ප්‍රවීණ ආධුනික හැමෝම අභියෝගයක් | දිනමිණ

ප්‍රවීණ ආධුනික හැමෝම අභියෝගයක්

මයුරිස් බ්‍රෝඩස්

වර්තමානය වනවිට පාඨකයන් අතර මායා සහ අත්භූත නවකතා බොහෝ සෙයින් ජනප්‍රිය ය. එවැනි කෘති රචනය සම්බන්ධයෙන් පාඨකයා අතර ජනාදරයට පත් කතුවරයෙක් ලෙස මයුරිස් බ්‍රෝඩස් හැඳින්විය හැකි ය. ඔහුගේ ‘Knights of Breton Court’ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් නවකතාවකි. නවකතා රචනයට අමතරව ජනප්‍රිය සඟරා කිහිපයක්ම ප්‍රචාරය කිරීමේ කටයුතු කරගෙන යන ඔහු, අඳුරු පුරාවිද්‍යාව ගැන පර්යේෂණ ද පවත්වයි. ඔහු එහිදී කළ සොයා ගැනීම් කිහිපයක්ම සම්මානයට ද පාත්‍ර විය. ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු ද වන ඔහු සමඟ, fantasyscrollmag.com වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

‘Maurice’ නමැති නවකතා රචකයාගෙන් එපිටට ගිහින්, ඔබගේ සාමාන්‍ය ජීවිතය සහ මේ දක්වා වූ ගමන් මඟ පිළිබඳ කතා කළොත්ද?

මම උපත ලැබුවේ ලන්ඩන්වල. මගේ මව ජැමෙයිකානු ජාතික කාන්තාවක්. මගේ පියා අමෙරිකා සහ අප්‍රිකානු මිශ්‍ර ජාතිකයෙක්. මගේ මාපියන්ගේ මේ වෙනස්ම සංස්කෘති නිසා, අපට බොහෝ ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේ ම විවිධ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදු වුණා. කෙටියෙන් කිව්වොත්, මට ගෙදර පරිසරය එතරම් ප්‍රිය වුණේ නෑ. මේ නිසාම මම බොහෝ වෙලාවට ගෙදරින් පිට මිතුරන් සමඟ කාලය ගත කළා. ටිකෙන් ටික තරුණ අවධියට පත්වන විට, මම බොහෝ සෙයින් සමාජ ක්‍රියාකාරකම්වල නියැළීමටත් පටන් ගත්තා. එමඟින් මට සමාජයේ හොඳ සම්බන්ධතා ඇතිකර ගැනීමටත් හැකියාවක් ලැබුණා.

මට ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් තිබෙනවා. මම ඉ‍ගෙන ගැනීම අවසන් කළාට පස්සේ, නිවාස නැති මිනිසුන් වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරලා එය පවත්වාගෙන ගියා. කෙසේ හෝ කාලය ගතවත්ම, මගේ විවාහයෙන් පසුව සමාජ ක්‍රියාකාරකම්වලින් මදක් ඈත්වෙලා, මගේ ආදරණීය බිරිය හා දරුවා වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනවා. ඒත්, මම දැන්නම් මුලික වශයෙන්ම නවකතා රචනයට යොමු වී සිටිනවා. මං මගේ පවුල් ජීවිතය අමතක කරලා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ .

ඔබ ලිවීම ආරම්භ කරන්නේ 90 දශකයේ මැද භාගයේදියි. එවකට ඔබ අතින් රචනා වුණ ‘Kali’s Danse Macabre’ කෘතිය සඳහා ඔබට උපාධි අපේක්ෂකයන් යටතේ ‘Asimov’s ‘නම් ගෞරව සම්මානය හිමි වෙනවා. මේ ලිවීම සඳහා ඔබ ආරම්භය ගන්නේ කොහොමද?

මම හැම වෙලේම මොනවා හරි දෙයක් ගැන ලියනවා. ඒක මගේ පුරුද්දක්. මම කුඩා කාලයේ දෙක වසර සඳහා අමෙරිකාවේ ප්‍රාථමික පාසලකට මගේ මාපියන් මා ඇතුළත් කළා මට මතකයි. එහිදී මගේ පන්තියේ ගුරුතුමිය මට කොළ ගොඩකුයි , පැන්සලකුයි දීලා, මට මොනවා හරි ලියන්න කිව්වා. කොහොම හරි එදා මම ලියපු රචනාව , පාසලේ තිබුණු රචනා තරගයකින් හොඳ ම රචනාව බවට පත් වුණා. එදා මට බොහොම සතුටු දවසක්. ඉන් පසුව මගේ උසස් පාසලේ ගුරුතුමා මා හරියාකාරව ලිවීම කෙරෙහි යොමු කිරීමට උත්සාහ කළා. මමත් දිගින් දිගටම ලිවීම කළා.

ඒත්, කෙසේ හෝ කල්ගතවත්ම, ඒ කිව්වෙ විශ්වවිද්‍යාල ජීවතය ආරම්භ වුණාම මට ලිවීම මඟහැරුණා. මගේ මවට අවශ්‍ය වුණේ මම ජීව විද්‍යා උපාධිධාරියකු වනවා දැකීමටයි. මට ඇයගේ බලාපොරොත්තුව ඉටු කිරීමට අවශ්‍ය ලෙස අධ්‍යාපනය සඳහා වෙහෙසෙන්න සිදු වුණා. මේ නිසා මගේ ලිවීම ටික කාලයකට අතපසු වුණා.

ඔබ වැඩියෙන්ම ලියන්නේ හොල්මන් කතා සහ අත්භූත කතායි. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

ඒකට හේතුවක් තියෙනවා. මම හතර වසරේ සිටියදී මගේ ගුරුතුමා නිතරම වගේ Noah’s Ark එක සහ විශාල ගං වතුර ගැන කතාව කියනවා. මට විතරක් නෙමෙයි, ඒකාලේ අපේ පන්තියේ හිටිය අනෙක් ළමයින්ටත් ඒක තමා බොහොම මතක හිටපු කතාව කියලයි මට හිතෙන්නෙ. ඔහු තමා මට මුලින්ම සුපිරි වීර කතාපොත් හඳුන්වලා දුන්නේ. මම හිතන්නේ ඒකාලේ ඇතිවුණ හැඟීම තමා දැන් වෙනස් වෙනස් මාතෘකාවලට කතා ලියන්න මා පොලඹවන්නේ . යම් කිසි කෙනකුට කුඩා කාලයේ ඇහෙන දකින දේ හිතේ ගැඹුරින්ම තැන්පත් වෙනවා කියලා මට හිතෙනවා. එම අත්දැකීම් පසු කාලයකදී ලොකු ලොකු දේ කරන්න හේතු වෙනවා. ඒ දේ මටත් පොදුයි.

ඔබ සාමාන්‍යයෙන් කියවලා තිබෙන හොඳ නවකතා පොත් මොනවද ?

මගේ හිතේ එවැනි පොත් කිහිපයක්ම තියෙනවා. ‘Patrick O’Leary ගේ The Gift’ , ‘ John Kennedy Toole ගේ Confederacy of Dunces, ‘සහ ‘Toni Morrison ගේ Beloved (heck, anything)’ වගේ පොත් සඳහන් කරන්න පුළුවන්.

ඔබ අනාගතයේ පුරා විද්‍යාව ගැන හිතන්නේ මොන විදිහටද?

මට නම් හි‍තෙන්නේ බොහෝ දේ පොත්පත්වල තිබෙන මවාපෑම් කියලයි. කෙසේ හෝ නිවැරැදි ක්‍රමවේදයට අනුව කරන හෙළි කිරීම්වලදී බොහෝ සත්‍ය හෙළි වේවි. ඒ වෙනුවෙන් නිරන්තරයෙන් ගවේෂණ පර්යේෂණ ආදිය සිදු කිරීම වැදගත් දෙයක්. නිවැරැදි තොරතුරු ‍අනාවරණය වෙන්නේ ඒ මඟිනුයි .

ඊ ළඟට එන්න තිබෙන ඔබගේ නිර්මාණ මොනවද ?

මම ‘Black Son Rising’, නමින් නවකතාවක් නිර්මාණය කර තිබෙනවා. ඒක ඊ ළඟ වර්ෂයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ,මගේ කෙටි කතා පොත් තුනක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ක්ෂේත්‍රයට නවකයන් බොහෝ සෙයින් පැමිණෙනවා. ඔවුන්ගෙන් ඔබට අභියෝගයක් නැද්ද?

මම නම් හිතන්නෙ, ප්‍රවීණ වේවා, ආධුනික වේවා, මේ දෙගොල්ලොම එකිනෙකාට අභියෝගයක්. මොකද හැමෝම උත්සාහ කරන්නේ හොඳ නිර්මාණයක් පාඨයන්ට ලබා දෙන්න. ඒක එක්තරා තරගයක්. කවුරුත් පරදින්න කැමැති නෑ. මමත් උත්සාහ කරන්නේ පාඨකයන් හොඳින් වැළඳ ගන්නා සාර්ථක නිර්මාණයක් බිහි කරන්නයි. ඒ ගමන මටත් අභියෝගයක්. ඒත්, මං මගේ ගමන ඉදිරියටම යනවා .

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න