සංශෝධිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය | දිනමිණ

සංශෝධිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

උදුලා පීරිස්

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සංශෝධිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලබාගත් බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා පැවැසීය.

ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය 60%ක් කොට්ඨාස ක්‍රමයටත් 40%ක් සමානුපාතික ක්‍රමයටත් පැවැත්වීමට යෝජනා කළ ඇමැතිවරයා ඊට පෙර සීමා නිර්ණය කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අවධාරණය කළේය.

සුළු පක්ෂවලට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් තමා ඊයේ (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බව කී හෙතෙම ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ද ලැබී ඇතැයි ද අවධාරණය කළේය. ඒ අනුව අනාගතයේ පවත්වන සියලුම පළාත් පාලන මැතිවරණ අදාළ ක්‍රමය යටතේ පැවැත්වීමට මේ සංශෝධනය හරහා සිදු කිරීමට නියමිත බව ද කීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (6) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය. ඒ අනුව එලඹෙන නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ ඉහත ක්‍රමය අනුගමනය කිරීමට නියමිත බව කී ඇමැතිවරයා පුළුවන් තරම් ඉක්මනට මැතිවරණය තියන්න මැතිවරණ කොමසාරිස්වරයාද ප්‍රකාශයක් නිකුත් කර ඇති බව ද අනාවරණය කළේය.

අභියාචනා ක්‍රියාදාම වැනි කනගාටුදායක සිද්ධීන් ඉදිරියේ දී සිදුනොවන්න අවශ්‍ය සියලු දේ සැලසුම් කරන බව කී ඇමැතිවරයා පළාත් පාලන ඡන්ද පනත යටතේ සංශෝධන සිදුකිරීමේ දී සියලු පක්ෂවල අදහස් සැලකිල්ලට ගැනීම වගේම ඒ ඒ දිස්ත්‍රික්කවලට ගොස් මහජන අදහස් විමසීම් කිරීමට නියමිත බව ද කීය.

සැබෑ ජනතා පුත්‍රයෙක් වගේම ගමට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමට අදාළ නව ක්‍රමය තුළින් හැකිවන බව පෙන්වා දුන් ඇමැතිවරයා එහෙත් ඇතැම් අය මේ දිහා වැරදි දෘෂ්ඨි කෝණයකින් බලන බව ද කීය. දූෂිත මනාප ක්‍රමය මගින් පක්ෂ ඇතුලෙම සාමාජිකයන් වෙඩි තියාගෙන ගහ මරාගැනීමක් අතීතයේ අත්දැකීම් අනුව දුටු බව කී ඇමැතිවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට මේ නව මැතිවරණ ක්‍රමය ඇතිකිරීම අමාත්‍යාංශය ලබාගත් ලොකුම ජයග්‍රහනයක් බව ද ඇමැති මුස්තාෆා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රීලනිපයෙන් ෆුඩ් බෝඩ් එකෙන් පාර්ලිමේන්තුවට ආ ඇතැම් අය පක්ෂය විනාශ කරන්න උත්සාහ දරන බව කී ඇමැතිවරයා පක්ෂය ශක්තිමත් කරන්න හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන අයට වගකීමක් තියෙන බව ද කීය.

නව අදහස දක්වන්න