යහපාලනය වසර දෙකක ශේෂ පත්‍රය | දිනමිණ

යහපාලනය වසර දෙකක ශේෂ පත්‍රය

අසේල කුරුළුවංශ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය
උපුල් අබේරත්න

පසුගිය රජයට එල්ලවූ ප්‍රධානතම චෝදනා අතර මූල්‍ය අවභාවිතය සම්බන්ධ චෝදනාව වඩා ප්‍රබල විය. මහජන මුදල් භාවිතය විනිවිදභාවයක් ඇතිව සිදුකළ යුතුය යන්න වත්මන් රජය බලයට ගෙන ඒමට දායක වූ ජන බලවේගයන්ගේ අපේක්ෂාව විය. එය ඒ ලෙසින්ම තහවුරු කිරීම ජනපති - අගමැති මෙන්ම රජයේ මැති ඇමැතිවරුන්ගේ වගකීමය.

මෙරට හයවන විධායක ජනපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා 2015 වසරේ ජනවාරී මස 08 දින පැවැත්වූ මැතිවරණය කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී එකක් බවට පත්වෙයි. බලයේ සිටි විධායක ජනපතිවරයා තම ධුර කාලය තවත් වසර දෙකක කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණයකට ගොස් පරාජය වීම එකකි. මේ ආකාරයට බලයේ සිටි විධායක ජනපතිවරයකු මෙරට ඉතිහාසය තුළ පරාජයට පත්ව නොමැත. ප්‍රතිවාදී අපේක්ෂකයා විධායක ජනපතිවරයා නියෝජනය කළ පක්ෂයේ ලේකම්වරයාව සිට පොදු අපේක්ෂ ලෙස ඉදිරිපත්ව තම පක්ෂයේම සභාපතිවරයා පරාජය කිරීම තවත් එකකි. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්නට සිවිල් සමාජය පෙර කිසිදු මැතිවරණයකදී නොදැක්වූ ආකාරයේ සක්‍රීය දායකත්වයක් ලබා දීමය. තිස් වරසක් පැවැති ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම ඔස්සේ පැවති ජනප්‍රියත්වය, රාජ්‍යය යාන්ත්‍රණය මෙන්ම මාධ්‍යයද සියතට ගනිමින් විධායක ජනපතිවරයා ගෙන ගිය සටන ජන බලවේග විසින් පරාජය කරනු ලැබුවේ සියල්ලට වඩා නිදහස හා ප්‍රජතන්ත්‍රවාදය වටිනා බව තහවුරු කරමිනි. සමාජ මාධ්‍ය උපරිම අයුරින් එම රජයේ වංචා, දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීම හේතුවෙන් අවධි වූ සමාජය, මහින්දට ගෙන ආවේ නොසිතූ පරාජයක් වන අතර ඔහු අද ද එය පිළිගැනීමට නොහැකි තත්ත්වයෙන් ක්‍රියා කරන ස්වභාවයක් දක්නට ලැබෙයි.

වත්මන් රජය පිහිටුවීම සදහා මූලික අඩිතාලම වැටුණේ මෙම ජනපතිවරණ ජයග්‍රහණයත් සමග ඇරඹි දින සියයේ ආණ්ඩුව ගත් යහපත් ක්‍රියාමාර්ග නිසා බව අප අමතක නොකළ යුතුය. ඉන්ධන මිල සහ අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ 15ක මිල අඩු කරමින් ජනතාවට සහන රැසක් ලබා දෙමින් ඇරඹි ආණ්ඩුව 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපති ධුරයේ අසීමිත බලතල කප්පාදු කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිණිස බලපාන්නා වූ තීන්දු තීරණ රැසක් ගනු ලැබීය. දිනාගත් නිදහස සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු කිරීම පිණිස රජය මගින් ජනතාව බොහෝ දේ අපේක්ෂා කළහ. ජනතාව මෙහදී සිය ඡන්දය අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් භාවිතා කළේ වසර 10 ක් පුරා පැවැති මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඉස්මතු වූ ඒකාධිපතිත්වය ඇතුළු කරුණු ගණනාවක් පිටු දැකීමේ අරමුණිනි. මහින්ද රාජපක්ෂ දේශපාලන ක්‍රියාවලියේ දිගුවක් මෙම රජයෙන් ජනතාව කිසිසේත් අපේක්ෂා නොකරන්නේ එහෙයිනි. අධිකරණයේ, පොලීසියේ ස්වාධීන්ත්වය පිළිබදව සැක සහිතව බලන්නට කරුණු ඉතිරි කිරීම රජයේ වගකීම නොවන්නේ ද එබැවිනි.

ඇමැතිධුර අහිමිවීම

යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ එහි ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකුට ඇමැති ධුර අහිමිවී තිබේ. මුදල් ඇමැති ධුරය හොබවමින් සිට පසුව විදේශ ඇමැති ධුරය දැරූ රවී කරුණානායක මහතා ඉල්ලා අස්වී ඇත. අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ජනපතිවරයා විසින් අමාත්‍ය ධුරවලින් නෙරපා හැරියේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම සලකා බලාය. ඒවා යහපාලනයේ යහපත් ලක්ෂණ බව කිව යුතුය.

මේ ආණ්ඩුව තුළින් වංචා, දූෂණ, සොරකම් ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන අතර එසේ සිදුවන්නේ නම් එය ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ඒකරාශී වූ සමාජ බලවේගයන්ට පිටුපා යෑමකි.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වෙද්දී ඒ සම්බන්ධයෙන් ජනපති කොමිසමක් පත් කිරීම අගය කළ යුතුය. මහින්ද රාජපක්ෂ යටතේ මෙවැන්නක් කිසි විටෙකත් සිදු නොවන බව ඔහුගේ වසර 10 ක පාලන කාලය විමර්ශනය කිරීමේදී පැහැදිලි වෙයි. සෑම විටම වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් ආරක්ෂා කිරීම ඔහුගේ ප්‍රතිපත්තියක් බව එම කාලය තුළ පැහැදිලිව පෙනෙන්නට තිබිණි. රවී කරුණානායක වැනි රජයේ ප්‍රබල ඇමැතිවරයකුට පවා චෝදනා එල්ල වූ අවස්ථාවේ ඇමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මහින්ද පාලනය යටතේ මෙවැන්නක් කිසි විටෙකක් සිදු නොවන බව විවාදයකින් තොරව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අද වන විට ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබේ. එය යහපත් ප්‍රවණතාවකි.

ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කරන්නට වෙර දරන කණ්ඩායම් තවමත් රට තුළ දක්නට ලැබෙන මුත් පසුගිය රජය මෙන් ඒම බලවේග පෝෂණය කරන්නට වත්මන් යහපාලන රජය කටයුතු නොකරයි. විවිධවූ දේශපාලනික අරමුණු වෙනුවෙන් ඇතැම් කණ්ඩායම් නැගී සිටින්නට උත්සාහ කරන බවක් දක්නට ලැබුණත් ඒවාහි බලපෑම අවමවී ඇත්තේ රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නාවූ ක්‍රියා පිළිවෙත නිසාවෙනි. පසුගිය රජය සමයේ සිදුවූයේ මේ අකාර ජාතිවාදී කණ්ඩායම් රාජ්‍යය අනුග්‍රහය යටතේ පෝෂණය වීමය.

පසුගිය රජයට එල්ලවූ ප්‍රධානතම චෝදනා අතර මූල්‍ය අවභාවිතය සම්බන්ධ චෝදනාව වඩා ප්‍රබල විය. මහජන මුදල් භාවිතය විනිවිදභාවයක් ඇතිව සිදුකළ යුතුය යන්න වත්මන් රජය බලයට ගෙන ඒමට දායක වූ ජන බලවේගයන්ගේ අපේක්ෂාව විය. එය ඒ ලෙසින්ම තහවුරු කිරීම ජනපති - අගමැති මෙන්ම රජයේ මැති ඇමැතිවරුන්ගේ වගකීමය. පසුගිය රජයේ ප්‍රබල ඇමැති ධුර හෙබවූ පුද්ගලයෝ රැසක් වත්මන් ආණ්ඩුවේද අමාත්‍යය ධූර හොබවති. ඔවුන් 2015 මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීමට දායක වූ ජනතාව දැරූ මතය හා සමපාත මතයක් දැරුවෝ නොවෙති. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මෙම පිරිස් ආණ්ඩුව හා එකතු වූ අතර යහපාලන ආණ්ඩුව තුළ නොයෙක් පරස්පරතා නිර්මාණය වීමට මෙම කණ්ඩායමේ ඇතැම් අයගේ මතවාද හේතු වී තිබේ.

විධායක ජනපති ධුරය අහෝසි කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිට දැරූ ස්ථාවරයයි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මෙම මතයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බැහැර වූ අතර එහිදී සිදුවූයේ මෙහි බලතල තවත් පෝෂණය කරමින් එය ඉදිරියට ගෙන යෑමට පසුබිම සකස්වීමය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ප්‍රකාශයක් රටට කළ අතර මේ වන විට එතුමා නියෝජනය කරන පක්ෂය තුළ මෙම මතයට එරෙහි මතයක් පෝෂණය වෙමින් පවතී. එය පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක ජයග්‍රහණය කරවීමට ඡන්දය දුන් ජනතාවගේ මතයට එක්තරා ආකාරයකින් පිටු පෑමකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද කිව යුතුව ඇත්තේ එයමය.

නව ව්‍යවස්ථාව

රටේ සියලු ප්‍රදේශ ආවරණය වන සේ ජනතා අදහස් ලබා ගැනීම අරමුණු කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවක් රජය පත් කළේ ජනපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉෂ්ට කිරීමටය. රටේ සියලු ජන කොටස් එක් ධජයක් යටතට ගොනුකර සාර්ථක ඉදිරි ගමනක් යෑමට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහි මුලින් තිබූ උනන්දුව ක්‍රමයෙන් හීනව යෑම ඉඩ දෙන්නේ නම් එය බරපතළ වරදකි.

මෙරට අධිකරණය පරම පවිත්‍ර ආයතනයක් නොවන්නේය. නීතිපති දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන්ද එම ප්‍රකාශය එලෙසින්ම වලංගුය. රටක නීතිය සැමට සාධාරණ විය යුතුය. සාධාරණ කාලයක් තුළ නඩු අසා තීන්දු ලබා දීමද අතිශයින් වැදගත්ය. යුක්තිය ඉටුවීම සඳහා පවතින ප්‍රමාදයද එක් අකාරයකින් වරදකි. සාධාරණ කාලයක් තුළ නඩු විභාග කර අවසන් කිරීම ජනතාව අපේක්ෂා කරන්නකි. එහෙත් මේවා බලාපොරොත්තු වූ අකාරයට ඉටු වී නොමැත.

නීතියට අසු නොවෙන ලෙස සොරකම් කිරීම ගැටලුවක් නොමැති බව මහින්ද රාජපක්ෂ පාලනය අනුමත කළ බවක් පැහැදිලිව පෙනෙන්ට තිබේ. නීතිය උල්ලංඝනය කළ බව සාධක සහිතව ඔප්පු නොවන ආකාරයට ඕනෑම පාදඩ හෝ ජඩ වැඩක් කළාට කමක් නැතිය යන මතය එම යුගයේ ස්ථාවර විය. මහින්ද අදද සොරකම් නොකළ බවක් නොකියයි. ඔහු ආඩම්බරයෙන් කියන්නේ පුළුවන් නම් හොරකම් ඔප්පු කරපන් කියායි. සොරකම් කළ බව තහවුරු කරන්නට කිසිදු සාධකයක් ඉතිරි නොකර සොරකම් කිරීමට සැලසුම් සහගත බවක් තිබිය යුතුය. පසුගිය රජය සමයේ සිදුවූ බව කියන බොහෝ වංචා හා දූෂණ ඉතා සැලසුම් සහගතව සිදුකර තිබීම නිසා අද ඒවා ඔප්පු කිරීම පවා රජයට අභියෝගයක් වී තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීම සැබවින්ම ජනතා ජයග්‍රහණයකි. මෙරට තුළ සිදුවන සංවර්ධන කටයුතුවල මුදල් ඇස්තමේන්තු සම්බන්ධව ජනතාවට ගැටලු තිබේ. ටෙන්ඩර් ලබාදීමේ සිටම මුදල් අවභාවිත වන බව ජනතාවගේ පිළිගැනීමය. මෙම පනත සම්මත වීම සමාජ ප්‍රගමනයට කෙතරම් වූ යහපත් බලපෑමක් සිදු කරන්නේද යන්න පැහැදිලිව අත්විඳින්නට ලැබෙන්නේ ඉදිරි කාලයේදීය. රජය මෙය සම්මත කිරීම සඳහා කිසියම් වූ ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම අගය කළ යුතුය. මෙරට බලයේ සිටි සෑම රජයකටම නොයෙක් ආකාරයේ වංචා, දූෂණ චෝදනා එල්ල විය. මෙවන් පනතක් සම්මත කිරීමෙන් යහපාලන රජය කිසියම් වූ පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කරන්නට උත්සාහ කරන බවක් පෙන්නුම් කරයි. අද වනවිට භාෂණ නිදහස සැලකිය යුතු මට්ටමකට රටේ ආරක්ෂා වී තිබේ. පැහැර ගැනීම් හා අතුරුදන් වීම් සම්බන්ධ චෝදනා රජයට ඉදිරිපත් වන්නේ නැත.මෙය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමේ ප්‍රතිපලයකි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ඉදි කරන්නට පසුගිය රජය සම්ප්‍රදායික නොවන අධික පොලී සහිත මූලාශ්‍රවලින් ණය ලබා ගෙන තිබේ. එම ණය මෙරට ජනතාව ගෙවිය යුතුය. රටේ දළ දේශීය ආදායමද ඉක්මවා යන ආකාරයේ ණය පොලී වාරික ගෙවීමට තිබියදී ඒවා ගෙවා දැමීම සඳහා නොයෙක් ක්‍රම අනුගමනය කරනන්ට රජයකට සිදුවෙයි. ජනතාව මත බදු නොපටවා සහන ලබා දෙන අතර තුර මෙය සිදු කිරීම අතිශයින් අභියෝගයකි. බලය ගිලිහී ගිය මහින්ද රාජපක්ෂ අද වරාය බදු දීම සම්බන්ධව නොයෙක් ප්‍රකාශ කළත් ඔහු බලයේ සිටියේ නම් මුලින්ම කරන්නේ මෙම වරාය බදු දීම බව කිව යුතුය.ඒ හැර වෙනත් විකල්ප තිබේද යන්න ප්‍රශ්නයකි. මහින්ද කරන්නේ මී පැණි සමඟ තවරා ජනතාවට වස කැවීමය. රනිල් එසේ නොවී පවතින තිත්ත ඇත්ත ප්‍රකාශ කරයි. අධික ණය පොලී ලබා ගනිමින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති මගින් ආදායම් ඉපැද්දවිය නොහැකි නම් ඒවා මහජනතාවට බරක් වන ලෙස පවත්වා ගෙන යෑම අනුවණ ක්‍රියාවකි. ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලබා දීමට ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල ඒකාබද්ධ විපක්ෂය වාසියට හරවා ගන්නා අන්දම පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී දක්නට ලැබිණි. හම්බන්තොට වරාය බදු දීමේ සිද්ධිය එහි ප්‍රමුඛතම අවස්ථාවකි. එය නිසි අවබෝධයෙන් යුතුව කළේ නම් මහින්ද හා විජේදාස මතු කළ තර්ත නිකන්ම සුන්වී යනු ඇත.

ආගම හා දේශපාලනය

ආගම හා දේශපාලනය කාරණා දෙකකි. එය පටලවා ගතහොත් නැති ගැටලු මතුවෙයි. ආගම් බැහැර කර අපට ගමනක් යානොහැකි බව සත්‍යයකි. එසේ වුවත් ආගමික කරුණු මුල් කර ගනිමින් සෑම කාරණයකදීම තීන්දු තීරණ ගැනීමට යෑම ගැටලුවකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගොඩනැගී ඇත්තේ විෂය මූලික කරුණු මත පදනම්ව මිස ආගමික කරුණු මත නොවේ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඊටම ආවේණික වූ ඉගැන්වීමේ හා ඉගෙන ගැනීමේ කාලාවක් නිර්මාණය වී ති‍බේ. එය මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමය හා සැසදීමේදී තරමක් වෙනස් ආකාරයට සිදු වන්නකි. සිකුරාදා දිනවල පස්වරුවේ විශ්ව විද්‍යාලවල පන්ති පැවැත්වීම, විභාග පැවැත් වීම තුළින් මුස්ලිම් දරුවන්ට ගැටලුවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම චක්‍ර ලේඛනයක් විශ්ව විද්‍යාලවලට යොමු කර තිබේ. මෙය ඇත්තෙන්ම නැති ගැටලුවක් නිර්මාණය කිරීමකි.

මුස්ලිම් ප්‍රජාව වෙතින් එවැනි ඉල්ලීමක් හෝ නොමැති අවස්ථාවක මෙවැනි දේ කරන්නට යෑමෙන් ඉදිරියේ තවත් ප්‍රශ්න ඇති වීම වැලක්විය නොහැකිය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ සෑම දිනකට පෙරුවරු 11.00 සිට 1.00 දක්වා දානය වැළඳීමට අවශ්‍ය බව කියමින් පන්ති නොපවත්වන ලෙස ඉල්ලීමක් කළ හොත් එය අහක දැමිය හැකිද යන්න ප්‍රශ්නයකි. අනෙක් පැත්තෙන් මේවන විට මෙරට ජනමාධ්‍යය මිථ්‍යාදෘෂ්ඨික ජන සමාජයක් බිහි කිරීම පිණිස කටයුතු කරන බවක් දකින්නට ලැබෙයි. නොයෙක් මන්ත්‍ර, ගුරුකම් ඇතුළු නොපෙනන බලවේග හඹා ගොස් ජීවිතය ජයගත හැකි බවට මත මාධ්‍ය මගින් සමාජය පුරා වපුරනු ලබයි. මේවා පිළිබඳ රජය දෙවර්ෂය සපුරන මේ මොහොතේ හෝ නිසි සොයා බැලීමක් නොකළ හොත් තත්ත්වය ඉදිරියේදී තවත් දරුණු වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...