කඩා වැටුණ ක්‍රිකට් ගොඩ ගන්න අධ්‍යාපන ඇමැති පෙරට එයි | දිනමිණ

කඩා වැටුණ ක්‍රිකට් ගොඩ ගන්න අධ්‍යාපන ඇමැති පෙරට එයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරිවසම් මහතාගේ උපදෙස් මත ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මැදිහත් වෙයි. එම කමිටුව මගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමීට යන වැඩපිළිවෙළට අධ්‍යාපන ඇමැතිවරයා නායකත්වය ලබාදීමට සූදානම්ව සිටී.

ශ්‍රී ලංකා පිලට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයන් පාසල් ක්ෂේත්‍රය තුළින් විධිමත් ලෙස නිර්මාණය කිරීමට හැකි හෙයින් නව වැඩ පිළිවෙළ ඉක්මණින් ක්‍රියාවට නැංවීම අපේක්ෂාවවී තිබේ. ඒ අනුව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ හා ජයන්ත සෙනවිරත්න මහතා ඇතුළු ප්‍රවීණ පුහුණුකරුවන්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාසල් ක්‍රිකට් සංගමය සූදානමින් සිටී.

අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් පෙරේදා පැවැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ යෝජනා හා අදහස් ලබාගෙන එළඹෙන අඟහරුවාදා (12) සවස 03.00 ට ක්‍රිකට් නගා සිටුවීමේ අරමුණින් තවත් සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිගින් දිගටම ලැබූ පරාජයට පාසල් ක්‍රීඩාව යම් වගකීමක් දැරිය යුතු බවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් නිසි පරිදි සංචිතයකට ඇතුළත් නොවීම ක්‍රිකට් සංවර්ධන නොවීමට හේතුවක් බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් ක්‍රිකට් සංගමයට පෙන්වා දී ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහිත නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට පෙන්වා දී තිබුණි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් පාසල් සංචිත පත් කිරීමේදී සහ ඔවුන් අතරින් ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිදු වූ විවිධ අකටයුතුකම් ක්‍රීඩාවේ ඇද වැටීමට හේතු වී ඇති බව පාසල් ක්‍රිකට් නිලධාරීන් මෙහිදී ඇමැතිවරයාට පැවැසූහ. පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සැදුම්ලත් සංචිතය නම් කිරීමේදී ඒ සඳහා විනිවිද භාවයෙන් යුත් තෝරා ගැනීමේ නිර්ණායක සකස් කර ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා පාසල් ක්‍රිකට් සංගමය වෙත දැනුම් දුන්නේය.

අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී විශේෂ යෝජනා කිහිපයක් කෙරෙහි අවධානය යොමුවී ඇත. පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා උසස් මට්ටමේ පුහුණු සංචිත ඇති කිරීම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ශිෂ්‍යත්ව ඇති කිරීම, ආර්ථික අපහසුකම් ඇති ග්‍රාමීය දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම උදෙසා ගමින් ගමට යන ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීම හා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම ඉහළ නැංවීම යන කරුණු කෙරෙහි අවධානය යොමුව ඇත. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය ලබා ගැනීමට ද බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත්, සභාපති ඔසාර පණ්ඩිතරත්න, තේරීම් කමිටු සභාපති ඩිල්ෂාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු පාසල් ක්‍රිකට් නිලධාරීහු පිරිසක් හා ප්‍රවීණ පුහුණුකරු ජයන්ත සෙනවිරත්න මහතා ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු රැසක් ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ. 

 

නව අදහස දක්වන්න