සංචාරක කර්මාන්තය නංවන්න ආයුර්වේදය ප්‍රචලිත කළ යුතුයි | දිනමිණ

සංචාරක කර්මාන්තය නංවන්න ආයුර්වේදය ප්‍රචලිත කළ යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

සංචාරක කර්මාන්තයේ දියුණුවට දේශිය ආයුර්වේද ක්‍රමය පවත්වා ගෙන යාමට මානව සම්පත විධිමත්ව යොදා ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති සුනිල් දිසානායක මහතා සඳහන් කෙළේය.

කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේ ඊයේ (6) පැවැත් වු විශේෂ වැඩමුළුවේ දී සුනිල් දිසානායක මහතා එම අදහස් පළ කෙළේය.

සංචරණ විෂය නිවැරැදිව විද්‍යාත්මකව, වෘත්තිය මට්ටමෙන් සිදුකරන ආකාරය පිළිබඳ මෙම වැඩමුළුව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා තවදුරටත් මෙසේ ද සඳහන් කෙළේය.

ලොව සංචාරකයන් සෞඛ්‍ය අවශ්‍යතා මත ඖෂධ හා ප්‍රතිකාර වෙනුවෙන් වෙනත් රටවලට යන අතර මෙම “සෞඛ්‍ය සංචරණය“ වර්තමනයේ ලෝකය පුරා ජනප්‍රිය සංචාරක කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේද සාර්ථකව කළ හැකි ක්ෂේත්‍රයක් වන අතර එය දැනටමත් යම් ආකාරයකින් පවත්වගෙන යන නමුත් ලොව පුරා විශ්වාසනීයව එය ප්‍රචලිත කර කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාවට විධිමත් ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. එමෙන්ම මානව සම්පත ඒ සඳහා විධිපත්ව යොදා ගැනීමට පියවර ගත යුතුයි. ඒ සඳහා අප නිසි ක්‍රමවේදයක් සැකසීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටිනවා. ඒ අනුව සෞඛ්‍ය සංචරණය ප්‍රායෝගිකව සිදුකළ හැක්කේ කෙසේ ද? එය විධිමත්ව සංචාරක කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාමට පියවර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් අප මෙහිදී සාකච්ඡා කෙරෙනවා. මෙන්ම දැනුවත් කිරීමට ද කටයුතු කෙරෙනවා.

ජාතික සංචාරක අධ්‍යාපන ආයනය ලෙස ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය මේ කාර්ය ඉටු කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ඊට උරදී සිටින අතර අධ්‍යාපන වැඩසටහනක් ලෙස සෞඛ්‍ය සංචරණ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට මෙම ආයතනය මගින් ක්‍රියා කෙරෙනවා.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කර්මාන්තයේ දී සංචරණ විෂය සම්බන්ධයෙන් නිවැරදි , විද්‍යාත්මක ක්‍රමයේදයකට යායුතුයි. එය වෘත්තිමය මට්ටමෙන් සිදුකරන්නේ කෙසේ ද යන්න අද අභියෝගයට ලක්ව තිබෙනවා.සංචාරක හා හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රය හරහා සංචරණය විවිධ ඉසව් වෙත රැගෙන යාමටත් ඒ අනුව සෞඛ්‍යමය සංචාරක ක්ෂේත්‍රය ප්‍රමිතිගතව සාර්ථකව කරන්නේ කෙසේ ද යන්නත් සාකච්ඡාවට ලක්කර නිසි ක්‍රමවේදයකට අප යා යුතුයි.

හෙට්ටිගොඩ සිද්ධාලේප ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ මහතා

සංචාරක ව්‍යාපාරයේ දී ආයුර්වේදයට ඇති විශේෂ අවස්ථා හඳුනාගෙන ඒ අනුව අනාගතයේ ආයුර්වේද වෙදකම දියුණුකර ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න මුලින් හඳුනාගත යුතුයි. ඒ සම්බන්ධයෙන් ඇති අභියෝග මොනවාද යන්න සොයාබලා ඒවා ජය ගැනීමට රටක් ලෙස අප ක්‍රියාත්මක විය යුතුයි. ලොව ඇති ප්‍රවණතා අනුව ආයුර්වේදයට යා හැකි දුර හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මේ වන ආහාර නිෂ්පාදනය ඕගනික් ක්‍රමයට ගමන්කර තිබෙනවා. ඒ අනුව ස්වභාවික ඔසු සම්බන්ධයෙන් ද පිළිගැනීමක් සොයා යාමක් අතිවි තිබෙනවා.

වයස්ගත වීමේ ගැටලුව දැන් ලෝකයට තදින් බලපාමින් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් දේශීය ආයුර්වේද ක්‍රමය යොදා ගැනීමට ඇති හැකියාවත් එය නිසි ප්‍රමිතියකින් ලෝකයට ඉදිරිපත් කිරීමත් අත්‍යවශ්‍යයි. 2050 වන විට ලෝකයේ ආර්ථිකය 70%ක් පාලනය කරන්නේ ආසියාව බවට ලෝක බැංකුව පවා පෙන්වා දී තිබෙනවා. අපේ රට භූගෝලියව පිහිටා ඇති අකාරය අනුවත් සංචරණ කාර්යයේ දී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට අප යා යුතුයි. පාරම්පරික වුවත් නව ක්‍රමයක් හඳුන්වා දීම අවශ්‍ය වන අතර ලොව හොඳම වෙදකම ආයුර්වේද වෙදකම අප සතු බව පෙන්විය යුතුයි. මෙම ක්ෂේත්‍රය දියුණුවට රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ අනුව ජාත්‍යන්තර ප්‍රමිතිය අවශ්‍ය වන අතර ඒ සඳහා අපේ දේශිය ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිතිය බවට පත්කර ගැනීම කළ යුතුයි.

මේ අවස්ථාවට විවිධ අංශවල විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු විද්වත් පිරිසක් එක්ව සිටි අතර සංචරණයේ දී සෞඛ්‍ය අංශයෙන් දේශීය ආයුර්වේද ක්‍රමය ඉදිරියට ගෙන යාමට ඇති අභියෝග හා ඒවා ජය ගැනීම සම්බන්ධයෙන් පැමිණ සිටි විද්වතුන් විවිධ මත පළ කළහ. රාජ්‍ය අනුග්‍රහය ඒ සඳහා ලබා දීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද එහිදී යෝජනා වූ අතර සෞඛ්‍ය සංචරණය සාර්ථකකර ගැනීමට ප්‍රමිතගත කළ යුතු බවට යෝජනා විය.

ඡායාරූපය - සිරිපාල හල්වල 

 

නව අදහස දක්වන්න