කිම් ජෝන් අන් ගේ වත්කම් අනතුරේ | දිනමිණ

කිම් ජෝන් අන් ගේ වත්කම් අනතුරේ

උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමේ යෝජනාවලියක් එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරනු ලබන බව වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලියට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ වත්කම් අත්හිටුවීම ද ඇතුළත් වේ.

මීට අමතරව උතුරු කොරියාවට ඛනිජ තෙල් තහංචියක් පැනවීමට මෙම කෙටුම්පතින් යෝජනා වී තිබේ.
එක්සත් ජනපදය මෙම පියවර ගෙන ඇත්තේ උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ හයවැනි න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් අනතුරුව ය.

තමන් සතුව හයිඩ්රිජන් බෝම්බයක් පවතින බවටත් එක්සත් ජනපදයට පහර දෙන බවටත් උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කරමින් සිටියි.

කෙසේ නමුත් තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ඇමරිකාව ගෙන එන යෝජනාවලියට චීනය සහ රුසියාව එකඟ නොවනු ඇති බවට විශ්වාස කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනටමත් උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබ තිබේ.

උතුරු කොරියාවේ අපනයන ආදායම ඉලක්ක කරගනිමින් පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් ඩොලර් බිලියනයක පාඩුවක් එරටට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එය උතුරු කොරියාවේ මුළු අපනයන ආදායමෙන් තුනෙන් එකකි.

උතුරු කොරියාවේ නායකයාගේ වත්කම් අත්හිටුවීමට අමතරව ඔහු සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ බලධාරීන්ට සංචාරක තහනමක් ද නව යෝජනාවලිය මගින් පැනවීමට නියමිතය.

මෙම යෝජනාවලිය සම්මත වුවහොත් උතුරු කොරියානු ජාතිකයන්ට වෙනත් රටවල රැකියා ලබා දීම තහනම් කෙරෙනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...