සිල් රෙදි තීන්දුව ! | දිනමිණ

සිල් රෙදි තීන්දුව !

 රටේ පවත්නා නීතිය යම් පමණකින් ක්‍රියාත්මක වන බව ඊයේ දැකගන්නට ලැබිණි. ඒ කාගේත් අවධානයට ලක් ව තිබූ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමත් සමඟ ය. මේ තීන්දුව ලබාදීමට ද වසර දෙකකට අධික කාලයක් ගත කර තිබේ. චුදිතයන් වූයේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා හා හිටපු ජනාධිපති ලේකම්වරයා ය. සියලු චෝදනාවලට ඔවුන් වරදකරුවන් වී ඇත. ඒ අනුව බරපතල වැඩසහිත තුන් වසරක සිර දඬුවම් දෙදෙනාට ම නියම වී තිබේ. රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ දඩ මුදල් ද නියම වී ඇත. ඒ හැරෙන්නට දසලක්ෂ පනහ බැගින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ගෙවීමටත් නියම වී ඇත.

මහජන දේපොළ ගසා කෑම බරපතළ වරදකි. පොදු දේපොළ පනතට අනුව එම වැරැදිවලට දඬුවම් ලබා දිය හැකි ය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යනු මහජන දේපොළකි. එම ආයතනයේ අරමුදලෙන් රුපියල් කෝටි හැටක් මේ දෙදෙනා අවභාවිත කර තිබේ. කවුරුත් දන්නා ලෙස ඉහත මුදල් යොදාගෙන ඇත්තේ ඡන්දදායකයන් අතර සිල්රෙදි බෙදා දී මහජන මතයට බලපෑම් කිරීම සඳහා ය. වෙනත් වචනයකින් කිවහොත් ඡන්ද කොල්ලකෑම සඳහා ය. එය මැතිවරණ නීතියට ද පටහැනි ය. මෙහි දී මහජනයාගේ මුදල් භාවිත කොට මහජනයාගේ ඡන්දය කොල්ලකෑමට ක්‍රියා කර ඇත.

පසුගිය කාලය තුළ රටවල් ගණනාවක දූෂිත නායකයන්ට තම තනතුරු - පදවි අතහැර ගෙදර යන්නට සිදුවිණි. සමහර නායකයෝ හිර ගෙවල්වල ය. තව සමහර නායකයෝ රටින් පැනගොස් සිටිති. රටක ව්‍යවස්ථාපිත නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම්; දූෂිත නායකයන්ට රැකවරණ ලැබෙන්නේ නැත. දූෂිත පුද්ගලයන් යළි බලයට පත්වන්නේ ද නැත. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකින් එවැන්නක් අපේක්ෂා කළ හැකි ද? සිල් රෙදි ව්‍යාපෘතිය සැලැසුම් කළේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ය. එම මැතිවරණ ක්‍රියාදාමයේ නායකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එහි සැලැසුම් අධ්‍යක්ෂවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතා ය. ඒ දෙදෙනා ම අචල ව සිටිති.

රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවූ බවට සාක්ෂියක් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාගේ කතාවකින් ම උපුටා ගත හැකි ය. ඒ මහතා එක්තරා සභාවක දී ජාතියෙන් සමාව ඉල්ලා සිටියේ ය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම ගැන ය. මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන හිර ගෙදරට යැවිය හැකි නෛතික ප්‍රතිපාදන තමන් සතු වූ බව සරත් එන්.සිල්වා මහතා කියා සිටියේ ය. ඒ හෙල්පින් හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙනි. එහෙත් තමා එදා එසේ නොකළ බව ද, ඒ නිසා ම ඔහු ජනාධිපතිවරයා වූ බව ද ප්‍රකාශයේ සඳහන් ය. එදා සරත් සිල්වාගේ කතාවට අනුව ඔහු කනගාටු වෙයි. තමා එදා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකළ නිසා රටට වූ ඇබැද්දිය ගැන කනගාටු වෙයි.

අදටත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ ද යනු ප්‍රශ්නයකි. සරණ ගුණවර්ධන මහතා ලොතරැයි මණ්ඩලයේ වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ්ගත කිරීමට තීන්දුවක් ලබා දී ඇති නමුදු අද ඔහු සුවසේ සිටින්නේ රෝහලේ ය. ගිය ආණ්ඩුවේ දූෂිත දේශපාලකයන් කිහිප දෙනකු රිමාන්ඩ්ගත කිරීමට නියෝග ලැබුණු නමුදු ඔවුන් පසු වූයේ රෝහල්වල ය. රුපියල් ‍ කෝටි හැටක මහජන මුදලක් අවභාවිත කළ චුදිතයන් දෙදෙනා මාංචු දමා අධිකරණය වෙත ගෙන ආ බවක් අපට මතක නැත. මෙය කාගේ වරදක් ද යනු සොයා බැලිය යුතුය. එක අතෙකින් පෙනී යන්නේ බලවතුන් ඉදිරියේ නීතිය හා ඇතැම් ආයතන නැමෙන බව ය. තව අතෙකින් පෙනී යන්නේ එදා සිදු වූ දූෂණ හා වංචාවලට වගකිව යුත්තන් අදත් බලසම්පන්නව සිටින බව ය.

සිල්රෙදි බෙදා දීම සඳහා මහජන මුදල් යොදාගත් වංචනික ආකාරය රටේ සියලු දෙනා ම දැනගත යුතු ය. රුපියල් කෝටි හැටක මුදල විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් ගිණුමෙන් ජනාධිපති කාර්යාල ගිණුමට බැර කර ඇත. එම මුදල ලංකා බැංකුවේ කොළඹ - තැප්‍රොබේන් ශාඛාව හරහා වරින් වර ලබාගෙන ඇත. මැතිවරණයට දින කිහිපයක් තිබියදීත් එම මුදල්වලින් කොටස් ලබාගෙන ඇතැ’යි සාක්ෂිවල සටහන් වී ඇත. මේ වංචාව සිදු කිරීම සඳහා කාර්යාල සේවකයන් පමණක් නොව; රියැදුරන් පවා යොදාගෙන ඇති බව හෙළිදරව් වේ. නඩුවේ දී ලේඛන පහළොවක් සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇත. සාක්ෂිකරුන් විසි ගණනක් කටඋත්තර ලබා දී ඇත.

රාජපක්ෂ පාලන යුගයේ සිදු වී ඇති අනෙකුත් දූෂණ හා වංචා පමණක් නොව; වෙනත් අපරාධ ආදිය ද සැලැකිල්ලට ගන්නා විට සිල් රෙදි සිද්ධිය තවත් එක් සිදුවීමක් පමණි. එහෙත් අනෙකුත් මහා පරිමාණ වංචා හා දූෂණ ගැන සතුටුදායක යමක් තවම දකින්නට නොලැබේ. තාජුදීන් ඝාතනය, වැලිකඩ රැඳවියන්ගේ ඝාතනය වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමී විලාසයකට ය. තාජුදීන් නඩුවට අදාළ සාක්ෂි වරින් - වර අතුරුදන් වෙයි. වැලිකඩ රැඳවියන්ගේ නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට මරණීය තර්ජන එල්ල වෙයි. වැලිකඩ රැඳවියන්ගේ නඩු විභාගය ප්‍රමාද වී ඇත්තේ රටේ නීතියට අදාළ ආයතනවල හා එහි ප්‍රධානීන්ගේ වරද නිසා යැයි සිතන්නට කරුණු තිබේ.

සිල් රෙදි නඩුවට අදාළ තීන්දුව ගැන යම් පමණකින් සතුටු විය හැකි ය. අවම වශයෙන් ඒ ගැන පැහැදිලි තීන්දුවක් ලබාදීම වුව වැදගත් යැයි සිතන්නට පුළුවන. එහෙත් චුදිතයන් මේ නඩුව ඉහළ උසාවියට හෙවත් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නට පුළුවන. අභියාචනාධිකරණයේ තීන්දුව කුමක් වුව එහි විභාගය සඳහා තවත් කාලයක් ගතවනු ඇත. එම කාලය වසර දෙක-හමාරක් හෝ තුනක් වුවහොත් සිදුවන්නේ කුමක් ද? තව අවුරුදු තුනක් යනු තවත් අලුත් ආණ්ඩුවකි. එම ආණ්ඩුව මේවා නොසලකා හැරියහොත් නිසැක ලෙස ම අපරාධකරුවන් නිදහස් වනු ඇත. නඩු විභාගත් අහක යනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එබඳු නඩු විභාග සැලැකිය යුතු ප්‍රමාණයක් තිබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවයේ වසර තිස් ගණනක අත්දැකීම් ඇති තැනැත්තෙකි. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වසර විසි ගණනක අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෙකි. මේ දෙදෙනාටම රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කරන්නට සිදු වී ඇත. එම දඬුවම් ද විඳින්නට සිදු වී ඇත.

නව අදහස දක්වන්න