හිර ගෙදර හෘද සාක්ෂිය! | දිනමිණ

හිර ගෙදර හෘද සාක්ෂිය!

කවදා - කොතැනක අපරාධයක් සිදු වුව; ශිෂ්ට සමාජය ඊට ප්‍රතිචාර දක්වන පිළිවෙළක් තිබේ. එහි පියවර කිහිපයක් ඇත. පළමුව අපරාධය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වෙයි. දෙවනුව යුක්තිය ඉටුකිරීම සඳහා නඩු විභාග පැවැත්වෙයි. තෙවනුව අපරාධකරුවන්ට දඬුවම් ද, වින්දිතයන්ට වන්දි ද ලැබෙයි. මෙහිදී මූලික වශයෙන් ඉටුවන කරුණු දෙකක් තිබේ. එක; සත්‍යය හෙළිදරව් වීමය. දෙක; යුක්තිය හා සාධාරණත්වය ඉටුවීම ය. එහෙත් ශ්‍රී ලංකාව ගත් කල එලෙස යුක්තිය ඉටු නොවූ අපරාධ මෙන් ම සත්‍යය හෙළිදරව් නොවූ අපරාධ ද තිබේ. එයින් කියැවෙන්නේ අප තවම ශිෂ්ට නැති බව ද?

2012 නොවැම්බර් 11 දා වැලිකඩ බන්ධනාගාරය වෙත ඔබේ මතකය ගෙන යන්නට කැමැත්තෙමු. එදා එහි කැරැල්ලක් පැවැති බව ද, පුංචි යුද්ධයක් පැවැති බවද, හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව ද අපට මතක ය. එහි ඇතැම් දර්ශන රූපවාහිනිය ඔස්සේ විකාශය විය. මේ සිද්ධියේදී බන්ධනාගාර රැඳවියෝ විසිහත්දෙනෙක් ඝාතනය වූහ. තවත් පිරිසකට තුවාල සිදුවිය. බන්ධනාගාර රැඳවියන් විසිහත්දෙනකු ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයෙන් මියයෑම බරපතළ සිද්ධියක් ලෙස ලොව පුරා ප්‍රචාරය විය. එය මානවහිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්විණි. එහි චෝදනාව එල්ල වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් සිටී. ඔහුගේ ප්‍රකාශවලට අනුව පෙනී යන්නේ මෙය සැලැසුම් සහගත මිනිස් ඝාතනයක් බව ය. හිරකාරයන් පිරිසකට හමුදාවක් සමඟ සටන් වැදීමේ හැකියාවක් නැත. රැඳවියන් පිරිසක් දණ ගස්වා පෝලිම් කර සිටි බවත්; ඔවුන් අතරින් නම් අඬගසා; එලෙස තෝරාගත් පිරිස ඝාතනය කළ බවත් සාක්ෂිකරුගේ කටඋත්තරවලින් පැහැදිලි වෙයි. සාක්ෂිකරුවා එදා සිටි ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකුට චෝදනා කරන අතර ඔවුන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කරයි. ආරක්ෂක ප්‍රධානීන් ලබාදුන් ලැයිස්තුවකට අනුව ඝාතන සිදු වී ඇති බවක් සාක්ෂිවලින් ප්‍රකාශ වේ.

සුදේශ් නන්දිමාල් නම් මේ සාක්ෂිකරුවාට දැන් මරණීය තර්ජන එල්ල වී ඇත. මීට දින දෙකකට ඉහතදී ඔහු රැඳී සිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී ඇත. නන්දිමාල් මහතා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ප්‍රධානියකු ලෙස ද කටයුතු කරයි. එදා යට ගසා තිබූ මේ අපරාධය සුදේශ් නන්දිමාල් නිසා ද, එම සංවිධානය නිසා ද යළි සාකච්ඡාවට ගැනුණු බව පිළිගත යුතුය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත්කෙරේ. එම කොමිෂන් වාර්තාව ලැබී වසර දෙකක් ගත වුව ද යුක්තිය ඉටු වී නැත. වැරැදිකරුවන් නීතියේ රැහැනට ගෙන නැත. මේ අනුව අභියාචනාධිකරණයේ නඩුවක් පැවරීමට ඉහත සංවිධානය කටයුතු කර ඇත. එය ලබන දොළොස්වෙනිදා විභාගයට ගැනීමට නියමිත ය.

ඉහත සිද්ධි දාමය දෙස බලන විට අනාගතයේ සිදුවීමට නියමිත දේවල් ගැන උපකල්පනය කළ හැකිය. ඉහත අපරාධයට සම්බන්ධ වූ අය ගිය ආණ්ඩුවේ බලවතුන් බව ඉතා පැහැදිලි ය. අද ආණ්ඩු බලය නැතත්; මැර බලය, ධන බලය හා පිරිස් බලය ඔවුන් සතු බව ඇතැම් කාරණාවලින් පැහැදිලි වෙයි. නඩු විභාගයේ වැදගත් ම සාක්ෂිකරුවා වන්නේ සුදේශ් නන්දිමාල් ය. ඔහුගේ සාක්ෂිය අති ප්‍රබල වන අතර අපරාධකරුවන් ඔහුගේ සාක්ෂිවලින් නිවැරැදිව හඳුනාගත හැකි ය. ඔහුට මීට පෙර කිහිප වතාවක් තර්ජනය කර ඇත. සුදේශ් නන්දිමාල් පෙන්වා දෙන ලෙස අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔහු ඝාතනය කිරීම හෝ රටින් එළවා දැමීම ය.

දැන් සිදුවිය යුත්තේ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සපයා නඩු විභාග කාර්යක්ෂම කිරීම ය. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කොහොමටත් මන්දගාමී ය. මෙබඳු නඩුවලට එය බෙහෙවින් බලපායි. වැලිකඩ රැඳවියන්ගේ ඝාතනය සුළු පටු දෙයක් නොවේ. ගිය ආණ්ඩුව එය යටගැසීම අරුමයක් නොවේ. එහෙත් වත්මන් ආණ්ඩුව යටතේ යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම ප්‍රශ්නයකි. වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේද, බරපතළ දූෂණ - වංචා හා අපරාධවලට වගකිවයුතු පුද්ගලයන් සොයා ඔවුනට නිසි දඬුවම් ලබාදෙන පොරොන්දුව මත ය. එහෙත් පොරොන්දුව ඉටු වී නැත. මානවහිමිකම් සංවිධාන කිහිපයක අදහස වන්නේ හිටපු අධිකරණ ඇමැතිවරයා ද, බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ද මේ ප්‍රමාදයට වගකිවයුතු බව ය.

අප මුලින් ද සඳහන් කළ අන්දමට ඝාතනවලට වගකිවයුතු පුද්ගලයන් නැතහොත් ඒ සඳහා සැලැසුම් සකස්කොට අණ දුන් පුද්ගලයන් තවම බලවත් ය. ඔවුන්ගේ ගෝල - බාලයෝ තවම ප්‍රධාන තැන්වල සිටිති. සුදේශ් නන්දිමාල් කියන ලෙස රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන කිහිපදෙනෙක් ඔහුට තර්ජනය කරති. හිරිහැර කරති. ඔහු ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබේ. විමර්ශන පමා කිරීම, වාර්තා යට ගැසීම, සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම යන සියල්ල සිදුවන්නේ මේ ජාලය ඔස්සේ යැයි සිතන්නට පුළුවන. මේ ක්‍රියාවලිය පරාජය කළහොත් විමර්ශන නිසි අයුරින් පවත්වාගත හැකි ය. නඩු විභාග ද කාර්යක්ෂම කර ගත හැකි ය.

ශිෂ්ටත්වයට එහා ගිය සිද්ධියක් හැටියට ද ම්ලේච්ඡ ඝාතන සමූහයක් හැටියට ද මානවහිමිකම් සංවිධාන විසින් වැලිකඩ සිද්ධිය හඳුන්වනු ලැබේ. හිර ගෙවල්වල රැඳවියන් අපරාධකාරයන් විය හැකි ය. එහෙත් ඔවුන් මරා දැමීමේ අයිතියක් කිසිවකුට නැත. විසිහත්දෙනකු මරා දමා ඇත්තේ පුද්ගලයකුගේ හෝ දෙදෙනකුගේ වුවමනාවට ය. එදා යුක්තිය ඉටු වූ අන්දම එක අතෙකින් පැහැදිලි වෙයි. එදා ඇතැම් පුද්ගලයන් සතු බලය තව අතෙකින් පැහැදිලි වෙයි. වත්මන් ආණ්ඩුව අපරාධ සිද්ධියේ අගතියට පත් වින්දිතයන්ගෙන් කොටසකට වන්දි ලබාදුන් බවක් අපට මතක ය. එහෙත් ඉන් එහාට ගිය දෙයක් නීතියෙන් ඉටු වී නැත. ඇතැම් විට නව අධිකරණ ඇමැතිනිය ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නට පුළුවන. කුමක් වුව වින්දිතයෝ පමණක් නොව රටේ සාමාන්‍ය ජනතාවද සිදුවන්නේ කුමක්දැ’යි බලා සිටිති.

සාක්ෂිකරුවන් බිය වැද්දීමෙන් මෙන් ම ඝාතනය කිරීමෙන් ද නඩු පරාජය කළ ඉතිහාසයක් අපට තිබේ. එබැවින් මේ නඩුවේදී පළමුව සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...