුවෙන්ම ස්තුති කරනවා. මේ පාසල් නිවාඩු කාලයේත් මෙවැනි උත්සවයකට සහභාගීවීමට පැමිණීම ගැන එම කණ්ඩායම්වලටත්, ශිෂ්‍ය නායකයන්ටත් ප්‍රශංසා කළ යුතුයි.

මේ උත්සවය සංවිධානය කරන අශෝක අබේසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ඉතා දක්‍ෂ පුද්ගලයෙක්. අපහසුවකින් තොරව මේ උත්සවය පවත්වාගෙන යාමට වර්ෂාවෙන් බාධා නොවේවා යැයි තමන් දෙවියන්ට භාරයක් වූ බව අශෝක අබේසිංහ මහතා මට පැවසුවා. නමුත් බොහෝ ගොවිතැන් ආදී කටයුතු සඳහා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ වර්ෂාවයි. එම නිසා උත්සවයටත් බාධාවක් නොවන ආකාරයට වර්ෂාව සුළු ප්‍රමාණයක් පමණක් අද දිනයේ ලබාදීමට දෙවියන් එකඟතාවකට පැමිණ ඇති බව අපට පෙනී යනවා. කෙසේ නමුත් වර්ෂාව දැඩිවීමට පෙර අපි මේ වැඩකටයුත්ත අවසන් කරනවා.

එතුමා ගුවන් විදුලියේ, රූපවාහිනියේ, පාර්ලිමේන්තුවේ දී අපේ ආණ්ඩුවේ වැඩකටයුතු මොනවාද යන්න ඉතා හොඳට පැහැදිලි කරනවා. මේ අවස්ථාවේදීත් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ඔබට විස්තර කළා. ඒ වගේම කුරුණෑගල නගරය දියුණු කිරීමට ඔහු විශාල උත්සාහයක් ගන්නවා. ඒ සඳහා අපත් සහයෝගය ලබාදෙනවා.

අපිත් දේශපාලනය ආරම්භ කළේ මේ නගරයෙන්. එම නිසා ඔබ මෙහි සංවර්ධනය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාගේත්, මගේත්, ආණ්ඩුවේත් සියලුම සහයෝගය ඒ සඳහා ලබා දෙනවා.

ඒ වගේම මේ අවස්ථාවේ මෙහි නොසිටියත් මේ පාසල ආරම්භ කිරීමට උදවු උපකාර කළ අපේ මහ ඇමැතිවරයාටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වනවා. ඒ වගේම අධ්‍යාපන ඇමැති ධුරයට මම පත් කළේ මේ කුලියාපිටිය ප්‍රදේශයේම නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණ පුද්ගලයෙක්. අතීතයේ සිටම අධ්‍යාපන අමාත්‍යාංශය වැනි භාරදූර වගකීම භාර දෙන්නේ මේ ප්‍රදේශයේ අයටයි. මෙවරත් එය එසේම සිදුවී තිබෙනවා.

මේ වන විට ඉතා හොඳ විද්‍යාල දෙකක් මේ ප්‍රදේශයට ගෙන ඒමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා. පළමු විද්‍යාලය මෙයයි. දෙවන විද්‍යාලය අපේ එස්. බී. නාවින්න ඇමැතිවරයාගේ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. 2019 වන විට මේ විදුහල් දෙකෙහිම පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම අපේ අරමුණයි.

අවශ්‍ය නම් තරගයක් පවත්වා හෝ මේ විද්‍යාල දෙක සඳහා ගැළපෙන නම් තෝරා ගන්නා ලෙස මම ඇමැතිවරයාට පැවැසුවා. ඒ වගේම හොඳ විදුහල්පතිවරු දෙදෙනෙක්, හොඳ ගුරුවරු ආදිය දැන්මම තෝරා ගෙන මේ වැඩකටයුතු ආරම්භ කරන ලෙස අපි අධ්‍යාපන ඇමැතිවරයාට පවසනවා.

අපේ බලාපොරොත්තුව අපේ තරුණ පරම්පරාව වෙනුවෙන් විශාල ආර්ථික දියුණුවක් ඇති ශ්‍රී ලංකාවක් ඇති කිරීමයි. ඒ දියුණු වන ශ්‍රී ලංකාවේ ජනගහණයේ කේන්ද්‍රස්ථානය වන්නේ වයඹ පළාතයි. ඒ පළාතට අවශ්‍ය හොඳ පාසල් මේ ආකාරයට ආරම්භ කිරීමයි අපේ බලාපොරොත්තුව.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව විශාල සංවර්ධන වැඩකටයුතු රාශියක් ආරම්භ කර තිබෙනවා. අශෝක අබේසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා අපේ ණය බර ගැන ඔබට ප්‍රකාශ කළා. එහෙත් ඒ ණය ගෙවා දැමීම අපි බාර ගන්නවා. පසුව මේ රට දියුණු කරමින් රටේ අනාගතය තරුණ ඔබට බාර දෙනවා.

මේ වන විට ජපාන ආණ්ඩුවේ ආධාර සමඟ මහනුවර විශාල සංවර්ධනයක් සිදු කරමින් පවතිනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවරට පමණක් නොවේ කුරුණෑගලටත් අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය වෙනවා. මේ කුලියාපිටිය සහ බිංගිරිය ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කරනවා.

හලාවත ප්‍රදේශයේ සංචාරක කලාපයක් ඇති කරනවා. බස්නාහිර මහ නගර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ගාල්ල සිට මාතර දක්වා ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයන් සඳහා කලාපයක් ඇති කරනවා. එය ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කරනවා. මාතර සිට හම්බන්තොට, මොණරාගල දක්වා විශාල කර්මාන්තකරණයකට ලක් කරනවා.

හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපොළත් කේන්ද්‍රස්ථාන කර ගනිමින් එම දියුණුව ඇති කිරීමටත් ඒ හරහා විදුලි බලාගාර තෙල් පිරිපහදු ආදිය ඉදිකිරීමටත් අපි බලාපොරොත්තු වන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමැතියි.

1977 දී අපි පාර්ලිමේන්තුවට පැමිණෙන විට මේ රටේ ජනගහනයේ කේන්ද්‍රස්ථානය වූයේ කොළඹයි. එදා මමත්, ජෝශප් මයිකල්, ජෝන් අමරතුංග, සහ අනෙක් මන්ත්‍රීවරුන් ගම්පහ දිස්ත්‍රික්කය දියුණු කරමු යැයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පැවැසුවා. ඒ අනුව අපි බියගම වෙළෙඳ කලාප 02ක් ඇති කළා. 21 වැනි ශත වර්ෂය වන විට ජනගහනයේ කේන්ද්‍රස්ථානය වූයේ ගම්පහ ප්‍රදේශයයි. නමුත් කුරුණෑගල ඇති වන මේ අලුත් සංවර්ධන වැඩකටයුතු හේතුවෙන් තවත් අවුරුදු 10ක් ගතවීමට පෙර ශ්‍රී ලංකාවේ ජනගහනයේ කේන්ද්‍රස්ථානය කුරුණෑගල බවට පත් වන බව මම කියන්න කැමැතියි.

ඊට අවශ්‍ය සංවර්ධනය අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශයට ඉදිරියේ දී විශාල දියුණුවක් ඇති වනවා. ඒ නිසා ඔබ ජීවත්වන දිස්ත්‍රික්කය ආරක්‍ෂා කර ගන්න. මේ ප්‍රදේශයට අලුත් පාසල් 02ක් ලබා දෙන බව මම 2015 දී පැවසුවේ ඉදිරිය දුටු නිසයි. අශෝක අබේසිංහ, අකිල විරාජ්, එස්. බී. නාවින්න යන ඇමැතිවරුන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයා ගන්නා ලෙස මම පැවැසුවා. ඒ අනුව දැන් මේ ස්ථානයේත් වාරියපොළත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් කැබලි 02ක් සොයා ගෙන තිබෙනවා.

කුරුණෑගල ඉඩම් සොයා ගැනීමට ඇති අපහසුව මම ඉතා හොඳින් දන්නවා. කෙසේ හෝ මේ ඉදිකරන නව පාසල් දෙක ශ්‍රී ලංකාවේ හොඳම පාසල් බවට පත් කර ගැනීමට දේශපාලනයෙන් තොරව සියලුම දෙනා එක්විය යුතු බව මම ප්‍රකාශ කරනවා.

2015 වසරේ දී අපි තවත් ඡන්ද පොරොන්දුවක් ලබා දුන්නා. එනම් නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමයි. 1977 වසරේ දී මන්ත්‍රීවරයෙක් ලෙස මම තේරී පත් වූයේ කොට්ඨාස ක්‍රමය යටතේයි. මම බියගමටත්, වෙලගෙදර මහතා කුරුණෑගලටත්, හිරියාල ප්‍රදේශයට එස්. බී. හේරත් මහතාත්, දොඩම්ගස්ලන්දට අලවතුවල මහතාගේ පියාත්, කුලියාපිටිය ලයනල් ජයතිලක මහතාත් තේරී පත් වුණා. මේ සියලු දෙනාත් තේරී පත් වුණේ කොට්ඨාස ක්‍රමය යටතේයි.

නමුත් ඉන් අසාධාරණයක් සිදු වුණා. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 51 ක් හිමිවී 5/6 ක බලයක් ලබා ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැත්තටම නැති වුණා. ඊට පෙර මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 47% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. එවිට ඔවුන්ට 2/3 ක බලයක් හිමි වුණා. අපට ආසන 18ක් දක්වා පහළ බැස්මට සිදු වුණා. තවත් ආසන 1 ක් හෝ 2ක් අඩු වුණානම් චෙල්වනායගම් මහතාට විපක්‍ෂ නායකවරයා වීමටත් ඉඩ තිබුණා.

පසුව අනුපාත ක්‍රමයක් යටතේ අපි විපක්‍ෂයටත් අවස්ථාවක් ලබා දෙමු යැයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යෝජනා කළා. අපත් විපක්‍ෂය ලෙස කටයුතු කරමින් ඒ දුක විඳලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එසේමයි. එම නිසා අපි අනුපාත ක්‍රමයක් සැකසීම ආරම්භ කළා. 1987 දී අනුපාත ක්‍රමය ප්‍රමාණවත් නොවන බවත් සෑම ඡන්ද දායකයකුටම මනාප 03ක් ලබා දිය යුතු බවත් සියලුම දේශපාලන පක්‍ෂ පැවැසුවා. දැන් මනාප පොරයක් ඇති වී තිබෙන්නේ ඒ නිසයි.

එක් මන්ත්‍රීවරයෙක් වීම සඳහා අද ඇතැමුන් කෝටි ගණනක මුදලක් වියදම් කරනවා. 1977 දී අපි සම්පූර්ණ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් වැය කළ මුදල අද ඇතැම් පුද්ගලයෙක් මන්ත්‍රීවරයෙක් වීමට වියදම් කරනවා. තෑගි, ඔරලෝසු ආදිය ජනතාවට ලබාදෙනවා. සියල්ලන්ම එම තෑගි බෝග ලබාගෙන පසුව තමන් කැමැති පක්‍ෂයකට ඡන්දය දෙනවා. එවැනි විශාල දේශපාලන දූෂණයක් ඇති වුණා. එම නිසා අපි තවත් අලුත් මැතිවරණ ක්‍රමයකට යා යුතු බව මමත්, ජනාධිපතිවරයාත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් ඇතුළු සියලුදෙනාත් පැවැසුවා.

ඒ සඳහා කෝට්ඨාස ක්‍රමය සඳහා කේවල නියෝජනය යන මැතිවරණ ක්‍රම දෙකෙහිම එකතුවක් අවශ්‍ය වුණා. මේ දිස්ත්‍රික්කයේත් මන්ත්‍රීවරු නොමැති ප්‍රදේශ තිබෙනවා. දොඩම්ගස්ලන්ද, පොල්ගහවෙල, දඹදෙණිය, නිකවැරැටිය, යාපහුව ආදී ප්‍රදේශවලට එක්සත් ජාතික පක්‍ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත්, දෙමළ පක්‍ෂයේත් කිසිඳු මන්ත්‍රීවරයෙක් නැහැ. මෙය ඉතා විශාල ප්‍රශ්නයක්. අපි මැතිවරණ ජයගෙන තිබෙනවා. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනවා. නමුත් මේ ප්‍රදේශවලට කවුරුවත් නැහැ.

අනෙක් දිස්ත්‍රික්කවලත් තත්ත්වය මේ හා සමානයි. නැ‍ඟෙනහිර කොළඹටත්, බටහිර කොළඹටත් මන්ත්‍රීවරු නැහැ. ඒ මන්ත්‍රීකම් සියල්ල සිදු කර ගෙන යන්නේ මමයි. දෙහිවලත් කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ. මේ ආදී ප්‍රශ්න ඇතිව තිබෙනවා. අපි ඒ සඳහා සාකච්ඡා කර ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරමින් මෙහෙයුම් මණ්ඩලයක් හරහා අවසානයේ දී එකඟතාවකට පැමිණියා.

240 ක් ආසන තිබෙන පාර්ලිමේන්තුවෙන් 60% ක් කොට්ඨාස ක්‍රමය යටතේ තෝරා පත් කර ගැනීමට අපි තීරණය කර තිබෙනවා. කොට්ඨාස ක්‍රමයෙන් ආසන 145 ක් තෝරා ගතහොත් ඉතිරි ප්‍රමාණය අනුපාත ක්‍රමය යටතේ තෝරා පත් කර ගන්නවා. පළමුවෙන් කොට්ඨාස 145 දිනා ගන්නා අපේක්‍ෂකයන් මන්ත්‍රීවරු ලෙස ප්‍රකාශයට පත් කරනවා. එක්සත් ජාතික පක්‍ෂය වැඩි වශයෙන් ජයග්‍රහණය කර තිබෙනවා නම් එම ආසන සංඛ්‍යාවෙන් 95-100 ක් අතර ප්‍රමාණයක් එජාපයට හිමි වනවා. එවිට ඉතිරි ආසන 45 අනෙක් පක්‍ෂ සඳහා හිමි වෙනවා.

අනතුරුව පක්‍ෂයට හිමි වන ඡන්ද ප්‍රමාණය අනුව 240 අනුපාතය ලබාගන්නවා. එම 240 අනුපාතයට අනුව එක් එක් පක්‍ෂයට හිමි වන මන්ත්‍රීවරු ගණන තීරණය කළ හැකියි. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 45 ක් හිමිවනවා නම් ඉතිරි ආසන සංඛ්‍යාව අනෙක් පක්‍ෂ වෙත ලබා දෙනවා. මෙහි කේවල ක්‍රමයත්, අනුපාත ක්‍රමයත් යන දෙකම ඇතුළත් වෙනවා.

මේ ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීමට අපි 20 වැනි සංශෝධනය ගෙනවිත් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම හරහා සියලු පළාත් සභා මැතිවරණ එක් දිනයක දී පැවැත්වීමට අපි බලාපොරොත්තු වනවා. එළඹෙන අවුරුද්ද තුළ ඒ සියලුම ඡන්ද පැවැත්වීමට අපි තීරණය කරනවා.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු පළමුවෙන්ම අපට මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ සඳහායි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන අපි පසුගිය සතියේ ඉදිරිපත් කළා. එම සංශෝධන අනුමත කිරීමෙන් පසුව එම මැතිවරණ පවත්වනවා. එහි විශේෂත්වය වන්නේ පත්වන මන්ත්‍රී සභිකයන්ගෙන් 25% ක් කාන්තාවන් විය යුතු බවට අප තීරණය කර තිබීමයි.

එම ක්‍රමවේදය පළාත් සභාවල ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අපිට පළමුවෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය වී තිබෙනවා. එහි අඩුපාඩු තිබෙනවා නම් එහි දී නිරාකරණය කර ගත හැකියි. වෙනත් කොමිටියක් පත් කිරීම හරහා පළාත් සභාවලට කොට්ඨාස බෙදීම සිදු කළ යුතු වනවා. ඒ අනුව පළාත් සභා ඡන්ද එක් දිනයක දී පැවැත්වීමට අපට හැකියාව ලැබෙනවා. කඩින් කඩ පැවැත්වෙන මැතිවරණ තේරුමක් නොමැති බව අපේ මතයයි.

ඒ සඳහා අවශ්‍ය පළමු පියවර ලෙස අප ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. මේ මැතිවරණ එක් දිනයක දී පැවැත්වීමට අවශ්‍ය සංශෝධනය අප මෙහි දී ඉදිරිපත් කර තිබෙනවා. අප සඳහටම මැතිවරණ කල් දමාවි යැයි ඇතැමුන් බියෙන් පසුවනවා. එම නිසා අපි මෙය සංශෝධනය කරමින් ඉදිරි මාස 12-15 කාලය ඇතුළත මැතිවරණය පවත්වනවා. එම නිසා කිසිම බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. මේ සංශෝධනය ගෙනැවිත් තිබෙන්නේ නව මැතිවරණ ක්‍රමය පළාත් සභා සඳහාත් යෙදවීමටයි. මේ සංශෝධන සම්මත කර ගත් සැණින්ම ආසන වෙන් කිරීමේ කොමිටියක් පත් කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සැලසුම් කරමින් සිටිනවා. ඒ හරහා ඉතා කෙටි කාලයකින් ආසන බෙදා වෙන් කර ගත් විට ජනතාවට ප්‍රාදේශීය සභා මැතිවරණ කොට්ඨාසවලත්, පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසවලත් මන්ත්‍රීවරු සිටිනවා. මේ හරහා සිදුවන අනෙක් කාරණය නම් මීට පෙර සිදු වූ ආකාරයට විපක්‍ෂය සේදී යාමකට ලක් නොවීමයි. ඔවුන්ටත් අනුපාත ක්‍රමය යටතේ සාධාරණ මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවනවා.

එවැනි අනුපාත ක්‍රමයක් තිබෙනවා නම් කිසිවකුටත් 2/3 ක බලයක් හිමි වන්නේ නැහැ. ඕනෑම පක්ෂයක් 2/3 ක බලය ලබාගෙන තමන්ට කැමැති ඕනෑම ආකාරයකට ක්‍රියා කිරීම නැවැත්වීම අපේ අරමුණයි. මේ හරහා එය ඉටු කර ගැනීමට හැකි වනවා.

පළාත් සභා සඳහා අපිට ගෙන ඒමට අවශ්‍ය වන්නේ මේ නව මැතිවරණ ක්‍රමයයි. පළාත් සභා සඳහා කේවල සහ අනුපාත මිශ්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරමින් එක් දිනක දී මැතිවරණ පැවැත්වීමට නව සංශෝධනය යටතේ අපි කටයුතු කරනවා.

අපට අවශ්‍ය වන්නේ අනුපාත සහ කේවල ක්‍රම දෙකම මිශ්‍ර වූ නව මැතිවරණ ක්‍රමයක්. පළාත් සභාවල මැතිවරණය එක් දිනක දී පැවැත්විය යුත්තේ එම නිසායි. එළඹෙන අවුරුද්ද අවසානයට පෙර එම මැතිවරණ පැවැත්විය හැකියි. එවිට මේ රටේ ජනතාවට ප්‍රාදේශීය සභා, පළාත් සභා මැතිවරණ යටතේ මේ නව ක්‍රමය අත්හදා බලා පාර්ලිමේන්තු මැතිවරණයකට එළඹෙන විට ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටිය හැකි වනවා.

එම පාර්ලිමේන්තු මැතිවරණ ගැටලුවක් නොමැතිව සිදු කළ යුතුයි. එම නිසා අප සියල්ලන්ගේම එකතුවෙන් මෙය ඉතා ඉක්මනින් සම්මත කර නව කොට්ඨාස බෙදා වෙන්කරමින් මේ වැඩ කටයුතු අවසන් කරමු යැයි මම විපක්‍ෂයේ අයටත් කියා සිටිනවා.

එවිට ජනතාවට තමන්ගේම මන්ත්‍රීවරයෙක්, තම කොට්ඨාසයේ වැඩ කිරීමට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීමටත්, තමන්ගේ කොට්ඨාසයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තෝරා යැවීමටත් හැකියාව ලැබෙනවා. මේ ක්‍රමය 2020 වන විට ඇති කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේත් කුරුණෑගලත් හොඳම පාසල අදින් වැඩ ආරම්භ කරනු ලැබූ මේ ප්‍රදේශයේ ඉදි කරමු යැයි අධිෂ්ඨාන කරගමු. මම ඔබ සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා.

මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමැති එස්. බී. නාවින්න සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහත්වරුන් ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න