කෝණ මාස මිථ්‍යාව | දිනමිණ

කෝණ මාස මිථ්‍යාව

ලබන 16 දා සූර්‍යා කන්‍යා රාශියට පැමිණෙනවා.. ජ්‍යොතිෂය අනුව සූර්‍යා කන්‍යා රාශියේ ගමන් කරන කාලය තුළ කිසිදු සුබ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය කියා විශ්වාසයක් තිබෙනවා. මොකක්ද මේකට බලපාන හේතුව ? සූර්‍යා උභය රාශිවල ( මිථුන කන්‍යා ධනු සහ මීන ) ගමන් ගන්නා කාලය සාම්ප්‍රදායික හින්දු ජ්‍යොතිෂයේදී කෝණ මාස හැටියට හඳුන්වනවා. ඒ අනුව දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වාත් මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වාත් ජූනි 15 සිට ජූලි 15 දක්වාත් සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 දක්වාත් කෝණ මාස යෙදෙනවා. බොහෝ දෙනා මේ කාලයේදී විවාහ මංගල්‍ය,නිවාස කටයුතු,නව ව්‍යාපාර ආරම්භ කිරීම ආදී කිසිම සුබ කටයුත්තක් මේ කාලයේදී යොදා ගන්නේ නෑ.

අසුබයි කියා විශ්වාසයක් තිබුණත් ඒ ගැන ප්‍රමාණවත් තර්කානුකූල හේතුවක් නම් හින්දු ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ නෑ.එතන අඩුපාඩුවක් තියෙන බව ඇත්ත.නමුත් ඔය මාස හතරේ හැම මාසයකම දින දෙකහමාරක කාලයක් නම් බරපතළ නැකත් දෝෂ හට ගන්නා බව පෙනෙනවා.සඳු සහ හිරු අතර නිර්මාණයවන අසුබ දෘෂ්ටි සංයෝගයක් තමා ඒකට හේතු වෙන්නේ.අන්න ඒ අනුව නම් කෝණ මාසය අසුබයි කියන්න තරම් පදනමක් හැදෙනවා. ඒක එහෙම වුණත් දින දෙකහමාරක කාලයක් නිසා සමස්ත මාසයම අත්හැර දැමීම නම් සුදුසු නෑ.

කෝණ මාසවලත් සුබ කටයුතු කරන්න පුළුවන්ද? ඔව්. අර කිව්ව දින දෙකහමාර අත්හැරලා ඉතිරි දින සාමාන්‍ය විදිහට සුබ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. දැන් බලන්න හිරු ධනු රාශියේ ගමන් කරන කාලයේ මුල පුවසල උත්‍රසල කියන නැකත් තුන යෙදෙනවා. මෙයින් යම් පමණකට වත් අහිතකරය කියලා කියන්න පුළුවන් වෙන්නේ පුවසල නැකතට අයත් කොටස විතරයි. අනෙක් නැකත් දෙකම ඉතා සුබයි. ඒ කාලයේදී පවා ඇතැම් කටයුතු සඳහා ඒ කාලය ගන්න පුළුවන් අවස්ථා යෙදෙනවා. ඊ ළඟට මිථුන රවියට මුවසිරස අද පුනාවස කියන නැකත් තුන අයත් වෙනවා. මෙතනදී අසුබයි කියා බැහැර කරන්න පුළුවන් වෙන්නේ අද නැකතට අයත් කාලය විතරයි. අනෙක් නැකත් දෙකම ඉතාම සුබයි. ඔන්න ඊළඟට කන්‍යා රවියේදී උත්‍රපල් හත සිත කියන නැකත් තුනම යෙදෙනවා. මේ නැකත් තුනම විවාහ මංගල්‍යය වගේ සුබ කටයුතුවලට ඉතා ප්‍රශස්තයි. අවසානයට එන මීන රවිය ගත්තොත් පුවපුටුප උත්‍රපුටුප රේවතී කියන නැකත් තුන යෙදෙනවා. ඒ නැකත් තුනම සුබ කටයුතුවලට ප්‍රශස්තයි. මගේ පෞද්ගලික අදහස වෙන්නේ හින්දු ජ්‍යොතිෂයේ පවා සම්පූර්ණ කෝණ මාසයම සුබ කටයුතු සඳහා අත්හැරිය යුතු බව කියා නැති බවයි.

එහෙම නම් කෝණ මාසවල නැකත් නැහැයි කියලා කියන්නේ ඇයි? ඒක සම්පූර්ණ වැරදි අදහසක්. නැකතක් නැති මොහොතක් නෑ. ඕනෑම මොහොතක නැකතක් තියෙනවා. ඒ නැකත සුබද අසුබද කියන එක වෙනම කතාවක්. කටක වෘශ්චික මීන කියන ජල රාශී තුනේ අවසාන අංශකයේදී ඒ රාශියත් ඊට අයත් නැකත් පාද සියල්ලත් අවසන් වෙනවා.සමහරු මේකට ගණ්ඩාන්ත කියලා කියනවා. මෙන්න මේක වැරදියට අරගෙන සමහරු හිතනවා ජල රාශියක් සහ ගිනි රාශියක් අතරමැද නැකත් නැහැයි කියලා. ඔය නොනගතය ගැන කියන්නෙත් නැකත් නැති වෙලාව කියලා . නමුත් ඒක වැරදි මතයක්. අන්න ඒ වගේ තමා කෝණ මාසවලත් නැකත් නැහැයි කියලා කියන්නේ ජ්‍යොතිෂය ගැන සරල අවබෝධයක්වත් නැති අයයි. කොහොම නමුත් මේ කෝණ මාස කතාව වැරදියට අරගෙන බොහෝ දෙනා කාලය සහ වටිනා නැකත් අවස්ථා අපතේ හරිනවා. ඒ නිසා දෙසැම්බර්- ජනවාරි , මාර්තු - අප්‍රේල් , ජූනි-ජූලි , සැප්තැම්බර් - ඔක්තෝබර් කියන කාලයේ අවුරුද්දකින් මාස හතරක් විතර අපතේ හැරීම අපරාදයක්. සමහරු ඔය කාලයේ විවාහ කටයුතු , නිවාස කටයුතු , ගෙවැදීම් , නව ව්‍යාපාර ආරම්භය වගේ කිසිම සුබ කටයුත්තක් කරන්නේ නෑ. මේක හුඹස් බියක් කියලා ඒ බොහෝ දෙනා දන්නේ නෑ. බලන්න . කෝණ මාසයට නිකරුණේ බයවෙන බොහෝ දෙනා පෝය දවසට බය නෑ. දැන් සමහරු පසළොස්වක පෝයදාට විවාහ මංගල කටයුතු පවා කරනවා. නමුත් අමාවක පුර පසළොස්වක කියන අවස්ථා දෙකම ඉතා අනතුරුදායකයි. ඇත්තට ම පුර පසළොස්වක පෝය දවස නම් ආගමික කටයුතුවලට මිස වෙන කිසිම දේකට සුබ නෑ.

කෝණ මාසයට වඩා පෝය දවස අනතුරුදායකද ? ඔව්. කෝණ මාසයට වඩා දහගුණයකින් පෝය දවස භයානකයි. පෝය දවසට පැරණි මිනිස්සු කැත්ත උදැල්ලේ හේනේ කුඹුරේ වැඩ කෙරුවේ නෑ. වෙද මහත්තයා ලෙඩෙකුට බේතක් හේතක් කිරීමත් පෝය දවසේ අතහැරියා. මොකද පෝය දවසේ ග්‍රහබලය සතා සීපාවාට පවා අහිතකර බව ඔවුන් අත්දැකීමෙන් වටහා ගෙන හිටියා. නමුත් අද හේතුවක් නැතුව කෝණෙට බයවෙන අය පෝයදාට මඟුල් කරනවා.

කේ.සී.ජේ.රත්නායක

නව අදහස දක්වන්න