එක­තැ­න­කින් නෙමෙයි තැන් කීප­ය­කින් අහලා ගන්න | දිනමිණ

එක­තැ­න­කින් නෙමෙයි තැන් කීප­ය­කින් අහලා ගන්න

නුවන් මහේෂ් ජයවික්‍රම

 

පංචිකා වත්තෙන් වාහන අමතර කොටස් මිලදී ගැනීමේදී ‘කොච්චර වෙට්ටු දැමිලි මට්ටු කිරිලි තිබ්බත් හුඟක් අයියලා හෙට්ටු කරලා හෙට්ටු කරලා අන්තිමේදී කිට්ටු වෙන්නේ පංචිකාවත්තේ ස්පෙයාර් පාර්ට්ස් තට්ටු දිහෑට. ලොකු ලොකු ස්පෙයාර් පාර්ට්ස් කඩවල නැති කෑලි පවා අපි ළඟ තිබෙන වෙලාවල් තියෙනවා. වාහනේට කීයක් හරි අඩුවෙන් ඔර්ජිනල් ජපන් නමුත් පාවිච්චි කළ අමතර කොටසක් හොයාගන්න මුල්වතාවට පේමන්ට් එකට එන හුඟ දෙනෙක් ආපිට එද්දී අපිත් එක්ක මිතුරුවෙලා ඉවරයි.

ඕනෑම ඇණ මුරිච්චියක් අපේ ස්පෙයාර්පාර්ට්ස් තට්ටුවල තියෙනවමයි. ඒ හැරෙන්න හොයාගන්න අමාරු පරණ පහේ වාහනවල සමහර කොටස් අපේ ළඟ තියෙනවා. ඉතින් ඒවා කීයක් හරි අඩුවෙන් මිලට ගන්න එන පාරිභෝගිකයන්ට අපි ගැන විශ්වාසයක් ඇතිකරන්නයි අපි නිතරම මහන්සි ‍ ගන්නේ...’

කොළඹ පංචිකාවත්තේ පදික වේදිකා දිගට ඇවිද්ද ඕනෑම කෙනකුට ඔවුන්ව දැක ඇතිවාට සැක නැත. පෙට්ටියක හැඩයට ඉදිකළ, ඒ පෙට්ටිය ඇතුළතත් තට්ටු තට්ටු වශයෙන් අඩුක් කළ විවිධ වාහන අමතර කොටස් ඇතිව පාරිභෝගිකයා එන මඟ බලන ඔවුන් පංචිකාවත්තේ සුළු පරිමාණ අමතර කොටස් වෙළෙන්දන්ය. මේ ඔවුන් තම තමන්ගේ කල දවස ගෙවෙනා සැටි විස්තර කළ ආකාරය ඇසුරින් ලියැවෙන්නක්ය.

විශේෂත්වයක් වන්නේ ඒ ඒ හුඟදෙනෙක් ස්වයං රැකියාවක් වශයෙන් එහි නිරතවීමය. දෙතුන් දෙනකු එක්ව එම වෙළෙඳාමේ නිරතවනු අපට දක්නට ලැබුණේම නැත. ඩී. ඩේවිඩ්, රම්සි, හිල්මි, සනාර්, ඩී.ඒ. පියරත්න, මොහොමඩ් සලීම්, ජේ.ඒ. නෙල්සන්, ෆවුමි ආදී ඔවුහු කොළඹ අවටම පදිංචිකරුවන්ය.

අද ඊයේ නොවේ, දශක හතර පහක් ‍ තරම් දීර්ඝ ඉතිහාසයක් ඔවුනොවුන් සහ පංචිකාවත්තේ පුංචි වාහන අමතර කොටස් තට්ටු අතර වෙයි. ඒ වග පංචිකාවත්තේ පේමන්ටුවේ ස්පෙයාර් පාර්ට්ස් වෙළෙඳාමේ අද වනවිට සිටින පැරැන්නාවන හිල්මිට මේ වනවිට ඒ වෙළඳාම සම්බන්ධයෙන් දශක හතරක අත්දැකීම් ඇත්තෙකි.

අද ජපන් බඩු වැහි වැහැලා තිබුණට ඉස්සරෝම එහෙම තිබ්බෙ නෑ. ඒ කාලේ පංචිකාවත්තේ තිබ්බේ බ්‍රිටිෂ් වාහනවල අමතර කොටස්. රුපියල් දෙකේ පැරකුම්බා කොලේ දීලා මිනිස්සු ඉස්සර ඇණ මුරිච්චි අරන් ගිය හැටි මට තවම මතකයි. ඒ කාලේ අද වගේ නෙවේ, පංචිකාවත්ත වටරවුමක් තිබ්බේ. දැන් වෙනස්. අලුතින් පාරවල් එහෙම හැදිලා මේ මෑතකදී අපි රුපියල් දෙදාහට ගත්ත කෑල්ල වුණත් දැන් පන්දාහකට විතර ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ලාභයක් ති‍යාගෙන විකුණන්න අමාරුයි.

ඒ කාලේ තිබ්බ රුපියල් 5, 20 කොළවලින් දැන් නොකෙරුණාට අදටත් පංචිකාවත්තේ වීදියේම හරි හරියට වාහන අමතර කොටස් විකිණෙනවා. ඒත් ඒ කාලේ වගේ නෙවෙයිනේ දැන් වෙනස්. ඉස්සරට වඩා ලොකු කඩවල් එක්ක කරට කර තරග කරන්නත් ඕන. පාවිච්චි කළ කෑල්ලක් වුණත් අලුත්පිට වගේ පෙනුමින් විතරක් නෙවෙයි, ඒ හොඳ තත්ත්වය ඒකේ හැම පැත්තකින්ම පෙනෙන්න ඕන.

ආවාට ගියාට මිනිස්සු වාහන කෑලි ගෙනියන්න ලෑස්ති නැහැනේ. හුඟක් වෙලාවට තමන් හොයන අමතර කොටස් වගේම එකක් අරන් හුඟදෙනෙක් එන්නේ. ඒ එන හුඟදෙනෙක් මිකැනික් බාසුන්නැහේලා. ඉතින් ඒ අය අමතර කොටස් පැත්තෙන් නමගිය වැඩකාරයෝ. එයාලට බොරු කරන්න බැහැ.

ඉතින් අපිත් ලෑස්තිපිට ඉන්නේ. ඒ කට්ටිය ඇවිත් හොයන්නේ ලොකු ද පොඩි ද අර වර්ගේද මේ වර්ගේද කියලා, හරියට වුවමනාව කිවුවාම අපි අපේ ළඟ තියෙනවා නම් දෙනවා. නැතිනම් රස්තියාදු නොවී ඒ අයිටම් එක රීකන්ඩිෂන් තත්ත්වෙන් ගන්න පුළුවන් තැනක් කියනවා. එහෙමත් නැතිනම් ස්පෙයාර් පාර්ට්ස් බ්‍රෝකර් කෙනකුව කස්ටර්මර්ට මුණ ගස්සනවා...’

හිල්මිගේ ඒ කතාවෙන් පංචිකාවත්තේ වාහන අමතර කොටස් වෙළෙන්දන් සහ ගැනුම්කරුවන් දෙපිරිසට මුවාවූ තවත් පාර්ශ්වයක් ‍ පිළිබඳ මතුවිය. සැබැවින්ම ඒ වෙළෙඳාමේ අතරමැදියකු වන්නා උදෑසනම පංචිකාවත්තට පැමිණෙන මේ කියන බ්‍රෝකර්ලා ඉස්සර තරම් දැන් පංචිකාවත්තේ නැති බවයි ඒ කටයුත්තේ නිරත විල්සන් කියන්නේ.

දැනටත් පංචිකාවත්තේ 100ක් විතර ස්පෙයාර් පාර්ට්ස් බ්‍රෝකර්ලා ඉන්නවා. ඉස්සර ඊට වඩා හුඟක් හිටියා. ඒ සමහරු වයසට ගිහිල්ලා මැරුණා. සමහරු ආදායම් මදි නිසා වෙන රස්සාවල් කරන්න ගත්තා. අපි ස්පෙයාර් පාර්ට්ස් බ්‍රෝකර්ලා විදියට කරන්නේ ඒවා හොයන් එන කස්ටමර්ව රස්තියාදු නොකර වෙළෙන්දා ළඟට එක්කරන් යන එක. එහෙම ගිහින් ඉක්මනට වැඩේ කරගන්න ඉඩ සලස්වනවා. ඒ සතුටට පාරිභෝගිකයා අපිට සන්තෝසමක් දෙනවා. ඒ හැරෙන්න අමතර කොටස් වෙළෙන්දන් කීයක් හරි දෙනවා. ඒ විදියට උදේ ඉඳන් හවස් වනතුරු එක්කාසු කරගන්න සල්ලි ටිකෙන් තමයි අපි දරු පවුල් පිටින් රැකෙන්නේ.

සමහරු නම් අමතර ආදායම් මාර්ගයක් විදියටත් මේ වැඩේ කරනවා. ඒත් මගේ නම් රස්සාවම මේ ‍ බ්‍රෝකර් වැඩේ තමයි. ඒ විල්සන්ගේ රක්ෂාවේ සැටිය. ඔහු වාහන අමතර කොටස් වෙළෙන්දන් මෙන් බලා සිටින්නේ පාරිභෝගිකයකු එන පෙරමඟයි.

දුර තියා පාරිභෝගිකයාව හඳුනා ගැනීමට හුරුවූ දෑස් ඇති පංචිකාවත්තේ බොහෝ සුළු පරිමාණ අමතර කොටස් ව්‍යාපාරික‍යෝ ඒ වෙළෙඳාමට ලකලෑස්ති වන්නේ කල්තබාමය. දුරින් සිටිනා එක් පාරිභෝගිකයකුව අපට පෙන්වූ රම්සි ඒ වග විස්තර කළේ එම පාරිභෝගිකයා අතැති එක්තරා වාහන අමතර කොටසකිනි. සාම්පලයක් ලෙසින් පාරිභෝගිකයා ගෙනෙනා එම කොටසට සමාන හොඳ තත්ත්වයේ අමතර කොටස සල්ලි කරගැනීම වීදියේ වෙළෙන්දාට මහ කජ්ජක් නොවෙතත් ඊටත් තරගකාරිත්වයක්ද නැත්තේම නැති වග ඔහු සිනාසෙමින් කියයි

අව්කූටකේ දවසේ පැය අටක් පමණ සිටගෙනම වෙළෙඳාම කරනා මේ ඇත්තෝ ඊට නොතැවෙති. අප ඒ පිළිබඳ විමසූ විට දැන් ඒ දුකට තමන් හොඳින් හුරුවී සිටිනා බවක් හෙළිකළහ. ඒ දුක වේදනාව ගණන් නොගෙනම ජීවන චාරිකාවේ නියුත් පිරිස අතරදීම හමුවුණු රිච්මන්ඩ්ගේ කතාව නම් අපට කීවේ ඔහු නොවේ.

පංචිකාවත්තේ වීදි පුරා ඇවිදිමින් කරත්ත පිටින් වාහන අමතර කොටස් ගෙන ඒම රිච්මන්ඩ්ගේ රැකියාවයි. 1983 දී උතුරින් කොළඹට පැමිණි දෙමළ ජාතික පවුලක පියකුවන රිච්මන්ඩ්ට වැඩිමහලු දරුවන් සිටින බවත් ඔහු අද කතාකර ගත නොහැකි තත්ත්වයට පත් වූයේ මරදාන ප්‍රදේශයේදීම ඔහු කරත්තයකින් බඩුත් පටවාගෙන පයින්ම එන විට සිදුවූ රිය අනතුරකින් පසුව බව කීවේ රිච්මන්ඩ්ගේ වතගොත හොඳින් දන්නා ඩේවිඩ් සහ රම්සි දෙදෙනාය.

ඒ රිච්මන්ඩ්ද පංචිකාවත්ත ගෙන්දගම් පොළොවේ තිස් අවුරුද්දකට වඩා වැඩි පරණ මිනිහකු බවක් පසක් කරමින්මය.

පංචිකාවත්තේ පරණ මතක අලුත් කරමින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසව සිහිකළ හිල්මි, ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ආරක්ෂකයන් පවා නැතිව නිදහසේ ඇවිද්ද සැටිත් දේශපාලන රැස්වී‍මක් නිසා ජනතාවට පදික වේදිකාව අවහිර නොවන්නට ‘පුතා හෙට මගේ රැස්වීමක් තියෙනවා. ඔයා හෙට විතරක් ටිකක් අයින් කරගන්න. අනිද්දා දාගන්නැයි පිටට තට්ටුවක් දමමින් කියූ විලාසය අදටත් සිහිකරයි. ඒ නමුත් දැන් දැන් ඉඳහිට කොළඹ නගර සභාවෙන් පැමිණ දින දෙක තුනක් පේමන්ට් එකෙන් අමතර ‍ කොටස් තට්ටු අයින්කරගන්නට කීම පිළිබඳ නම් ඒ හුඟදෙනකු කණස්සල්ල පළ කළහ. එකම ආදායම් මාර්ගය වන මේ වෙළෙඳාම දින දෙක තුනක් නොකිරීමෙන් ඉවත් වන්නේ කෙසේදැයි ජේ.ඒ. නෙල්සන්, පී.ඒ. පියරත්න ලියනගේ ඇතුළු හුඟදෙනෙක් බලධාරීන්ගෙන් විමසු පැනයකි. නගර සභාවට කඩ කුලී ගෙවමින් කාටවත්ම කරදරයක් නැතිව කරගෙන යන මේ වෙළෙඳාමට එවන් කෙණහිලිකම් නොකරන්නැයි ඔවුහු ඉල්ලති.

මේ වෙළෙන්දන් අතරින් අපට සාමාන්‍යයෙන් වෙළෙඳාම ඉක්මවා ජීවිතය දෙස වෙනත් විදියකට බැලූ දිරියවන්තයන්ද හමු නොවුණා නොවේ. ඒ අතුරින් ආර්.එම්. ෆවුමි එවැන්නෙකි. ෆවුමි මේ බො‍හෝ වෙළෙන්දන්ගෙන් වෙනස් වන්නට හේතුවකි. ඔහුගේම නිර්මාණයක් වන සන්රයිසරය විශේෂයෙන් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථ හිමියන්ගෙන් තමන්ට ඇනවුම් ලැබෙන බව ෆවුමි කියනා ඒ නිර්මාණය කරන්නට දිවා දවසම පාහේ පදික වේදිකාවේ සිටගෙනම සිටිමින් වෙළෙඳාමේ නිරත ෆවුමි කල්වේලාව සොයාගන්නා විදියත් අපූරුය.

‘මං හවස් වෙද්දි තට්ටුව වහලා මාළිගාවත්තේ ගෙදරට යනවා. ඒ ගිහින් පැය තුනක් සන්රයිසර් හදන වැඩේ කරනවා. එහෙම කරලා නිදාගෙන පහුවදාත් වෙනදා නැඟිටින වෙලාවට පැය තුනකට කලින් මං නැඟිටින්නේ. ඒ පැය තුනත් වැඩ කරනවා. ඊළඟටයි මං දරුවන්ව පාසලට ඇරලවලා පංචිකාවත්තට එන්නේ....’

ෆවුමිට සමු දී පදික වේදිකාවේ පියවර මනින අපව සුහද සිනහවකින් පිළිගත්තේ අනතුරකට ලක්ව පසුව පාදයක ආබාධ සහිතව සිටින පංචිකාවත්තේ ධෛර්යවන්තයා වූ ලියනගේය. (සාගර මෝටර්ස්)

දශක දෙකක් ඉක්මවූ පංචිකාවත්තේ ජීවිතේ පිළිබඳ අපට කියන ඔහු නොසඟවා පැවසුවේ මඟ අයිනේ තිබෙන වාහන අමතර කොටස් තට්ටුවට අමතරව තවත් මධ්‍යම ප්‍රමාණයේ අමතර කොටස් වෙළෙඳ සැලක හිමිකරුවකු බවත් කීය.

ඔහු ඒ වග නිහතමානීව හෙළි කළේම පේමන්ට් එකෙන් ගමන ඇරඹූ ඔහුගේ ව්‍යාපාරික ජීවිතයේ සාර්ථකත්වය තවෙකකුට ආදර්ශයට ගන්නට විය යුතු බව අපටත් ඒත්තු ගැන්විණි. එහෙයින් ඒ පිළිබඳ වැඩිදුරටත් විමසූ අපට ලියනගේ ඊටත් එපිට ඔහුගේ ජිවන යටගියාවන් නොසඟවා කීය.

‘මං 1994 කාලේ තැඹිලි වෙළෙන්දෙක්. දරු තුන්දෙනකුගේ තාත්තා කෙනෙක්. මං දරුවන්ගේ බඩ ගින්දර දැක්කා. කරූ ජයසූරිය මහත්මයා ස්වයං රැකියාවක් විදියට තැඹිලි විකුණගන්න මට දුන්නු අතදීමෙන් දිරිය අරන් මං තනියෙන් බිස්නස් ලෝකෙත් එක්ක හැප්පුණා. ඒ විදියටයි මේ වාහන අමතර කොටස් වෙළෙඳාමටත් එච්චර මූලික දැනීමක්වත් නැතිව පිවිසුනේ. දැන් මං පාදයක ආබාධයකින් පෙළුණත් ජීවිතෙන් මං පැරදිලා නැහැ. ඒත් මං ඒක ලොකුවට හිතන්නෙත් නැහැ. මං මට තරමක ලොකු කඩයක් අයිතියි කියලා ඒ කඩේ ඒ.සී. එකේ කැරකෙන පුටුවේ ඉඳගෙන ඉන්නේ නැහැ. පේමන්ට් එකේ එදත් මට සෙවණ දුන්නු ගස් යට ඇවිත් මගේ ‘සාගර මෝටර්ස්’ අමතර කොටස් තට්ටුවේත් වෙළඳාම් කරනවා.

මං කරන හැම වෙළඳාමකටම මං රිසිට් එකකුත් දෙනවා. ඒ විශ්වාසය වෙළෙඳාමේ තියෙන්නට ඕන. ජපන් නියම අමතර කොටස් කියලා වගකීමෙන් මං වෙළෙඳාම් කරන්නේ. පංචිකාවත්තේ හුඟක් වෙළෙන්දන් ඉරිදා දවසේ නැහැ. ඒත් ඒ දවසේ හදිසියේ කරදරේක වැටිච්ච කෙනෙක් මොකක් හෝ අමතර කොටසක් හොයන් පංචිකාවත්තට එන්න ඉඩ තියෙනවා. ඒ බව මමත් අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා මා සෙනසුරාදා, ඉරිදා දිනවලත් වෙළෙඳ සැල් විවෘත කරනවා. ආදායම අතින් බලනවාට වඩා ලොකු තෘප්තියක් එහෙම ඉරිදා දවස්වලට කරදරේ වැටිච්චි පාරිභෝගිකයන්ට සහනයක් වෙලා මං ලබනවා.

මේ වෙළෙඳ සමාජයටම කොළඹින් පිට දුරබැහැර පළාත්වලින් බොහෝ වාහන අමතර කොටස් ගැනුම්කරුවෝ එති. කොළඹ පදික වේදිකාවේ අලෙවි වන මේ කොටස්ම ඇතැමුන් මධ්‍යම පරිමාණ වෙළෙඳ සැල්වල අලෙවිකරන අවස්ථාද තිබෙන බව අත්දැකීමෙන්ම මේ පදික වෙළෙන්දෝ කියති. ඒ කෙසේවෙතත් යාපනය දක්වාම කොළඹින් විවිධ බඩු භාණ්ඩ ගෙනයන ලොරි රථවලින් වාහන අමතර කොටස් ද දුර පළාත්වලට යැවේ. එහෙයින් දුෂ්කර පළාත්වල සිට දැන් විවිධ අමතර කොටස් සොයාගෙන කොළඹට පැමිණීම අනිවාර්යය නොවන බවක් පෙනේ.

අම්පාරේ සිට උදෑසනින්ම කොළඹ පංචිකාවත්තට පැමිණ තිබුණු ආර්.එම්.සුනිල් පුද්ගලික බස් කර්මාන්තයේ නිරතවූවෙකි. අප මුණගැසු‍ණු විට ඔහු හෙළිකළ අත්දැකීම බොහෝ පාරිභෝගිකයන්ට වටිනු ඇත්තේ දඩිබිඩියේ පංචිකාවත්තෙන් බඩු ගැනීම එතරම් නුවණට හුරු නැති වගත් ඒත්තු ගන්වමිනි. බස් එකේ මගීන් තිස්ගණනක් ඉද්දියි හදිසියේ වීල් සෙට් එකක් කැඩුනේ. ඉතින් මට අම්පාරේ ඉඳන් පංචිකාවත්තට එන්න වුණා. ඇවිත් මුලින් එක තැනක බැලුවා. එතැන ඒ සෙට් එකට රුපියල් පහළොස්දාහක් කිවුවා. මං නිකමට තවත් තැන්වල බැලුවා. එහෙම ඇවිදලා අන්තිමේදී මට ඒ වීල් සෙට් එකම රුපියල් හයදහස් පන්සියයකට කොටස් විදියට ගන්න ලැබුණා. ඒ නිසා හොඳ අමතරකොටස් ටිකක් මහන්සිවෙලා හොයාගන්න නම් පංචිකාවත්තේ ටිකක් රස්තියාදු වෙන්න සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා....’

 

නව අදහස දක්වන්න