පිළිකා රෝගීන්ට දිවි ඇති තෙක් නොමිලේ ප්‍රතිකාර දීම අගය කරනවා | දිනමිණ

පිළිකා රෝගීන්ට දිවි ඇති තෙක් නොමිලේ ප්‍රතිකාර දීම අගය කරනවා

අසරණ පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර කිරීමට ගත් තීන්දුව තමා හෘද සැත්කමට වියදම් කළ මුදලට වඩා වැඩි ඉතා වැදගත් තීන්දුවක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

නින්දවූර් මූලික රෝහල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සහ නින්දවූර් ආයුර්වේද බෝ නොවන රෝග පිළිබඳ පර්යේෂණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. ඉන්පසු නින්දවූර් නගරයේ පැවැති ජන රැලියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, Òයහපාලන රජය ලබා දුන් පෙරොන්දු ඉටු කරමින් පවතින නිසා ජනතාව නිදහසේ ජීවත්වෙනවා. පැහැර ගැනීම්, සුදු වෑන් සංස්කෘතිය අවසන්ව බියෙන් සැකෙන් තොරව ජනතාව ජීවත්වීම ඉතා වැදගත්. යහපාලන රජය බිහිකිරීමේදී ලබා දුන් තවත් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා. විශේෂ‍ෙයන්ම තමන් කැමැති ආගම ඇදහීමට ලබා දුන් නිදහස සහ ජාතිවාදය තුරන් කිරීම විශිෂ්ට ජයග්‍රහණයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ආශිර්වාදය මත ක්‍රියාත්මක වූ මූලධර්මවාදීන් අද නැහැ. ආගමික අයිතිය ජනතාවට තහවුරු කර තිබෙනවා. මට පසුගිය රජය එපා වූයේ ජාතිවාදය සහ ආගම්වාදය නිසයි. මිනිසත්කම ඊට වඩා වැදගත්.

ඉදිරියේදී ජාතිවාදය සහ ආගම්වාදය යළි මතු වුවහොත් ඊට විරුද්ධව ද සටන් කරනවා. උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහයෝගය ද රජයට ලැබී තිබෙනවා. ජාතිවාදය, ආගම්වාදය තුරන් කර ශ්‍රී ලාංකික ජාතිය බිහිකළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ඒ යටතේ පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ තීරණය ඉතාම වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වන විට එම රෝගීන්ට ලබා දුන්නේ රුපියල් ලක්ෂ 15 ක් දක්වා ඖෂධ පමණයි. නමුත් නව තීන්දුවත් සමඟ මේ වන විට රුපියල් ලක්ෂ 100, ලක්ෂ 120 දක්වා ප්‍රතිකාර ලබා දී තිබෙනවා. එම වියදම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබනවා. මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් වැය කිරීම ගැන තමයි දැන් චෝදනා කරන්නේ. ජනාධිපති අරමුදලෙන් තවත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා මුදල් වැය කර තිබෙනවා. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පිළිකා රෝගීන්ට ‍ජීවිතාන්තය දක්වා ඖෂධ නොමිලේ සැපයීමට ගත් තීන්දුව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එම රෝගීන්ට විශාල සහනයක් ලබා දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඖෂධ හිඟයක් තිබෙන බවට අසත්‍ය ප්‍රචාර මතු කළා. නමුත් තංගල්ල හා මොනරාගල රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා.Ó

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න