කිතුල කප්රුකක් | දිනමිණ

කිතුල කප්රුකක්

පූජනී ගුණසේකර

කිතුල හා බැඳුණු වෙනම දැනුම් සම්භාරයක් අප සතුයි. මේ පාරම්පාරික ඥානය මේ වනවිට අපෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ නිසා මෙය සංරක්ෂණය ඉතා වැදගත්.

සබරගමු පළාතේ ආණ්ඩුකාරතුමාගේ සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමාගේ යෝජනාවක් පරිදි, සබරගමු පළාතේ ගිලිහී යමින් පවතින ජනශ්‍රැති එක්රැස් කර ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුද්‍රිත ‘කිතුල හා පැණිහකුරු’ කෘතිය රචනා විය. රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම සහ කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය (විශේෂ) උපාධිධාරිනී පූජනී ගුණසේකර පිය, දියණි දෙපළ අතින් ලියැවුණු මේ කෘතිය, අතීතයේ පටන්ම වැදගත් වෘක්ෂයක් ලෙස සැලකෙන කිතුල් ගහ පිළිබඳ ලියැවුණු පළමු පුරෝගාමී පර්යේෂණ කෘතිය ද වේ. එම කෘතිය පිළිබඳ පූජනී ගුණසේකර සමඟ කළ කතාබහකි මේ.

මේ වගේ මාතෘකාවක් ඔබලා තෝරා ගැනීමට හේතුව මොකක්ද?

පොල් ගහ, අපේ සමාජයේ කප්රුක ලෙසිනුයි හඳුන්වන්නේ. ඒත්,කිතුල් කියන්නෙත් ඒ හා සමානම කප් රුකක් කියලා මැනවින් අධ්‍යයනය කළොත් පෙනී යනවා . කිතුල් හා බැඳි වෙනම සංස්කෘතියක් පවතිනවා. ඒ හා සබැඳි , අපටම උරුම වුණ ඥාන සම්භාරයක් තියෙනවා. අද වෙනකොට මේ සියල්ල ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින්නේ. ඒකට හේතුව සමාජයේ වගේ ම රාජ්‍ය අවධානය අඩුවීමයි. කිතුල හා සම්බන්ධ දැනුම් කෝස්ටාගාරය ඉදිරි පරම්පාරව වෙත ගෙනයාම මේ පර්යේෂණයේ මූලිකම අරමුණක්. මේ කෘතිය රචනා වුණේ, මේ උරුමය සංරක්ෂණය අපේ වගකීමක් ලෙස හිතුණු නිසයි.

මෙහි පර්යේෂණ අත්දැකීම පිළිබඳ කතා කළොත්?

මෙය පුරා වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක්. දත්ත දායකයන් දෙසියකට වැඩි පිරිසක් මුණ ගැසුනා වගේම, ලිඛිත මුලාශ්‍ර සියයක් පමණ අධ්‍යයනය කළා. මෙහි පර්යේෂණ ක්ෂේත්‍රය විදිහට තෝරා ගත්තේ රත්නපුර දිස්ත්‍රික්කය. ඉන් පරිභාහිරවත් මම කිතුල හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණයක් දෙණියාය ප්‍රදේශය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයේදී සිදුකළා. මේ සියලු අත්දැකීම් පාදක කරගෙන, කිතුල හා බැඳි සංස්කෘතිය, ඓතිහාසික මුලාශ්‍ර, එහි ජනශ්‍රැතිය හා විද්‍යාත්මක පසුබිම පිළිබඳ කළ ශාස්ත්‍රීය පර්යේෂණයක් විදිහටයි මෙය සමාජගත වන්නේ.

කිතුල හා පැණි හකුරු ග්‍රන්ථයේ සංස්කෘතිය මඟින් නියෝජනය වන්නේ අස්පර්ශනීය උරුමයේ හිමිකමක්. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

කිතුල හා බැඳුණු වෙනම දැනුම් සම්භාරයක් අප සතුයි. මේ පාරම්පාරික ඥානය මේ වනවිට අපෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ නිසා මෙය සංරක්ෂණය ඉතා වැදගත්.

මීට ප්‍රථම කිතුල ආශ්‍රිතව පර්යේෂණ පත්‍රිකා පළ වී තිබුණත්, කිතුලේ සමස්ත සංස්කෘතිය පරිසරය හා එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳ ලියැවුණු ප්‍රාමාණික පර්යේෂණ කෘතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

කිතුල හා සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා පළවී තිබෙනවා. අප එම විද්‍යාඥයන්ගේ සේවය පැසසිය යුතුයි. විශේෂයෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය වැනි ආයතන මේ සම්බන්ධව සිදුකරන පර්යේෂණ ප්‍රශංසනියයි. ඒත්, අප මෙහිදී බොහෝ දෙනාගේ ඇස නොගැටුණු, ඒ හා බැඳි සංස්කෘතිය, ජනශ්‍රැතිය ආදි සමාජ විද්‍යාත්මක කාරණාත් පුළුල්ව විග්‍රහ කරනවා. ඒ වගේම එහි විද්‍යාත්මක පසුබිමත් මෙහි අන්තර්ගතයි. ආදි කිතුල හා බැඳි සියලු කරුණු මේ කෘතියට ඇතුළත් කරන්න අප උත්සාහ කළා. කිතුල හා බැඳි බිතු සිතුවම්, ග්‍රාම නාම ආදී බොහෝදෙනාගේ අවධානයට යොමු නොවන අවශේෂ කාරණා පිළිබඳත් අධ්‍යයනය කරලා මේ කෘතියට ඇතුළත් කළා. ඒත්, මේ සියල්ල අතරේ යම් යම් කරුණු මඟ හැරී තියෙන්න පුළුවන්. අපි මේ පර්යේෂණයේදී හැමවිටම උත්සාහ කළේ, කිතුල හා බැඳි පරිපුර්ණ පර්යේෂණයක් ඉදිරිපත් කිරීමටයි. දැනට ලැබෙන පාඨක ප්‍රතිචාරවලින් , අපේ උත්සාහය සාර්ථකයි කියලා හිතෙනවා .

කිතුල් ගසෙන් නිෂ්පාදනය කරන කිතුල් හකුරු සහ කිතුල් පැණි, අපේ රට තුළ ප්‍රචලිත කළොත්, ජනප්‍රිය ලෙඩ රෝග අවම කර ගැනීමට හැකියි. ඒ පිළිබඳ කතා කළොත්?

ජාතික සීනි සැපැයුම පිළිබඳ අප රට විශාල ගැටලුවකට මුහුණ පා තිබෙනවා.ඒ වගේම උක් සීනි, දියවැඩියා රෝගයට අතවනන සාධකයක් ලෙස හඳුන්වනවා. මේ ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරක් අප රටේ හොඳින් වැවෙන කිතුල් ගස් හරහා කිතුල් හකුරු,කිතුල් පැණි භාවිත කිරීමෙන් ලබාදිය හැකි බවත්, අප රටට අවශ්‍ය තරම් කිතුල් පැණි, හකුරු නිෂ්පාදනය කිරීමේ හැකියාව පහසුවෙන් තිබෙන බවත් මේ පර්යේෂණ කෘතියෙන් පෙන්වා දී තිබෙනවා.

අනෙක් පැණි රස ආහාර වර්ගවලට සාපේක්ෂව කිතුල් පැණිවල අඩංගු වෙන්නේ අඩු කිලෝ කැලරි ප්‍රමාණයක්. මෙහි ඖෂධීය වටිනාකමත් බොහෝ ඉහළයි. සෞඛ්‍යයට හිතකර මධ්‍යම ප්‍රතිඔක්සිකාරක ගුණයක් මෙහි පවතින්නේ, අප රටට අවශ්‍ය තරම් පමණක් නෙමෙයි. අපනයනට තරම් මේ නිෂ්පාදන පුළුල් කිරීමේ විභවයක් ඇති බව අපට මෙය අධ්‍යයනයේදී පැහැදිලි වූ කරුණක්. මෙය ක්‍රියාවට නංවන්න නම්, රාජ්‍ය මැදිහත් වීමකුත් අවශ්‍යයි.

මේ ග්‍රන්ථය තුළ පරිච්ඡේද පහක් යටතේ කිතුල හා බැඳි භාෂා සංස්කෘතිය ශාස්ත්‍රීය ලෙස විග්‍රහ කර තිබෙනවා. එහෙම කළේ ඇයි?

කිතුල හා බැඳි ඓතිහාසික භාෂා මුලාශ්‍ර, සංස්කෘතිය, ජන ජීවන සංස්කෘතිය, භෞතික, පරිසර විද්‍යාවක් හා අද්‍යතන සමාජීය සංස්කෘතිය ලෙස මේ හා බැඳි කරුණු පුළුල්ව පරිච්ඡේද විසි හතරක් පුරා විග්‍රහ කරනවා. කිතුල හා බැඳි ජන කවිය එහි වාග් සම්ප්‍රදාය, ජන සම්ප්‍රදාය ආදී බොහෝ කරුණු මීට ඇතුළත්. මේ නිසා මේ කෘතිය මෙපමණ පරිච්ඡේද ප්‍රමාණයක් පුරා විහිදී ගොස් තිබෙනවා.

ව්‍යාපාරයක් ලෙස කිතුල් වගාව දියුණු කිරීමේ කාලෝචිත අවශ්‍යතාව පිළිබඳ කතා කළොත්?

කිතුල් පැණි, හකුරු සඳහා විදේශ වෙළෙඳ පොළෙහි හොඳ ඉල්ලුමක් පවතිනවා. 1860 දී කිතුල් අපනයනය කළ බව වාර්තා වෙනවා. රේගු වාර්තා අනුව 1893 දී කිතුල් හකුරු හොන්ඩර 3780ක පමණ ප්‍රමාණයක් එක්සත් රාජධානිය,බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලට අපනයන කර තිබෙනවා. ඈත අතීතයේ ඉඳන් ම විදේශ රටවලින් කිතුල් සඳහා හොඳ ඉල්ලුමක් ලැබී තිබුණු බවට සාක්ෂ්‍ය තිබෙනවා. වර්තමානයේ වුණත් අන්තර්ජාතික වෙළෙඳ පොළේ, ශ්‍රී ලංකාවේ කිතුල් නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ, ජපානය, මැලේසියාව වගේ රටවලින්.

කිතුල අපේ දෛනික දිවියට සම්බන්ධ කර ගැනීමෙන් අත්වන වාසි පිළිබඳ ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

සීනි පරිභෝජනයට ආදේශකයක් විදිහට කිතුල් හකුරු භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. උක් හෙක්ටයාර් එකක සාමාන්‍ය අස්වැන්නක් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් , එනම් දෙගුණයකට වඩා වැඩි ආදායමක් කිතුල් මල් 16 ක් කැපීමෙන් ලබා ගත හැකියි. ඒ විතරක් නෙමෙයි, හෙක්ටයාරයක උක් වගාව සඳහා ශ්‍රමිකයන් 25ක් පමණ අවශ්‍ය වෙනවා.ඒ, වසරක් වගේ කාලයකට. එහෙත්, කිතුල් මල් 16ක් කැපීමට ශ්‍රමිකයන් හය දෙනකු මඟින්, දින 100ක් තුළදී කළ හැකියි. මුල්‍යමය වශයෙනුත් මෙය ඉතා වාසිදායකයි. වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 31 පමණ වෙනවා. දේශිය පරිභෝජයෙන් 92%ක් ආනයනය කරනවා. අපි සමස්ත සීනි පරිභෝජනයෙන් 8%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. මේ වැය වන දේශීය විනිමය ඉතිරි කර ගන්න, කිතුල් පැණි සහ හකුරු සඳහා දේශීය වෙළෙඳ පොළ පුළුල් කළ යුතුයි.

මෙයට දෙන්න පුළුවන් සරලම පිළිතුර කිතුල. කිතුල කියන්නේ කප්රුකක්. මෙහි සියලුම කොටස් පාහේ ආර්ථිකම වශයෙන් ප්‍රයෝජනවත්. සාමාන්‍ය භාවිතයේදී අපි දැනුම්වත් පැණි, හකුරු, කිතුල් පිටි ආදී භාවිතයන් අතලොස්සක් ගැන විතරයි. ඒත්, කිතුල හා බැඳී වෙනම ආහාර සංස්කෘතියක් තියෙනවා. විශේෂයෙන්ම පාරම්පාරික දැනුමට මුහු වූ නව දැනුමක් එක්ක අපට පුළුවන් නව කිතුල් ආහාර හා නව නිෂ්පාදන මඟින් එහි අගය වැඩි කරන්න. කිතුල කෙතරම් ප්‍රයෝජනවත්ද කිව්වොත්, කිතුල් කෙඳි පවා ආර්ථිකය වටිනවා. අතීතයේ එය අපනයනය කළ බවත් සඳහන්. මිනිසාට විතරක් නෙමෙයි, සත්ව රෝග සඳහාත් පාරම්පාරික වෙදකමේ කිතුල භාවිත කරනවා. මේ භාවිත සම්බන්ධව අප මේ කෘතියේදී පුළුල්ව විස්තර කරනවා.

වර්තමානයේදී කිතුල් මල් මදින්නන්ට වෘත්තීය වටිනාකමක් ලබාදිය යුතුයි. ව්‍යාපාරයක් විදිහට අද කිතුල් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ අනෙක් ගැටලුව විදිහට මා දකින්නේ, බාල නිෂ්පාදන එනම් අඩු ප්‍රමිතියේ පැණි හා හකුරු වෙළෙඳ පොළට ඉතා ලාබෙට ගැනීමට තිබීමයි. මේ නිසා පාරිභෝගිකයා වුණත් අද පිරිසුදු පැණි හකුරු හඳුනා ගැනීමට අපොහොසත් වෙලා. ඒ නිසා, කිතුල් කර්මාන්තයටම වෙන් වූ වෙනම ආයතනයක් ස්ථාපිත කීරිම යුගයේ අවශ්‍යතවක්.

කිතුල් නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළ තුළ පුළුල් කිරීම සඳහා ගුණාත්මක භාවයෙන් යුත් කිතුල් නිෂ්පාදන ආදර්ශ අලෙවිසැල් නගරබදව ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සමුපකාර අලෙවිසැල්, සංචාරක හෝටල් ආදිය යොදාගෙන මෙය තව පුළුල් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගුණාත්මක බවින් අඩු කිතුල් නිෂ්පාදන අලෙවිය වැළැක්වීමට රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ගුණාත්මක බවින් වැඩි කිතුල් නිෂ්පාදනයට නිෂ්පාදකයා දිරිගන්වන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුයි.ඒ වගේ ම, කිතුල් ආශි‍්‍රත අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොමු වීමත් අත්‍යවශ්‍ය දෙයක්.

මේ පර්යේෂණ කාර්යය සඳහා කාලය සොයා ගත්තේ කොහොමද?

මම විශ්වවිද්‍යාල වැඩකටයුතුවල නිරත වන අතුරතුරදී මේ පර්යේෂණයට දායක වුණේ. සමහර අවස්ථාවල මගේ අධ්‍යයන නිවාඩුව පවා ඒ සඳහා කැප කළා. තාත්තාත් පුරා තෙවසරට කිතුල් කරුවන් මුණ ගැසෙමින්, ක්ෂේත්‍රය තුළම ගැවසෙමින් වෙහෙස මහන්සි වුණා. කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් මෙය කිරිමේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. බොහෝ පාඨක ප්‍රතිචාර ලැබෙනවා. මෙය මුදල් බලාපොරොත්තුවෙන් කළ පර්යේෂණයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ වටා බොහෝ පිරිසක් ශක්තියක් වෙමින් හිටියා. ඒ හැමෝගෙම ශක්තිය නිසා, හැම බාධාවක්ම ජය ගන්න පුළුවන් වුණා.

මෙය ඔබේ තනි වෑයමක් නෙමෙයි නේද?

කිතුලේ ජනශ්‍රැති අධ්‍යයනය තාත්තා මුලික වෙලා සිදුකළා. මෙහි අනෙකුත් අධ්‍යයන, විද්‍යාත්මක පසුබිම, ඖෂධීය වටිනාකම, නූතන මුහුණුවර ආදි සියල්ල මා මුලික වී සිදු කළා. ඒත් අවසානයේදී දෙදෙනා සාකච්ඡා කර සියලු අදහස් කැටි කර මේ කෘතිය රචනා කළා.මේ වන විට මා කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය උපාධියේ අවසන් වසර අධ්‍යයන කටයුතුවල නිරතවෙලා සිටින්නේ. මගේ විෂය ක්ෂේත්‍රයටත් මෙය බොහෝ සමීපයි.

කිතුල් මල් කැපීම පාරම්පාරිකව එන ඥාන සම්භාරයක්.ඒ පිළිබඳ එබේ අදහස මොකක්ද ?

මල් බෙහෙත් ශාක කොටස් භාවිත කරමින්, පරිසර හිතකාමීව එය සාදන්නේ. අපේ පැරැන්නන් සතුව මේ පිළිබඳ බොහෝ වටිනා දැනුම් සම්භාරයක් තිබෙනවා. මේ ආශ්‍රිත කෙම්පහන්, වත් පිළිවෙත්, බාරහාර ආදී ජන ජීවිතය හා බද්ධ වුණු සංස්කෘතියක් පවතිනවා. මම මෙහිදී ඒ පිළිබඳත් අධ්‍යයනය කළා.

‍යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...