ඉසුරු‍ ගෙනෙන මිහි මවගේ සම්පත් | දිනමිණ

ඉසුරු‍ ගෙනෙන මිහි මවගේ සම්පත්

මදාරා මුද­ලිගේ

මැණික් කර්මාන්තය මඟින් ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය ද සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇත. ස්වභාවිකව බිහිවන මැණික් අපනයනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අද වන විට මුළු ලෝකයක් ඉදිරියේ ආඩම්බර විය හැකිය.

මෙරට මැණික් කර්මාන්තය තව තවත් නංවාලීමේ අපේක්ෂාවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්ට අත්වැලක් සැපයීම පෙරටුකොට ගනිමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘FACETS Sri Lanka 2017’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගිය දා පැවැතිවිණී. ප්‍රදර්ශන පරිශ්‍රය තුළ සැරිසරන අතරතුර අප මුලින්ම කතා බහ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟයි.

‘ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ක්ෂේත්‍රයන් අතර මැණික් කර්මාන්තයට ප්‍රධාන තැනක් හිමි වෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ මැණික් තිබෙන රටක්. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය නඟා සිටුවීම සඳහා තිබෙන එකම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රදර්ශනයත් මෙයයි. මේ ප්‍රදර්ශනය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සෑම රටකම සිටින ලෝ ප්‍රකට ව්‍යාපාරිකයන් ආරාධනා කරනවා. ඒ වාගේම ශ්‍රී ලංකාවේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මේ ප්‍රදර්ශනය මඟින් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.’ එලෙස කරුණු ප්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරිණියකි.

ලොව ප්‍රකට දෙස් විදෙස් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරයන් වර්ධනය කර ගැනීම සඳහා විදේශීක පාරි‍භෝගිකයන් දැනුවත් කළේ මහත් උද්යෝගයෙන් යුතුවය. බැලු බැලු අත වීදුරු අවරණයන් තුළ තැන්පත් කර තිබෙන මැණික් ස්වර්ණාභරණය. විවිධ ප්‍රමාණයෙන් යුත් මැණික් ගල්, ඒ ගල්වල නාමයන්ගෙන් නම් කර තිබුණේ ප්‍රදර්ශනයට පැමිණෙන සැමගේ දැන ගැනීම සඳහායි. ශ්‍රී ලාංකීය ජනයාට වඩා විදේශීය ජනයාගේ සහභාගීත්වයේ වැඩි බව හඳුනා ගත හැකි විය.

සුළු හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්, මැණික් විද්‍යාව පිළිබඳ අධ්‍යාපන ආයතන හිමිකරුවන් මෙන්ම මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ප්‍රදර්ශනය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

 

Solar Gems Jewellery ( pvt) LTD හි අධ්‍යක්ෂ චන්ද්‍රිකා විජේකෝන් මහත්මිය-

අපේ ප්‍රධානතම ව්‍යාපාරය තමයි මැණික්. අපලවලට දාන මුදු, පෙන්ඩන් වගේ දේවල් ගල් අල්ලලා අපි හදලා දෙනවා. අපි මේ මැණික් ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 35 ක් විතර වෙනවා. 1985 දී තමයි අපි Jem cutting පටන් ගත්තේ. 1995 දීයි Jem jewellery පටන් අරගත්තේ. අපිට මැණික් කපන්න වෙනම විද්‍යාගාර තියෙනවා. අපේ මැණික් ව්‍යාපාරයේ මධ්‍යස්ථාන 04 ක් දැනට තියෙනවා. ඒ වගේම අපිට චීනයෙත් ව්‍යාපාර මධ්‍යස්ථානයක් තියෙනවා. අපේ ළඟ තිබෙන වයිට් සෆායර්, සිල්ව සෆායර් වගේ මැණික් ගල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

මම අපේ ආයතනයේ මැණික් කැපීම පිළිබඳව නවක ශිල්පීන්ව පුහුණු කරනවා. ඒත් දැන් ඉන්න අලුත් පරම්පරාව මැණික් කැපීමේ රැකියාව කරන්න එතරම් කැමති නෑ. ඒක අපිටත් ලොකු අර්බුදයක්. මම කැමතියි මේ ශිල්පය අනෙන් අයටක් ලබාදීමට.

අපිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට වඩා ඉන්නේ විදේශීය පාරිභෝගිකයන්. ඇත්තටම ශ්‍රී ‍ලංකාවේ තියෙන එකම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන මේ ප්‍රදර්ශනයෙන් අපිට අපේ ව්‍යාපාරයන්වලට අලුත් පාරිභෝගිකයන් දැන හඳුනා ගන්න අවස්ථාව හිමි වෙනවා. මමයි මගේ මහත්තයයි තමයි අපේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරුන්. යනුවෙන් Solar Gems Jewellery ( pvt) LTD ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් පැවැසීය.

 

KUbra Gems හි ව්‍යාපාරයේ ප්‍රධානියකු වන සියාම් ප්‍රකාශ කළේ මෙසේයි-

අපි මැණික් ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 45ක් විතර වෙනවා. අපේ ව්‍යාපාරයේ මැණික් සහ ස්වර්ණාභරණ යන අංශ දෙකම සිදු‍ කරනවා. අපි අපේ පවුලේ සාමාජිකයන් එකතු කරගෙන එකම පවුලක් වගේ තමයි අපේ ව්‍යාපාරය කර ගෙන යන්නේ. ඇත්තටම ගල් හොයා ගන්න පහසු නම් මේක ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ව්‍යාපාරයක්. ඒත් මේ ව්‍යාපාරයේ අපිට නම් තියෙන ලොකුම ගැටලුව තමයි ගල් ‍හොයා ගන්න තියෙන අමාරුකම. මේ දවස්වල නම් අපිට ගල් හොයා ගන්න තමයි ටිකක් අපහසු. යනුවෙන් පැවැසීය.

 

C.M GEMSC.M GEMS හි ප්‍රධානියකු වන චරිත් හරිස්චන්ද්‍ර මහතා-

අපේ මැණික් ව්‍යාපාරයේ තියෙන විශේෂත්වය තමයි අපිම මැණික් ගරලා අපිම ඒවා පාරිභෝගිකයින්ට අලෙවි කිරීම. ඒ හින්දා අපිට සාධාරණ වගේම උපරිම මිලකට මැණික් අලෙවි කරන්න පුළුවන්. අපි Blue Sapphire,yellow Sapphire,pink Sapphire,star Sapphire,Cat's Eye,spinel,Garnet වගේ ගල් වර්ග තමයි පාරිභෝගිකයාට ලබා දෙන්නේ. විදේශිකයින් තමයි ගොඩාක්ම අපෙන් ගල් මිලදී ගන්නේ. ලංකාවේ තිබෙන දුර්ලභ ගණයේ මැණික් වර්ගත් අපි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා. බැංකොක්, කොරියා වැනි රටවල මිනිසුන් තමයි මැණික් ගල්වලට සුවිශේෂීත්වයක් දක්වන්නේ. ඇත්තමට මේ වගේ ලංකාවේ පවත්වන ප්‍රධානතම මෙන් ම එකම මැණික් ප්‍රදර්ශනයකින් අපිට අපේ ව්‍යාපාරයට නව පාරිභෝගිකයින් දැන හදුනා ගෙන සම්බන්ධවන්න අවස්ථාව හිමි වෙනවා.

 

Shang Lanka හි සේවකයකු වන රිස්කි මහතා දැක් වූ අදහස් මෙසේයි.

අපි මේ ප්‍රදර්ශනයට ඇවිල්ලා ඉන්නේ තුන්වැනි වරටයි. මේ වගේ ප්‍රදර්ශනයක් මඟින් අපිට පාරිභෝගිකයන් වැඩි කර ගන්න පුළුවන්. අපි ළඟ විවිධ මැණික් ගල් අල්ලපු රත්තරන් මෙන්ම සිල්ව ස්වර්ණාභරණ තියෙනවා. ඒ ස්වර්ණාභරණවලින් ගල් අල්ලලා හදන රත්තරන් ආභරණවල මිල තරමක් අධිකයි. සිල්ව ආභරණවල මිල අඩුයි. මේ මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාර ක්ෂේත්‍රය හොඳයි, හැබැයි දැන් Jem cutting වලට මිනිස්සු අඩුයි, මිනිස්සු වෙනත් රැකියාවලට යොමුවෙලා ඉන්නවා.

අපේ අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම මැණික් අධ්‍යයන පාඨමාලාවන් සිදු කරන ස්ථානයක්. Gemmology පිළිබඳ උසස් තත්ත්වයේ ඩිප්ලෝමාවක් අප ආයතනයෙන් ලබා දෙනවා. ඒ වගේම Gem Identification Program,Diploma in Gemmology Program, මෙන්ම Fast track Gem Identification Program පවත්වනවා. 2015 වර්ෂයේ දී අපේ ආයතනයට රන් සම්මාන 2ක් හිමි වුණා. මැණික් අධ්‍යයනය කර ඒ පිළිබඳව විශේෂඥවරයකු බවට පත් වීමට කැමති ඕනෑම කෙනකුට අප ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. කැමති කෙනකුට nvQ 3 rd level දක්වාම අධ්‍යාපනය හදාරන්න පුළුවන්. අප අධ්‍යාපන ආයතනයේ විශේෂත්වය තමයි දේශීය සිසුන්ට මෙන්ම විදේශීය සිසුන්ටත් මැණික් පිළිබඳ විශේෂඥවරයකු වීමට පුළුවන් වීම, මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම මඟින් අපිට නවක ශිෂ්‍යයන් බඳවා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ඉදිරි ගමන රඳා පවත්වා ගන්න අවශ්‍ය නම් අලුත් පරපුරක් අවශ්‍යමයි. යනුවෙන් Lanka Gemmological Institute හි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන රේඛා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

 

Idgm (PVT) LTD නිලධාරියකු පැවැසුවේ මෙ‍ලෙසය.

මේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් පරාසයකට විහිදී යනවා. විශේෂයෙන්ම විදේශීය ජනයා ශ්‍රී ලංකාවේ තිබෙන මැණික්වලට විශේෂත්වයක් දක්වනවා. බෙන්තොට, මාරවිල, මීගමුව යනා දී ප්‍රදේශවල අපේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර මධ්‍යස්ථාන තියෙනවා. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පතක් වන මැණික්වලට ඉල්ලුම තියෙන්නේ නම් චීනෙන් තමයි. වෙනත් රටවල අයත් මිල දී ගන්නේ නැතුව ඉන්නවා නෙමෙයි, ඒත් මේ දවස්වල මැණික්වලට වැඩි ඉල්ලුම තියෙන්නේ චීනයෙන් තමයි.

අපි ළඟ තියෙන්නේ මැණික් භාවිත කර නිර්මාණය කරන ලද ස්වර්ණාභරණ තමයි. අපි මුලින්ම පටන් අර ගත්තේ 1956, අපේ ප්‍රධාන ව්‍යාපාර මධ්‍යස්ථානය තියෙන්නේ කොල්ලුපිටියේ. අපි ශ්‍රී ලංකාවේ මැණික් ස්වර්ණාභරණ ක්ෂේත්‍රෙය් මුල් කාලයේ සිටම ඉන්නා ව්‍යාපාරකයන්. අපිට ශ්‍ර්‍රී ලංකාවේ නම් ඉන්නේ සීමිත පාරිභෝගිකයන් පිරිසක්. අපි බැංකොක්වල පවත්වන මැණික් ආභරණ ප්‍රදර්ශනවලට සහභාගී වෙනවා. මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් අපිට සමාජ සම්බන්ධතා ගොඩනඟා ගෙන ව්‍යාපාරය තව තවත් දියුණු කර ගන්න පුළුවන්. යනුවෙන් Joonoos Jewellers ( saf's ClassiQue)හි අනුරාධා දිසානායක ප්‍රකාශ කළාය.

අපි මේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ඇවිල්ලා වසර 17 ක් වෙනවා. මේ ප්‍රදර්ශනයෙන් අපිට අපේ පාරිභෝගික සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන්. අපි ළඟ ඔක්කොම තියෙන්නේ පොඩි ගල්, ඒ කියන්නේ කැරට් 1න් පහළ ගල්, අපේ ආයතනයේ දැනට නිර්මාණ ශිල්පීන් 20 ක් විතර ඉන්නවා. අනෙකුත් සේවකයෝ 75 ක් විතර ඉන්නවා. මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියෙන ලොකුම අර්බුදය තමයි මැණික් කපන්නන් නැති වීම, ඔවුන් දැන් මේ ක්ෂේත්‍රයේ රැදී සිටින්නේම නෑ. යනුවෙන් Precision Lapidaries ( pvt) Ltd ව්‍යාපාරයේ නිලධාරිණියක් ප්‍රකාශ කළාය.

ස්වාභාවික පාෂාණ විශේෂයක් වන මැණික්වල මිල ගණන් බොහෝ විට දේශීය පාරිභෝගිකයන්ට දැරීමට අපහසුය. එහෙත් විදේශීය පාරිභෝගිකයන් ගලෙහි වටිනාකමට සාධාරණයක් ඉටු කිරීමට නිරතුරුව පෙළඹෙන බව මේ ප්‍රදර්ශනයට සහභාගී වූ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේය. විශේෂයෙන්ම චීනය, හොංකොං, බැංකොක් යන රටවල ප්‍රකෝටිපතියන් ශ්‍රී ලංකාවේ මැණික්වලට දැඩි ඇල්මක් දක්වන බව ද ඔවුන් සඳහන් කළේය. 

 

නව අදහස දක්වන්න