බදු ගෙවීමේ සංස්කෘතියක් නැති රටක් | දිනමිණ

බදු ගෙවීමේ සංස්කෘතියක් නැති රටක්

වසන්ත ප්‍රිය රාමනායක

ආණ්ඩුව නව පනත මඟින් සමාජ ගත කිරීමට උත්සාහ දරනුයේ බදු නොගෙවා සිටින එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස් බදු ගෙවන තැනකට පත්කරලීමය. ඉහළ ආදායම් ලබන්නන් ගෙන් බදු අයකර පහළ ආදායම් ලබන්නන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කිරීමේ වරදක් නොමැත.

රටක ආණ්ඩුවේ ආදායම ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ බදු මඟිනි. ගොඩවාය වරායෙන් ලැබෙන බදු ආදායම ඒ අසල විහාරස්ථානයකට ලබා දෙන්නැයි නිකුත් වී ඇති රාජ ආඥාවක් සම්බන්ධයෙන් ගොඩවාය සෙල්ලිපියේ සඳහන් වේ. එහි අන්තර්ගතය රේගු බදු අය කිරීමක් ගැන ය. එසේ නම් ගොඩවායේ ජාත්‍යන්තර වරායක් තිබූ බවට එය හොඳ නිදසුනකි. එමඟින් තහවුරු වන ඓතිහාසික සත්‍යය එදත් රජයේ අවශ්‍යතා සඳහා බදු අය කළ බවයි. රාජ්‍ය ආරක්ෂාව හා රජයෙන් ජනතාවට සැපයෙන සේවා උදෙසා මුදල් අවශ්‍ය ය. එම මුදල් රැස්කර ගන්නා ප්‍රධානතම මාධ්‍ය බදු ය. රාජ්‍ය ආදායම 90%ක් ම රැස්කර ගන්නේ බදුවලිනි.

1978 රාජ්‍ය බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 28.9%කි. 2005 වන විට එම ප්‍රතිශතය 16.8% ක් විය. 2015 වන විට මෙය 13.8% දක්වා පහත වැටී තිබුණි. 2005–2015 අතර කාල පරාසය තුළ මෙය 10.5% දක්වා අඩු වූ වර්ෂ ද දක්නට ලැබුණි. මෙහි සමස්ත කථාව ශ්‍රී ලංකාව පසුගිය සමයේ කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අඩුම බදු ආදායමක් වාර්තා කරන රටක් වීමය. එහෙත් අනෙක් රටවලට සාපේක්ෂව ජනතාව ගේ සුබසාධනය වෙනුවෙන් වෙනත් රටවලට වඩා ප්‍රතිශතයක් වශයෙන් වැඩියෙන් රාජ්‍ය මුදල් වැය කරන රටකි.

නිදහස් අධ්‍යාපනය

මේ වන විට සමාජවාදී රටවල වුව ද නොමැති නොමිලේ වෛද්‍ය සේවාවන් හා අධ්‍යාපනය සපයන රටකි. 1 වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල උපාධිය දක්වාම අධ්‍යාපනය නොමිලේය. සෞඛ්‍ය සේවාව ද එලෙසින්ම ක්‍රියාත්මක වේ. කෝටිය ඉක්මවා ගිය නමුත් පිළිකා සඳහා රාජ්‍ය මුදල් වැය කර ඇති රෝගීහු කීපදෙනෙක්ම නොමිලේ සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය ලබති. එසේම පරීක්ෂණ කටයුතු සියල්ල රෝහලින් ඉටුකර දෙන වැඩපිළිවෙළක් රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වේ. මීට අමතරව පාසල් නිල ඇඳුම්, පොත්පත්, පොහොර සහනාධාරය උදෙසා වව්චර් සඳහා නොමිලේ වැය කරනු ලබන මුදල මිලියන දහස් ගණනකි. මේ සියල්ල සඳහා රජයට මුදල් අවශ්‍යය.

ඒ අතර විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ විවිධ බදු විරාමයන් යටතේ සිදුවන අවිධිමත් ක්‍රියා නිසා රු. කෝටි 25000ක් පමණ වාර්ෂිකව අය විය යුතු මුදල් අය නොවී රජයට අහිමිවන බවයි.

මේ නිසා වර්තමානයට සාපේක්ෂව රජයේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 16% හෝ 17%ක මට්ටමට ගෙන ආ යුතු බව ආර්ථිකය පිළිබඳ දැනුමක් තේරුමක් ඇති විද්වතුන්ගේ මතයයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලටත් වඩා කලාපීය යථාර්ථය ද එයමය. අඩු බදු ප්‍රතිශතයක් අයකර ගනිමින් කලාපයේ අනෙක් රටවල නොමැති සහනාධාර ශ්‍රී ලංකාව ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් අපට නොමැත.

මේ නිසා ශ්‍රී ලංකාව බදු නොගෙවීමේ සංස්කෘතියක් සහිත ප්‍රතිලාභ පමණක් බුක්ති විඳින රටක් බවට පත්ව ඇත. උදාහරණයක් වශයෙන් 60 ලක්ෂයක් පමණ වාහන ධාවනය වන රටක බදු ගෙවීම් ලිපිගොනු ඇත්තේ දශලක්ෂයකි. රටේ ලියාපදිංචි ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 20කි. එහෙත් ආදායම් බදු ගෙවනු ලබන්නේ 20, 000ක ප්‍රමාණයකි. මේ නිසා සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන්නේ බදු ගෙවන සංස්කෘතියක් නොව බදු පැහැර හරින සංස්කෘතියකි. එය කාලාන්තරයක් තිස්සේ පවතින්නකි.

විවිධ පාලන යුගවල ආණ්ඩුවේ අනුහසින් හා බදු විරාමවල පිහිටෙන් ද සමහරු මේ සංස්කෘතියට අවතීර්ණව සිටිති. දේශපාලනඥයන් පමණක් නොව රටේ ආදායම් බදු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු සමහර බදු නිලධාරීහු ද මීට වගකිව යුත්තෝ වෙති.

යෝජිත ආදායම් බදු පනතේ අරමුණ මේ වටාපිටාවේ පූර්ණ වෙනසක් ඇති කිරීමට බව පෙනේ. ආණ්ඩුව නව පනත මඟින් සමාජ ගත කිරීමට උත්සාහ දරනුයේ බදු නොගෙවා සිටින එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස් බදු ගෙවන තැනකට පත්කරලීමය. ඉහළ ආදායම් ලබන්නන් ගෙන් බදු අයකර පහළ ආදායම් ලබන්නන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කිරීමේ වරදක් නොමැත.

මේ අතර අපේ බදු අය කිරීමේ ව්‍යූහය සැකසී තිබෙන්නේ බදු ආදායමෙන් 20% සෘජු බදු හා 80%ක් වක්‍ර බදු ලෙසිනි. එය පසුගිය සමයේ 18%, 82% වඩාත් නරක ප්‍රතිශතය දක්වාම වර්ධනය වී තිබුණි. නූතන ලෝකයේ බොහෝ රටවල් මේ ප්‍රතිශතයෙන් බැහැරව සිටී. එය වක්‍ර බදු 60%ක් හා සෘජු බදු 40%ක් ලෙසිනි.

නව බදු පනත

මුදල් ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරන්නේ නව බදු පනත මඟින් 82%ක් පමණ වන වක්‍ර බදු අනුපාතය 65% ක මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව ය. අසාමාන්‍ය වක්‍ර බදු ප්‍රතිශතයක් නිර්මාණය වීම තුළින් සිදුවන්නේ දිළින්දාත් ධනපතියාත් භාණ්ඩයක් වෙනුවෙන් එකම මුදලක් බදු ලෙසින් ගෙවීමට සිදුවීමයි. බදු විරාමයන් හා විවිධ පැහැර හැරීම් ඔස්සේ ධනපතියාට එය ප්‍රශ්නයක් නොවේ. ඔහු අත ඕනෑතරම් නොගෙවන බදු මුදල් එකතු වේ. එහෙත් අනෙක් පැත්තෙන් සීනි කිලෝවක්, පරිප්පු කිලෝවක් උදෙසා නැවත දිළින්දා හා ධනපතියා එකම බදු මුදලක් අදාළ භාණ්ඩ ලබා ගැනීමේ දී ගෙවීමට සිදුවේ. මේ නිසා ආණ්ඩුව නව බදු පනත මඟින් සූදානම් වන්නේ ඓතිහාසික වරදක් නිවැරදි කර බදු දැලින් පැන රජයට අයවිය යුතු මුදල් විවිධ අයුරින් ඉතිරි කර ගන්නා පිරිස් කොටුකර ගැනීමටය.

එසේනම් මෙම පනතට සමහරු විරුද්ධ වන්නේ ඇයි?

එක් විරෝධතාවයක් මතුවන්නේ සේවක අර්ථසාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබන අයට ද නව බදු ක්‍රමය ක්‍රියාත්මක වන බවට සඳහන් කරමිනි.

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා -

“බදුවල ප්‍රතිශත අයවැයෙන් අයවැයට ඉහළ පහළ යනවා. එහෙත් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබන්නන්ට කිසිදු ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. නව පනත ක්‍රියාත්මක වීමෙන් පසුවත් ඒ අයට මුහුණ දෙන්න වෙන්නේ අද ක්‍රියාත්මක තත්ත්වයටමයි. (3.9.2017 මාධ්‍ය)

පරණ පනත හා නව පනත අතර වෙනස ගැන සඳහන් කරන මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ මෙම පනත මඟින් ඇමැතිවරු ප්‍රමුඛ දේශපාලනඥයන්ට හා ඉහළ නිලධාරීන්ට තීරණ ගැනීමේ බලය අහිමි කර තිබෙන බවයි. එසේම කිසිම ව්‍යාපාරිකයකුට මෙම පනත ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමඟම මුදල් ඇමතිවරයාගේ දොර ළඟ බලා සිටීමට සිදු නොවන බවයි. ඊට හේතුව පනතේ ඇති දේ ක්‍රියාත්මක වීම නතර කිරීමට කිසිවෙකුට නොහැකි වන නිසයි. එසේම නව පනත ක්‍රියාත්මක වීමත් සමඟම සෑම පුරවැසියකුටම බදු ලිපි ගොනුවක් ලැබෙන බවට පැතිරෙන ප්‍රචාරය අසත්‍යයක් බව ද රජය පවසයි.

එදා අද වෙනස

එරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිවරයා- “එහෙම එකක් ඔය පනතේ නැහැ. නමුත් ආදායමක් උපයනවා නම් පවතින නීතියට අනුව ඒ අය බදු ගෙවිය යුතුයි. අද ක්‍රියාත්මක වන නීතිය ඒකයි. හැබැයි වෙනසක් තිබෙනවා. අපි නීතිය ක්‍රියාත්මක කරනවා.” (3.9.2017 මාධ්‍ය)

මේ වන විටත් නව ආදායම් බදු පනතට සංශෝධන 115ක් පමණ ගෙන එනු ඇතැයි දැනගැනීමට තිබේ. එය විශාල ප්‍රමාණයකි. මේ නිසාම පනතේ මූලික හරයට කිසියම් බලපෑමක් සිදුවිය හැකි බවට සැකයක් මතුවේ. කෙසේ නමුත් එමඟින් සියලු පාර්ශ්වයන්ට රජය සවන් දී තිබෙන බව පෙනේ. එය යහපාලන මූලධර්මයන්ට ගැළපෙනු ඇත.

වඩා වැදගත් වන්නේ බදු අය කිරීමටත් වඩා අය කරගනු ලබන බදු සාධාරණව විනිවිදභාවයකින් යුතුව වියදම් කිරීම ය. රජය එසේ වියදම් කරනු ලබන බවට ජනතාවට තේරුම් යා යුතුය. ඒ සඳහා විවිධ නාස්තිකාර වියදම්වල හා දේශපාලනඥයන්ගේ රජයේ මුදලින් යැපෙන දිවිපෙවෙත්වල යම් සංයමයක් ද ඇති බව ප්‍රදර්ශනය විය යුතුය . එසේ වන්නේ නම් බදු අය කිරීම ප්‍රශ්නයක් නොවනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...