සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී අද ඇරැඹේ | දිනමිණ

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී අද ඇරැඹේ

වර්නන් ගුණසේකර

නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

පුරා දින තුනක් තිස්සේ පැවැත්වෙන මේ තරගාවලියට දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් බාලක පාසල් 164ක් හා බාලිකා පාසල් 138කින් ක්‍රීඩකයන් 2900ක් හා ක්‍රීඩිකාවන් 2100ක් සහභාගි වෙති.

වයස අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ වශයෙන් වයස් සීමා පහක් යටතේ තරග ඉසව් 38ක් මේ තරගාවලියට ඇතුළත්ව තිබේ.

තරගාවලියේ අද ආරම්භක දිනයේදී පැවැත්වෙන්නේ මීටර 100 x 4 ඉසව් පමණි.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.එස්.රාධා ක්‍රිෂ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සමාරම්භක උළෙලට උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ආචාර්ය කේ.සර්වේෂ්වරන් මහතා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීමට නියමිතය.

අනිද්දා සමාප්ති උළෙල පැවැත්වෙන්නේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...